පැතුම් නිශ්ශංකගේ ද්විත්ව ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ’පිල පරාජයෙන් ගැලවෙයි | දිනමිණ

පැතුම් නිශ්ශංකගේ ද්විත්ව ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ’පිල පරාජයෙන් ගැලවෙයි

අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාවට පත්වූ දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කරමින් සිය කණ්ඩායම ඉනිමක පරාජයෙන් බේරාගත්තේය.

පෙරේදා තරගය නිමාවට පත්වනවිට ශ්‍රී ලංකා පිල කඩුලු 4කට ලකුණු 180ක් ලබා සිටි අතර නොදැවී ලකුණු 92ක් ලබා සිටි 20 හැවිරිදි දකුණත් පිතිකරු පැතුම් නිශ්ශංක ඊයේ සිය ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ලකුණු 217ක් රැස් කළේය. අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය යටතේ එන්.සී.සී.කණ්ඩායම නියෝජනය කරමින් පසුගිය දෙසැම්බරයේ දී යුද හමුදා පිලට එරෙහිව නොදැවී ලකුණු 206ක් රැස් කළ පැතුම් ඊයේ ශ්‍රී ලංකා පිලේ ගෞරවය රැක ගැනීම නිසා සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 7කට ලකුණු 468ක් රැස් කිරිමට ශ්‍රී ලංකා පිලට හැකිවිය. ඒ අනුව ශ්‍රී ලංකා පිල ඉනිම අත්හිටුවීමට තීරණය කළේ ලකුණු 264ක ඉලක්කයක් අයර්ලන්තය හමුවේ තබමිනි.

තරගය නිමාවට පත්වනවිට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි අයර්ලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 89ක් රැස් කර සිටි අතර තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය.

මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත පිල සිය පළමු ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 508ක් ලබා ඉනිම අත්හිටවූ අතර ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 303කට සීමාවීමෙන් ඉනිමක පරාජයෙන් බේරීමට දෙවැනි ඉනිම ආරම්භ කිරීමට සිදුවී තිබිණි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 139දී පළමු ඉනිමේ ශතකලාභියා වූ ඇන්ජෙලෝ පෙරේරාගේ දැවීයාමෙන් පසුව පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 154ක සම්බන්ධතාවක් ගොඩනැගූ පැතුම් අනතුරුව දෙවැනි ඉනිම වර්ණවත් කළ පිතිහරඹයක නිරතවූ තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සමග එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 102ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්විය. පැතුම්ට අගනා සහයක් ලබාදුන් චාමික ඊයේ විශිෂ්ඨ ශතකයක් රැස් කළේය. මුළු ලකුණු සංඛ්‍යාව 417දී පැතුම් දැවී ගියේ පන්දු 274කට මුහුණදී හතරේ පහර 28ක් එල්ල කිරීමෙන් පසුවය. ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවනවිට නොදැවී ලකුණු 100ක් ලබා කඩුල්ලේ රැඳී සිටි චාමික පන්දු 106කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් එල්ල කළේය.

අයර්ලන්තය පළමු ඉනිම - 508/8 (ඉනිම අත්හිටුවන ලදි) නීල් රොක් 85, ලෝකන් ටකර් 80, ජේම්ස් කැමරන් ඩොව් නොදැවී 76, ජෙම්ස් මැකලම් 72, ස්ටීවන් ඩොහෙනි 58, ජොනතන් ගාර්ත් 45 (චාමික කරුණාරත්න 99/3, ලසිත් ඇඹුල්දෙණිය 142/3) සහ දෙවැනි ඉනිම -89 /3 යි. ජේම්ස් මැකලම් නොදැවී 45,ලොකන් ටකර් නොදැවී 22 (ලසිත් ඇඹුල්දෙණිය37/2).

ශ්‍රී ලංකාව පළමු ඉනිම - 303 යි. ඇන්ජෙලෝ පෙරේරා 127, සම්මු අශාන් 72, අෂාන් ප්‍රියන්ජන 27 (කැමරන් ඩොව් 99/5, ක්‍රෙග් යංග් 76/3) සහ දෙවැනි ඉනිම - 468/7 (ඉනිම අත්හිටුවන ලදි) පැතුම් නිශ්ශංක 217, චාමික කරුණාරත්න නොදැවී 100, කමිඳු මෙන්ඩිස් 53 (ජොනතන් ගාර්ත් 140/3).

නව අදහස දක්වන්න