සමුද්‍රීය වෙළෙඳ ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් කොළඹ වරාය ලෝකයෙන් අංක එකට | දිනමිණ

සමුද්‍රීය වෙළෙඳ ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් කොළඹ වරාය ලෝකයෙන් අංක එකට

වරාය සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක

කොළඹ වරාය සමුද්‍රීය වෙළෙඳ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ලොව අංක එක ලෙස ශ්‍රේණි ගත වී තිබේ. ආසියානු, යුරෝපියානු හා මැදපෙරදිග වරායයන් අභිබවා කොළඹ වරාය මේ සුවිශේෂී ජයග්‍රහණය අත්පත්කර ගෙන තිබෙන බව වරාය, නාවික හා දක‍්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පවැසීය. කොළඹ වරාය අවසන් පළමු අර්ධ වාර්ෂිකයේ දී 15.6%ක බහලූ මෙහෙයුම් වර්ධන වේගයක් ද අත්පත් කරගෙන තිබේ.

කොළඹ වරාය ලාබ ලබමින් අත්කර ගෙන ඇති ජයග්‍රහණවලට මුල් වූ ප්‍රධානම සාධකය ව්‍යාපාරවල නියුතු නාවික වෙළෙඳ ප්‍රජාව බවත් මීට සමගාමීව වරාය සේවක ප්‍රජාවගේ කැපවීම වඩා වැදගත් බවත් පරාක්‍රම දිසානායක මහතා පවැසීය.

ලොව බහලු මෙහෙයුම් සිදු කෙරෙන වරායන් අතර ඇති තරඟකාරීත්වය හා නව තාක්ෂණය සමඟ වැඩි දියුණු වන ව්‍යාපාරික අවශ්‍යතා හේතුවෙන් කොළඹ වරායේ බහලු මෙහෙයුම් ධාරිතාවය තව දුරටත් වැඩි කර ගැනීම අත්‍යවශ්‍ය බව ද හෙතෙම අවධාරණය කෙළේ ය. එම කටයුතු විධිමත් කිරීම සඳහා නව නීති රීති සම්පාදනය ද අත්‍යවශ්‍ය බව සභාපතිවරයා පෙන්වා දුන්නේ ය.

අවසාන වසර කොළඹ වරාය ජයග්‍රහණ රැසක් හිමිකරගෙන තිබෙන අතර එම වසරේ දී ලොව හොඳම බහලු මෙහෙයුම් වරාය තිහ අතර පළමු ස්ථානයට කොළඹ වරාය පත් වූ බවද පෙන්වා දුන්නේ ය. ජාත්‍යන්තර ඇල්ෆා ලයිනර් දර්ශකයට අනුව කොළඹ වරාය පළමු අර්ධ වාර්ෂිකය තුළ දී ළඟා කරගත් බහලු මෙහෙයුම් වර්ධන අනුපාතය 15.6%කි. සමුද්‍රීය වෙළෙඳ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ලොව අංක 01 ලෙස ශ්‍රේණිගත වීම කොළඹ වරාය ළඟාකර ගත් සුවිශේෂ ජයග්‍රහණ අතර වැදගත් වන බව ද සඳහන් කෙළේ ය. මේ වන විට කොළඹ වරායේ පර්යන්ත අතර ඇති කර ගෙන ඇති අන්තර් පර්යන්ත මෙහෙයුම් අවබෝධතා ගිවිසුම අනුව කොළඹ වරායේ සියලු පර්යන්ත සිය උපාය මාර්ගික පර්යන්ත ව්‍යාපාර ප්‍රවර්ධනයන් එක්ව සිදු කරයි. ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවතින ජය බහලූ පර්යන්තය, සවුත් ඒෂියා ගේට්වේ පර්යන්තය , කොළඹ ජාත්‍යන්තර බහලූ පර්යන්තය යන පර්යන්ත මේ අවබෝධතා ගිවිසුම හා බැඳී පවතී.මේ ගිවිසුම පදනම් කර ගනිමින් කොළඹ වරායේ ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු පර්යන්ත අතර සාමූහික එකඟතාවයකින් යුතුව සිදු කෙරේ.

මේ ක්‍රමවේදය මගින් කොළඹ වරායේ පිටතදී පෙර පිවිසුම් කලාපයේ නෞකාවන් සඳහා පර්යන්ත පහසුකම් ලබා ගැනීමට ගතවන කාලය අවම කර ගැනීමට හැකිව තිබෙන බව පරාක්‍රම දිසානායක මහතා පෙන්වා දුන්නේ ය. මෙහිදී අදාළ ප්‍රමුඛතාවය අනුව, කොළඹ වරාය නෞකාව වලට පර්යන්තය නැංගුරම් පහසුකම් ලබා දීම සිදු කිරීම හේතුවෙන්

බහලු මෙහෙයුම් කටයුතු කඩිනම් කර ගැනීමට හැකි ව ඇත.

මෙය කොළඹ වරාය ජාත්‍යන්තර නාවික වෙළෙඳාම තුළ ඉතා ඉහළ විශ්වාසනීයත්වයක් රඳවා ගැනීමට හේතු වී තිබේ.

චන්ද්‍රිකා පෙරේරා

නව අදහස දක්වන්න