අද ගුවන් හමුදාවෙන් සී.එච්.පිලට අභියෝගයක් | දිනමිණ

අද ගුවන් හමුදාවෙන් සී.එච්.පිලට අභියෝගයක්

ෆවුස් මොහොමඩ්

අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ ආරම්භයේ සිට පෙරළිකාර ක්‍රීඩා විලාශයක නිරතව සිටින සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අද (18) පස්වරුවේ රත්මලාන ගුවන් හමුදා පිටියේ දී පසුගිය සතියේ පොලිස් ක්‍රීඩා සමාජයට අනපේක්ෂිත පරාජයක් උරුම කරදුන් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය වෙතින් අභියෝගයක් එල්ල වනු ඇත.

මේ වනවිට සමස්ත ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 33ක් ලබා තුන්වැනි තැන අත්කරගෙන සිටින සී.එච්.පිල නව වසරේ ආරම්භ වූ දෙවැනි වටයේ පළමු තරගයෙන් ප්‍රබල නාවික හමුදා පිල ලකුණු 31-28කින් පරාජය කළ අතර පසුගිය සතියේදී සී.ආර්.පිලට ලකුණු 33-10ක දරුණු පරාජයක් උරුම කළේය.

මේ අතර පසුගිය සතිය දක්වාම ජයග්‍රහණ ඉඩෝරයකට මුහුණ පා සිටි ගුවන් හමුදා පිල පොලිස් කණ්ඩායමට එරෙහිව 16-7ක ජයක් වාර්තා කිරීමට සමත්වූ අතර සමස්ත ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවූවත් අද තරගයේදී නැවත දස්කම් අතරට සේන්දුවීමට බලාපොරොත්තුවෙන් සිටී.

මේ සති අන්තයේ පැවැත්වෙන තරගවලට අමතරව දෙවැනි වටය නිමාවීමට තවත් සති අන්ත 4ක් ඉතිරිව තිබේ. එබැවින් සුපිරි කණ්ඩායම් හතරේ වටයට යාමට පෙර ඔවුනොවුන්ගේ දස්කම් මුවහත් කරගැනීමට සියළු කණ්ඩායම් දැඩි උත්සාහක නිරතවනු ඇත.

පසුගිය සතියේදී යුද හමුදා පිල හමුවේ සිය අපරාජිතභාවය බිඳ දමා ගත් වත්මන් ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජය හෙට (19) පොලිස් ක්‍රීඩා සමාජය සමග පොලිස් පිටියේදී තරගයට එක්වෙයි. සමස්ත ලකුණු සටහනේ ලකුණු 49ක් ලබා පෙරමුණේ පසුවන මහනුවර පිල හෙට තරගයේදී යළි ජයග්‍රාහී මාවතට පිවිසීමට බලාපොරොත්තුවෙන් පසුවූවත් පසුගිය සතියේදී ලැබූ අනපේක්ෂිත පරාජය නිසා 6 වැනි ස්ථානයේ සිටින පොලිස් පිල අඩු තක්සේරුවට ලක් නොකරනු ඇත.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ සිවුවැනි තැන සිටින සී.ආර්.පිල අතර තරගයත් හෙට පස්වරුවේ හැව්ලොක්ස් පිටියේදි පැවැත්වෙයි. පසුගිය සතියේදී නාවික හමුදා පිල පරාජය කිරීමට හැව්ලොක්ස් පිල සමත්වූ අතර සී.ආර්.පිල ආගාධයකට ඇද දැමීමට සී.එච්.පිල සමත්විය.

හෙට පැවැත්වෙන මේ තරගයට සී.ආර්.පිල එක්වන්නේ නව පුහුණුකරු එම්.මුෂ්ටාක් සමගය. ඔවුන්ගේ හිටපු පුහුණුකරු නිල්ෆර් ඉබ්‍රාහිම් සිය කණ්ඩායමේ පසුබෑම හේතුවෙන් තනතුරෙන් ඉල්ලා අස්වූයේ පෙරේදාය.

මේ අතර පසුගිය සතියේදී මහනුවර පිලේ ආධිපත්‍ය බිඳ දැමූ යුද හමුදා පිල හෙට පස්වරුවේ නාවික හමුදා පිලට එරෙහිව වැලිසරදී තරග වදී. එය නැවියන්ට දුෂ්කර තරගයක් බවට පත්වනු ඇත.

 

නව අදහස දක්වන්න