ජනපතිගේ පිලිපීන සංචාරයෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් | දිනමිණ

ජනපතිගේ පිලිපීන සංචාරයෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක්

පිලිපීනය හා ශ්‍රී ලංකාව අතර පවතින වසර 58 ක දීර්ඝ කාලීන සබඳතා ශක්තිමත් කරන අභිප්‍රායෙන් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම වසරේ සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් පිලිපීනය බලා පිටත්ව ගියේය.

පසුගිය 15 වැනිදා දහවල් ශ්‍රී ලංකාවෙන් පිටත් වූ ජනාධිපතිවරයා එදින රාත්‍රී මැනිලා නුවර නිනෝයි අකිනෝ (Ninoy Aquino ) ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් පිළිගැනීම සිදු වූයේ දේශයට මහත් ගෞරවයක් ලබා දෙමිනි.

පිලිපීනය සමඟ පවතින 58 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තුළ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකු පිලීපීන රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා ලැබූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් එරට සිවු දින රාජ්‍ය සංචාරයක් ආරම්භ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ගුවන් තොටුපළේ සිටම පිළිගැනීම සඳහා එරට ජනාධිපතිවරයා නියෝජනය කරමින් එරට වෙළෙඳ සහ කර්මාන්ත අැමැති රැමොන් මහතා ඇතුථ විශේෂ නියෝජිත පිරිසක් පැමිණ සිටියහ.

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුලින්ම ආරම්භ වන්නේ 1951 දීය. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිලිපීනයේ අගනුවර වන මැනිලා නුවරත්, පිලිපීන කොන්සල් කාර්යාලයක් කොළඹදීත් පිහිටුවා ගනු ලබන්නේ 1964 දී සහ 1966 දීය. පසු කාළයකදී දෙරටවල් අතර ඇති වූ සාකච්ඡාමය එකඟතාව මත 1993 ජුනි මස 30 වැනිදා දෙරටේම තානාපති කාර්යාල වසා දැමීමට පියවර ගනු ලැබුවද එය දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට බලපෑමක් වූයේ නැත.

එහෙත් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් වැදගත් සන්ධිස්ථානයකට පිවිසීමේදී පිලිපීනයේ අගනුවර වන මැනිලා නුවර පදනම් කැර ගෙන පිහිටුවා ඇති ආසියානු සංවර්ධන බැංකුව සමඟ සහයෝගිතාවය ගොඩනගා ගැනීම උදෙසා ශ්‍රී ලංකාව 1998 සැප්තැම්බර් මස සිය තානාපති කාර්යාලයක් මැනිලා අගනුවර යළිත් පිහිටුවන ලදි. ඉන් අනතුරුව පිලිපීනය කොළඹ පිහිටුවා තිබියදි 1966 වසා දැමු සිය කොන්සල් කාර්යාලය යළිත් කොළඹදී පිහිටු වීමට පියවර ගනු ලැබීය.

එතැන් පටන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් ලෙස පවත්වාගෙන යාමට උත්සහ කරනු ලැබිණි. එහෙත් එරට රාජ්‍ය නායකයා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකුට එරටෙහි රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා කැර තිබුණේද නැත.එවන් පරිසරයක් හමුවේ අද පිලිපීනයෙන් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ අද්විතීය ගෞරවයකි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පස් දින රාජ්‍ය සංචාරයත් සමඟ දෙරට අතර මෙතෙක් නොපැවති ආකාරයේ දේශපාලන,ආර්ථික මෙන්ම සංස්කෘතික සබඳතා ඉහළ නංවා ගැනීමට අවශ්‍ය පසුබිම සැලසෙන අතර දෙරට අතර දීර්ඝ කාලයක් පුරා පවතින සබඳතා තුළින් හිමිවන අන්‍යෝන්‍ය ප්‍රතිලාභ නව ක්ෂේත්‍ර කරා යොමු කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය කරා යන ගමනට නව පිටිවහලක් ඇති කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටේට් මහතා සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවත්වනු ලබන ද්විපාර්ශවික සාකච්ඡා තුළින් ඉඩ ලැබෙනු ඇත.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය දියුණු කරමින් මෙරට කෘෂි ආර්ථිකය තුළින් ස්වයං පෝෂිත කරන්නට මූලික අඩිතාලම යොදවමින් මොරගහකන්ද,කළුගඟ ව්‍යාපෘතින් ක්‍රියාවට නංවමින් වයඹ ඇල ව්‍යාපෘතිය තුළින් පළාත් රැසක වසරේ වැඩි කාළයක් වියැලී ගොස් වසරකට නිසි ලෙස කන්නයක් වත් වගා කළ නොහැකි කුඹුරු කන්න දෙකෙහිදීම අස්වැද්දීමට හැකි පරිදි අවශ්‍ය තරම් ජලය සැපයීමට සාර්ථක පියවර රැසක් ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිපීනයේ ලොස් බැනෝස් හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ සංචාරයකට එක්වන්නේ එරට සහල් නිෂ්පාදනයේ තාක්ෂණය මෙරට සහල් නිෂ්පාදනය සඳහා යොදා ගත හැකි පිළිවෙත අධ්‍යයනය කිරීමටය.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ තවත් සුවිශේෂි හමුවක් සිදුවනු ඇත. එනම් මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ දී එහි සභාපති තකෙහිකෝ නාකාඕ මහතා සමඟ කරනු ලබන සාකච්ඡාවය. දීර්ඝ කාළයක් පටන් ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ආධාර සපයමින් කටයුතු කරන ආසියානු සංවර්ධන බැංකුවේ අනුග්‍රහය වැඩි වශයෙන් ලබා ගැනීම මෙහි මූලික අරමුණ වනු ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති වරයා 2016 පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කෙළේය. එම සාකච්ඡාවලින් අනතුරුව බැංකුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් දශලක්ෂ 100 ක ණය ආධාර ලබාදී තිබුණේ සුළු හා මධ්‍යම කර්මාන්ත අංශයේ දියුණුව සඳහාය. මේ ආකාරයෙන් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන ආකල්ප තවදුරටත් වර්ධනය කරමින් මෙරට සංවර්ධනයේ වැඩි දායකත්වයක් ලබා ගැනීමට මෙම හමුව ඉවහල් වනු ඇත.

එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස 2017 වර්ෂය සඳහා ආසියානු සංවර්ධන බැංකුව ලබාදෙන ආධාර ප්‍රමාණය ඉහළ දමා තිබුණි.ඒ අනුව මහා මාර්ග, පානීය ජල ව්‍යාපෘති, වාරි මාර්ග හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියනයක මුල්‍යාධාර ලබාදීමට පියවර ගෙන තිබුණි.

මෙම රාජ්‍ය සංචාරයේදි පිලිපීන ජනාධිපති මන්දිරය වන 'මලකන්යන්ග් පැලස් 'හි දී පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් හමුවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද්ව්පාර්ශ්වික සාකච්ඡාවලට එක්විය. ඉන් අනතුරුව දෙරට අතර ආරක්ෂක, අධ්‍යාපන,කෘෂිකර්ම සහ සංචාරක ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ ගිවිසුම් කිහිපයකට අස්සන් කෙරෙනු ඇත.මේ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලිපීන රාජ්‍ය සංචාරය ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් හිමිකර දෙන සංචාරයක් වනු ඇත.

ටී.චන්ද්‍රසේකර

නව අදහස දක්වන්න