කොළඹ වරාය නගරය ප්‍රතිලාභ රැසක් දෙන නගරයක් කළා | දිනමිණ

කොළඹ වරාය නගරය ප්‍රතිලාභ රැසක් දෙන නගරයක් කළා

ඡායාරූප වාසිත පටබැඳිගේ

ඇමැති පාඨලී චම්පික රණවක

කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් තිබුණ අනියත බිය ඉවත් කර ප්‍රතිලාභ රැසක් ලබාදෙන නගරයක් බවට පත් කිරිමට කටයුතු කළ බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ජාත්‍යන්තර වශයෙන් රටේ ආරක්ෂාවත් ස්වෛරීත්වයත් තහවුරු කරගෙන මෙම ව්‍යාපෘතිය සිදු කර ඇති බවද රණවක මහතා පෙන්වා දුන්නේය.

කොළඹ වරාය නගරයේ හෙක්ටයාර් 269ක සියලුම භුමී ප්‍රමාණය පුරවා අවසන් කිරීම වෙනුවෙන් ඊයේ (16) පැවැති උත්සවයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා

ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවක අපි මේ ඉන්නේ. මේ ව්‍යාපෘතියේ පළමු පියවර නිමාවෙනවා. වැලි රැගෙන ඇවිත් මේ බිම ගොඩ කිරීම අද අවසන් වෙනවා. වැලි ගොඩට ගෙනා නැවට ආයුබෝවන් කියන දවසයි. මේ ව්‍යාපෘතිය ගැන විවිධ අදහස් බියජනක තත්ත්වයන් තිබුණා. ජාත්‍යන්තර වශයෙන් රටේ ආරක්ෂාව පිළිබඳව, රටේ ස්වෛරීත්වය පිළිබඳ, පාරිසරික ප්‍රශ්න පිළිබඳව, ධිවර ප්‍රශ්න පිළිබඳ අනියත අදහස් තිබුණා. මේ බියජනක තත්ත්වයන් අද නැති කර තිබෙනවා. සියවස් ගණනාවක් කළු ගඟෙන් මහ මුහුදට ගිය වැලි කන්ද අපි නැවත තැන්පත් කර තිබෙනවා. මේ වන විට කළු ගඟෙන් මුහුදට කියුබික් මීටර මිලියන 70ක් පමණ මුහුදට ගොස් තිබෙනවා. ඒ ප්‍රමාණය අද අපි මෙතන ගොඩ කර තිබෙනවා. අපේ ධීවර ප්‍රජාව හා ජෛව විවිධත්වය පිළිබඳ අනියත බියක් ඇති කරගෙන හිටියා. මේ නිසා හෝදා පාළුව වැඩිවෙනවා කියා සමහරු කිව්වා. ඒ සියලු තත්ත්වයන්ගෙන් අපි මිදී තිබෙනවා. චීන සමාගම මඟින් සෝදා පාළුවට පත් වූ ප්‍රදේශ ප්‍රතිසංස්කරණය කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. නව කැලණි පාලමේ සිට ඉදිරියේදී චෛත්‍ය පාරට ගුවන් මගින් පාරක් එනවා. එය උමඟක් මඟින් කොල්ලුපිටිය දක්වා ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් අප කර තිබෙනවා. එය කඩනමින් ඉදිකරනවා. කඩුවෙල, රාජගිරිය, බත්තරමුල්ල පරිපාලන නගරය, බේරේ වැව අවට තිබෙන වාණිජ නගරය සියල්ල සම්බන්ධ කරන සැහැල්ලු දුම්රිය සේවයත් මේ නව නගරයට ගමන් කරන්න කටයුතු කරනවා. මේ නව නගරයට විදුලිය, ජලය සපයන්නේ කොහොමද කසළ කළමනාකරණය කරන්නේ කොහොමද කියා බොහො දෙනෙක් ඇහුවා. ඒ ප්‍රශ්න සියල්ලම අපි විසඳා තිබෙනවා. අනාගතයේ ඉතා කෙටිකාලයකින් හරිත උද්‍යානයක් ඉදිවෙනවා. ජත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය, ජාත්‍යන්තර පාසලක්, ජාත්‍යන්තර රෝහලක්, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක් ඉදිකිරිමට කටයුතු කරනවා. මේ කටයුතු පහසු දෙයක් නොවෙයි. වසර තුනක් ඇතුළත මේ කටයුතු කිරිම ජයග්‍රහණක්. සියලුදෙනාටම ඇහුම්කන් දෙමින් ආ සංවර්ධන වැඩපිළිවෙළක් මෙය. කිසිදු කෙනෙක් මර්දනය කළේ නැහැ. විරෝධය පෑ කිසිදු කෙනෙක්ට කදුළු ගෑස් ගහන්න වතුර ගහන්න ගියේ නැහැ. සාකච්ඡාවෙන් සම්මුතියෙන් තමයි අපි මේ දිනා ගත්තේ. කිසිදු කෙනකු සිදුවෑන්වලින් ගෙන යන්න කටයුතු කළේ නැහැ. ධර්මානුකූලව අවිහිංසාවාදීව තමයි අප මේ සියලු කටයුතු සිදු කළේ. අනාගතයේ අපේ රටේ දරුවන්ට රටේ පමණක් ‍නොවෙයි ඉන්දියානු සාගරයේ ප්‍රධානම ආර්ථික මධ්‍යස්ථානයේ ජවන එන්ජිම මෙතැනින් ගොඩ නැගෙන බව සිහිපත් කරනවා. අපේ අමාත්‍යාංශය මඟින් ඒකල ප්‍ර දේශයේ ගොඩනගන ගුවන් නගරය, තාක්ෂණ නගරය හෝමගම ප්‍ර දේශයේ පරිපාලන නගරය බත්තරමුල්ල ප්‍ර දේශයේත්, ප්‍රවර්ධන නගරය කෙරවලපිටිය ප්‍ර දේශයේත් බේරෙවැවි අවට ගොඩ නැගෙන වාණිජ නගරයත් එක්ක කොල්ලුපිටිය සිටි දෙහිවල දක්වා තවත් වෙරළ නගරයක් ඇති කරන්නත් අපි කටයුතු කරනවා. එම වෙරළ නගරය ඉදිකිරිමට ශක්‍යතා අධ්‍යයනයක් කරගෙන යනවා. ඉදිරි දශකය ඇතුළත මේ වෙරළ ලැබෙයි. අලුත් කොළඹ නගරයක් ඉදිකිරීමට සුහුරු නගර සංකල්පයට අනුව ඉදිවන වරාය නගරයේ පළමු අදියර නිමා වී තිබෙනවා. චීන රජයටත් මා ස්තුතිවන්ත වෙනවා. තානාපතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. අපේ ජනතාවට මේ රට හැරයන වෘත්තීයවේදීන්ට ඉන්න හිතෙන රටක් බවට අපි මේ රට පත් කරනවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂුයේයුවාන් පෝට් සිටි ව්‍යාපෘතියේ කළමනාකාර අධ්‍යක්ෂ ජියැං හවුලියැං අමාත්‍ය ලේකම් නිහාල් රූපසිංහ මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

චමීර ඇල්ලදෙණිය

 

නව අදහස දක්වන්න