රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශපාලන පක්ෂයක අතකොලුවක් | දිනමිණ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශපාලන පක්ෂයක අතකොලුවක්

ඡායාරූපය හිරන්ත ගුණතිලක

අමාත්‍යාංශයකට විරුද්ධව ජනපති කොමිසමක් පත් කරන්න බැරි බව ජනපති කිවුවා

දේශපාලන පක්ෂයක අතකොලුවක් බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත්ව ඇති අතර සංගමය ප්‍රකාශ කරන ආකාරයට අමාත්‍යාංශයකට විරුද්ධව ජනාධිපති කොමිසමක් පත් කිරීම සිදු කළ නොහැකි බව ජනාධිපතිවරයා තමා සමඟ පැවැසූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයා සමඟ කළා යැයි කියන සාකච්ඡාවන්හි දී කරුණු අනාවරණය කරමින් අසත්‍ය තොරතුරු ජනතාවට ඉදිරිපත් කරන්නේ යැයි ද ඇමැතිවරයා පැවැසුවේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයා සමඟ පසුගිය දා සිදු කළ බවට පවසන සාකච්ඡාවක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (16) අරලියගහ මන්දිරයේ දී ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙසේ ද පැවැසුවේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තුට්ටු දෙකේ දේශපාලන පක්ෂයක අතකොළුවක් බවට පත් වෙලා තිබෙනවා. මේ සංගමයේ හිටපු සභාපතිවරුන්, ලේකම්වරුන්, භාණ්ඩාගාරිකවරුන් විසි ගණනක් මාව හමුවී සාකච්ඡා කළා. ඉදිරියේ දී සංගමයේ සිය ගණනක් මා හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි. තරුණ වෛද්‍යවරුන් හා වෛද්‍යවරියන් බියපත් කර සාමාජිකයන් බඳවා ගැනීමට මේ සංගමය කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියේ දී කරුණු හෙළිදරව් කරනවා. මා වෛද්‍යවරකු ලෙස සිටින කාලයේ අවුරුදු 14ක් විතර මේ සංගමයේ සිටියා. සාමාන්‍ය ජනතාව මුළා කරමින් මේ සංගමය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගන්නවා. කොමිසම් පත් කළ යුත්තේ මේ සංගමයේ දේවල් සොයන්න. වෛද්‍ය වෘත්තියේ නියැළී සිටින ගමන් ඔවුන් පෞද්ගලික සේවාව සඳහා යනවා. රෝගියා පැමිණි විට අවශ්‍යම වුවහොත් පමණක් වෛද්‍යවරයා ගෙන්වීමට කටයුතු කරනවා. මේ වගේ තත්ත්වයකට සෞඛ්‍ය අමාත්‍යාංශය පත්වීම සුදුසු නැහැ. ඒ ගැන අපි සෙවිය යුතුයි. දකුණු ආසියාව තුළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතින්නේ ශ්‍රී ලංකාවේ.

වසර තුනහමාරක සිට ඖෂධ හිඟයකින් තොරව රෝහල් ක්‍රියාත්මක වනවා. ඖෂධ අඩු වන විටදී අවශ්‍ය ඖෂධ දේශීයව මිල දී ගැනීමට රුපියල් මිලියන 10ක මුදලක් ප්‍රධාන රෝහල්වල අධ්‍යක්ෂවරුන්ට ලබා දී තිබෙනවා. ලෝකයේ හොඳම අක්ෂි කාච, ස්ටෙන්ට් රෝගීන්ට බද්ධ කරනවා. මේවා අමෙරිකාවෙන් ගෙන්වන්නේ. මෙරට වෛද්‍ය සභාව ශක්තිමත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව මෙන් සැකසීමට අපි වැඩපිළිවෙළක් යෙදිය යුතුයි. වෛද්‍ය සභාවේ සභාපතිවරුන් පත් කිරීම සඳහා කටයුතු කරනවා. වෛද්‍යවරුනුත් දේශපාලනය කරනවා. වෛද්‍ය සභාව ඒ නිසා දේශපාලනීකරණය වෙලා. හදිසි අනතුරු අංශ වැඩි දියුණු කර සංඛ්‍යාව මේ වන විට වැඩි කර තිබෙනවා. මෙරට සෞඛ්‍ය සංවර්ධනය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මාධ්‍යයේ පවා ප්‍රචාරය කරනවා. නොමිලේ සෞඛ්‍ය සේවාවක් සැපයීම ඔවුන්ගේ පුදුමයට හේතුවක්ව තිබෙනවා. ළමා රෝහල් මේ වන විට යුරෝපීය ප්‍රමිතියට අනුව අටක් ඉදි කරමින් පවතිනවා. මාතෘ රෝහල් ඉදි කරමින් තිබෙනවා.

පිළිකා රෝගීන්ට උපරිම ප්‍රතිකාර ලබාදීම සිදු කරනවා. තැලසීමියා, ලියුකේමියා රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමටත් අපි පියවර ගෙන තිබෙනවා. අවයව බද්ධ කිරීම් මේ රටේ මීට පෙර සිදු කළේ මුදල් තිබෙන අය විතරයි. ඒ තත්ත්වය අපි වෙනස් කළා. අක්මා, අග්න්‍යාසය, අත් පා, වකුගඩු බද්ධ කිරීම් බොහොමයක් අපි දැන් සිදු කරනවා. හදවත් බද්ධ කිරීම් ද සිදු කළා. ඇටමිඳුළු බද්ධය ආරම්භ කර තිබෙනවා. දුප්පත් රෝගීන්ට ලබාදෙන ප්‍රශස්ත සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් තමයි ලෝකයේ රටවල් පුදුම වන්නේ.

කවදාහරි සෞඛ්‍ය ඇමැති වෙනවා කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා හිතාගෙන සිටිනවා. ඒ නිසා අපත් සමඟ සටන් කරනවා. මේ සටන්වලට අපි බිය නැතිව මුහුණ දෙමින් ජය ගන්නවා. කවුරු මොනවා කිවුවත් ජනතාවට ලබාදෙන නිදහස් සෞඛ්‍ය සේවාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලබාදීමට අපි පියවර ගන්නවා.

සන්ධ්‍යා කරුණාරත්න

 

 

නව අදහස දක්වන්න