රාජපක්ෂ තුන්කට්ටුවම ජනපති සටනේ | දිනමිණ

රාජපක්ෂ තුන්කට්ටුවම ජනපති සටනේ

ගෝඨාභය, බැසිල් චමල් රාජපක්ෂ සොහොයුරන් තිදෙනාම ජනපතිවරණයට ඉදිරිපත් වීමේ සූදානම දැන් කරළියට පැමිණ ඇත. මෙම ආගමනය නිසා පොදුජන පෙරමුණ ඇතුළත ගැටුම් උග්‍ර අතට පත්වෙමින් පවතින බව තතු දන්නෝ පවසති. රාජපක්ෂ සොහොයුරන් තිදෙනාම තමන් ‍එ‍ළෙඹෙන ජනපතිවරණයට ඉදිරිපත් වීමට කැමැත්තෙන් සිටින බව මාධ්‍ය සාකච්ඡා රැස්වීම් හරහා

ජනතාව දැනුවත් කරමින් සිටිති.

ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 12 වැනිදා පැවැති වියත් මඟ සම්මන්ත්‍රණයේදී මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවත් තමන් එයට සූදානම් බැවින් ජනතාවටත් ඊට සූදානම් වන ලෙසට ප්‍රකාශ කර ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධාන හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසන්නේ ගෝඨාභය මහතා ජනතාව සූදානම් නම් තමන් ජනපතිවරණයට ඉදිරිපත් වන බවත් ඒ ඔහුගේ අදහස වන අතර තමන් ජනාධිපති වීමට සුදුසුනම් තමාත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බවයි.

මේ අතර මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ජනාධිපති අපේක්ෂක ධුරයට බැසිල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කර ඇත. මේ වසර අවසන් වීමට පෙර පොදු පෙරමුණ ප්‍රධාන සන්ධානයෙන් නව ජනාධිපතිවරයකු පත්කර ගැනීමට තමන් සූදානම් බව පසුගිය 13 වැනිදා මහර තරුණ බල මණ්ඩලය පිහිටුවීම සඳහා පැවැති රැස්වීමේදී බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත.

මේ තුන් පොරය හේතුවෙන් පොදුජන පෙරමුණේ ප්‍රධාන පෙළේ මන්ත්‍රීවරුන් ද සිය අප්‍රසාදය පළ කරමින් අර්බුදකාරී වාතාවරණයකට පත්ව සිටිති. මොවුන්ගෙන් සමහරක් පවසන්නේ බැසිල් මෙන්ම ගෝඨාභයද ඇමරිකානු පුරවැසියන් බැවින් වඩාත් සුදුසු පුද්ගලයා වන්නේ චමල් රාජපක්ෂ මහතා බවයි. කළුතර දිසා මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ ද අදහස වන්නේද එයයි. ඔහු පවසන්නේ තමන්ගේ බලාපොරොත්තුව මහින්ද රාජපක්ෂ මහතා බවත් ඔහුට එයට ඉදිරිපත් විය නොහැකි නම් චමල් රාජපක්ෂ මහතා වඩාත්ම සුදුස්සා බවයි.

මේ අතර පොදුජන පෙරමුණේ මධ්‍යම පළාත් සභාවේ හිටපු ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසන්නේ තවත් කතාවකි. ඔහු පොහොට්ටු ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ බොළඳ ප්‍රකාශ ඉදිරිපත් නොකරන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධ කරගෙන ජනාධිපති අපේක්ෂක ගැන යම් යම් ප්‍රකාශ සිදුකරන බවත් ජනපති අපේක්ෂක පිළිබඳ කිසිම සංවාදයක් හෝ එකඟතාවක් නොමැති බැවින් මෙවැනි බොළඳ ප්‍රකාශ නොකරන ලෙසද පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටී.

මේ අතර උදය ගම්මන්පිල මහතා පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන සන්ධානයකින් ඉදිරි ජනපතිවරණයට තරග කිරීමට අපේක්ෂකයන් කීපදෙනෙකුගේ නම් යෝජනා කර ඇති බවයි. ඔහු විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම යෝජනා කර ඇති අතර වාසුදේව නානායක්කාර මහතා යෝජනා කර ඇත්තේ චමල් රාජපක්ෂ මහතාගේ තමයි.

එහෙත් පසුගිය 15 වැනිදා බත්තරමුල්ලේ නෙළුම් මාවතේ පොදුජන පෙරමුණ මාධ්‍ය සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසා ඇත්තේ ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් ලබන මැයි මාසය වනවිට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු සකසන බවයි. උදය ගම්මන්පිල මහතා ජනාධිපතිවරණයට තව මාස නවයක කාලයක් ගත වන බව කියයි.

මේ අනුව දේශපාලන විචාරකයන් පවසා සිටින්නේ ලබන මැයි මස වනවිට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට බොහෝසෙයින් ඉඩකඩ ඇති බවයි.

නව අදහස දක්වන්න