පාරි­භෝ­ගික සත්කා­ර­යෙන් ප්‍රථ­ම­යා­වීම අභි­ප්‍රා­යයි | දිනමිණ

පාරි­භෝ­ගික සත්කා­ර­යෙන් ප්‍රථ­ම­යා­වීම අභි­ප්‍රා­යයි

ජාතික රක්ෂණභාර අරමුදල සියලුම රාජ්‍ය සේවකයන්ට රැකවරණය සලසන සුරක්ෂිත ආයතනයකි. රට තුළ සිදුවන වර්ජන , කැරලි කෝලහල, ජන කැළඹීම්, ත්‍රස්තවාදය වැනි බලපෑම් ආවරණය කරන රක්ෂණාවරණයක්, රථ වාහන රක්ෂණයක්, සාමාන්‍ය ජීවිත රක්ෂණයක් සහ රෝගී තත්ත්වයකදී අනිවාර්යෙන්ම පිහිටට තිබිය යුතු අග්‍රහාර රක්ෂණය ඇතුළු රක්ෂණාවරණය කිහිපයක්ම ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ ක්‍රියාත්මක වේ.

ඉතාම සුවිශේෂී රක්ෂණ ක්‍රමයක්වන අග්‍රහාර රක්ෂණය පිළිබඳව ජාතික රක්ෂණ භාර අරමුදලෙහි සභාපති මංජුල ද සිල්වා මහතා දැක්වූ අදහස්,

" රාජ්‍ය සේවකයන් වෙනුවෙන්ම නිර්මාණය කර ඇති අග්‍රහාර රක්ෂණ ක්‍රමය තුළ සියලු රාජ්‍ය සේවකයන් සාමාජිකයන් බවට පත් වෙනවා. ත්‍රිවිධ හමුදාව හැර අනෙක් සියලුම රාජ්‍ය ආයතනවල 870000 පමණ සේවකයින් අග්‍රහාර රක්ෂණයෙයි සාමාජිකයන්. මීට අමතරව 2016 වසරෙන් පසුව අර්ධ රාජ්‍ය අංශයේ සංස්ථා, විශ්වවිද්‍යාල ආදී ආයතනවලටත් අග්‍රහාර රක්ෂණ ක්‍රමයට සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබී තිබෙනවා. මේ වන විට 26 000 පමණ අර්ධ රාජ්‍ය සේවකයින් සංඛ්‍යාවක් අග්‍රහාර රක්ෂණ ක්‍රමය සමඟ සම්බන්ධ වී සිටිනවා."

මෑතක් වනතුරු අග්‍රහාර රක්ෂණ ක්‍රමය පවත්වාගෙන ආවේ විශ්‍රාම ගිය පසු එය අහෝසි වන ආකාරයෙන් නමුත් 2016 වසරෙන් පසු විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට තවදුරටත් දිගින් දිගටම එහි රැඳී සිටින්නට හැකියාව ලැබී තිබේ. 44000ට අධික විශ්‍රාමික පිරිසක් මේ වන විට මෙම රක්ෂණය සමඟ තවදුරටත් ගනුදෙනු කරයි.

සියලු රක්ෂණ ලාභීන් ගේ පවුල් වල පිරිස් සමග ලක්ෂ 27 ක පමණ ප්‍රමාණයක් මේ වන විට මෙම රක්ෂණ ක්‍රමයෙන් ආවරණය ලබති. එය ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 12%ක පමණ ප්‍රමාණයකි. 2016 වසරේ සිට අලුතෙන් හඳුන්වාදුන් රිදී සහ රන් අග්‍රහාර රක්ෂණාවරණ ක්‍රම යටතේ කැමති ඕනෑම අයකුට වැඩි වාරිකයකට එකඟ වී වැඩි වරප්‍රසාද ලබන්නට අවස්ථාව තිබේ. ඒ අනුව රිදී රක්ෂණාවරණයක් ලබා ගන්නට රුපියල් 300ක වාරිකයක් සහ රන් රක්ෂණාවරණයක් ලබා ගන්නට රුපියල් 600 ක වාරිකයක් මාසික වාරික වශයෙන් ගෙවන්නට තෝරා ගත හැකියි. ඒ තුළින් පිළිවෙලින් රුපියල් 250000 සහ 350000 ක වාර්ෂික රක්ෂණාවරණයක් ලබා ගන්නට සාමාජිකයාට හැකියාව ලැබේ.

අග්‍රහාර රක්ෂණ ක්‍රමය මගින් 2018 වසරේ 170000ට වැඩි සාමාජික පිරිසක් අතරේ බිලියන 4 ක ප්‍රමාණයක් ප්‍රතිලාභ ලෙස ගෙවා තිබේ.

ඉහත රක්ෂණ ක්‍රමවලට අමතරව නියඟයෙන් ගංවතුරෙන් සහ වන අලි උවදුරෙන් පීඩිත ගොවියන් වෙනුවෙන් කෘෂිකාර්මික ණය රක්ෂණ ක්‍රමයක් ද මෙමගින් ක්‍රියාත්මක වේ. සහනාධාර පොහොර ලබන ගොවීන් සඳහා ප්‍රාදේශීය වගා රක්ෂණ තක්සේරු කමිටුවේ නිර්දේශ මත නියෝජ්‍ය/ සහකාර කොමසාරිස් ගේ අනුමැතිය යටතේ ඉල්ලුම්පත් ජාතික රක්ෂණ භාර අරමුදල වෙත ඉදිරිපත් කළ යුතු ය. අනුමත සියලු ගෙවීම් රක්ෂණලාභියාගේ බැංකු ගිණුම වෙත බැර කරනු ලැබේ.

තවදුරටත් අදහස් දැක්වූ සභාපති මංජුල ද සිල්වා මහතා,

"රක්ෂණ ප්‍රතිලාභ ගෙවීමේ දී අපි ඉතාම ඉක්මනින් ඒ කටයුතු සිදුකරන්නට උත්සාහ දරනවා. ඒ ප්‍රතිලාභ ගෙවීම් සිදු වෙන්නේ රක්ෂණ ලාභියා අයත් වන දෙපාර්තමේන්තු හරහා. ප්‍රතිලාභ ගෙවීම් දින දෙකක් හෝ තුනක් ඇතුළත අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ පිළිබඳව සාමාජිකයා කෙටි පණිවිඩයක් මගින් දැනුවත් කරනවා. එසේම 24 පැයේම ක්‍රියාත්මක වන දුරකථන සම්බන්ධතාවයකුත් අප සතුව තිබෙනවා. "

ඇතැම් රාජ්‍ය ආයතන කෙරෙහි ජනතාව දක්වන්නේ එතරම් සුබවාදී ආකල්පයක් නොවේ. එයට හේතුව එම ආයතන සිය පාරිභෝගිකයන් කෙරෙහි දක්වන ප්‍රතිචාර අයහපත් මට්ටමක පැවතීමයි.නමුත් ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලය දැනටමත් පාරිභෝගික සත්කාරය ඉතා උසස් මට්ටමක පවත්වාගෙන යන නමුත් ආයතනය පිහිටා ඇති ස්ථානයෙහි ඉඩකඩ ඉතා සීමිත බැවින් පාරිභෝගිකයන්ට යම් යම් අපහසුතාවලට ලක් වන්නට සිදු වේ. මේ තත්ත්වය වලක්වාලීමට සහ පාරිභෝගික සත්කාරයෙන් ලංකාවේ අංක එකේ ආයතනය බවට පත් වීමේ අභිප්‍රායෙන් ඉතා නුදුරේදීම කොළඹ නගරයේ වැඩි ඉඩකඩක් සහ පහසුකම් සපිරි ස්ථානයක රක්ෂණ භාර අරමුදල් මණ්ඩලය ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් වෙමින් පවතී.

 

දිල්රූ ජයසේකර

නව අදහස දක්වන්න