ආර්ථිකය නංවන්න ජගත් මූල්‍ය අරමුදලේ සහාය | දිනමිණ

ආර්ථිකය නංවන්න ජගත් මූල්‍ය අරමුදලේ සහාය

ඇමැති මංගලට අයි.එම්.එෆ් ප්‍රධානීහු සහතික වෙති

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීමට සහාය වීමට තමන් සූදානම් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මුදල් ඇමැති මංගල සමරවීර මහතාට දැනුම් දී ඇත.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයෝ ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධාන කාර්යාලයේ දී හමු වූ අවස්ථාවේ අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලාගාර්ඩි (Christine Lagarde) මහත්මිය මේ බව කියා සිටියේ ය.

එහිදී අදහස් දැක් වූ කළමනාකරණ අධ්‍යක්ෂිකාව ශ්‍රී ලංකාවට ලබාදීමට

එකඟ වූ විස්තීරණ ණය පහසුකම පිළිබඳව වැඩිදුරටත් කරුණු සාකච්ඡා කිරීමට අපේ කණ්ඩායමක් ලබන මාසයේ මැද දී ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් බව කීවාය.

ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස 26 වැනිදා සිදු වූ දේශපාලන අස්ථාවරත්වය නිසා මෙරටට ලබාදීමට නියමිතව තිබූ ණය වාරිකය පිළිබඳව විධායක මට්ටමේ කථිකාව ප්‍රමාද විය. මේ ප්‍රමාදය මගහරවා යළිත් ණය මුදල මෙරටට ලබා ගැනීම මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රමුඛ රජයේ නියෝජිත පිරිසේ අරමුණ විය.

වසර 2016 – 2019 දක්වා කාලය තුළ ඩොලර් බිලියන 1.5 ක ණය මුදලක් වාරික 06ක් යටතේ මෙරටට ලබාදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එකඟ වී තිබුණි. ඒ අනුව රජය රටේ ආර්ථික අංශ ගණනාවක ප්‍රතිසංස්කරණ ආරම්භකොට තිබුණි. ඒවා පිළිබඳවද ලබන මස මෙරටට පැමිණෙන ජ.මු.අරමුදලේ නියෝජිතයෝ කරුණු සාකච්ඡා කරනු ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොදු සැපැයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග, මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නි‍යෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් ඇමැතිවරයාගේ ආර්ථික උපදේශක ඩේසිල් ද මැල්, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මහින්ද සිරිවර්ධන යන මහත්වරු සහභාගි වී සිටියහ.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, කැබිනට් නොවන ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටින් ලෝගාර්ඩ් මහත්මිය හමු වූ අවස්ථාවයි ‍මේ. මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ද ඡායාරූපයේ සිටී.

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න