මොහාන් ද සිල්වා පාර්ශ්වයෙන් සිවු අවුරුදු සංවර්ධන සැලසුමක් | දිනමිණ

මොහාන් ද සිල්වා පාර්ශ්වයෙන් සිවු අවුරුදු සංවර්ධන සැලසුමක්

ප්‍රින්ස් ගුණසේකර

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ සභාපති තනතුරට තරග වදින මොහාන් ද සිල්වා පාර්ශ්වය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දියුණුව උදෙසා සිවු අවුරුදු සැලසුමක් ඉදිරිපත් කරයි. තමන් ඇතුලු කණ්ඩායම ක්‍රිකට් පරිපාලනයේ සිටි කාලයේදී රුපියල් බිලියන දෙකක ශුද්ධ ලාභයක් පෙන්වා ක්‍රිකට් ක්‍රීඩාවේ හා ආයතනයේ දියුණුවට කළ මෙහෙය තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව ඒ මහතා පැවැසීය. මෙවර නිලවරණයේදී සාමාජික සංගම්වලින් ඡන්ද 100කට වඩා වැඩි ප්‍රමාණයක් ගෙන නියත ජයක් ලබන බව ස්ථීර යැයි මොහාන් ද සිල්වා මහතා අවධාරණය කළේය.

ඒ මහතා වසර 2003 හා 2004 වකවානුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්, 2004 – 2005 කාලයේදී ක්‍රිකට් සභාපති හා 2013 – 2014, 2016 – 2018 කාලවලදී ක්‍රිකට් උප සභාපති ලෙස කටයුතු කළ ක්‍රිකට් පරිපාලනයේ අත්දැකීම් බහුල තැනැත්තෙකි.

මෙවර ක්‍රිකට් නිලවරණයේදී සභාපති තනතුරට තරග වදින මොහාන් ද සිල්වා පාර්ශ්වයෙන් ප්‍රධාන ලේකම් තනතුරට බන්ධුල දිසානායක, උප සභාපති තනතුරට ෂම්මි සිල්වා හා රවීන් වික්‍රමරත්න, භාණ්ඩාගාරික තනතුරට ලසන්ත වික්‍රමසිංහ, උප ලේකම් තනතුරට ක්‍රිශාන්ත කපුවත්ත හා උප භාණ්ඩාගාරික තනතුරට ලලිත් රඹුක්වැල්ල යන මහත්වරු තරග වදිති. මෙම පිරිස ක්‍රිකට් නිලවරණය පිළිබඳ කරුණු හෙළි කරමින් ඊයේ සී. සී. සී. ක්‍රීඩාගාරයේදී මාධ්‍ය හමුවක් පැවැත්විය.

“ අප කණ්ඩායම බලයේ සිටියදී විශාල වැඩ කොටසක් කරගෙන ගියා. අප එනවිට ක්‍රිකට් ආයතනය බිලියන 2ක් පමණ ණයවී තිබුණා. අප ඒ සියලු ණය ගෙවා තවත් බිලියන දෙකක ශුද්ධ ලාභයක් ඇති කළා. අද ඒ මුදල් තියෙනවාද? දන්නේ නෑ. අප සැලසුම් කොට තිබූ ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නැවැත්වීමෙන් විශාල පාඩුවක් සිදුවුණා. විදෙස් ක්‍රීඩකයින් 45ක් ශ්‍රී ලංකාවට ගෙන්වන්න අප සැලසුම් කොට තිබුණා. වසර 20කට වඩා පරිපාලන පළපුරුදු ඇති මා තනතුරු ගන්න කාගේවත් පසුපස යන්නේ නෑ. අපට සාමාජිකයින් විශ්වාසයි. ඔවුන් දන්නවා අප ක්‍රිකට් දියුණුවට කළ දේ. අපේ නියත ජයග්‍රහණය දැක අනෙක් පාර්ශ්ව අවලාද නගනවා. එසේ නොකර තරගයට එන ලෙස අප නොබියව ඉල්ලා සිටිනවා“ මොහාන් ද සිල්වා මහතා පැවැසීය.

“ අපගේ පාලන කාලයේ විනයක් ඇතිව වැඩ කළා. විනය නීති කැඩූ අනූෂ සමරනායක ක්‍රිකට් ආයනයෙන් ඉවත් කළේ අපි. ක්‍රිකට් කණ්ඩායම තුලත් අප යම් විනයක් ඇති කළා. ලෝක කුසලාන තරගාවලියට නිවැරදි සැලසුම් සකස් කොට තිබියදී ක්‍රිකට් නිලවරණය හිටපු ඇමැතිවරයා කල් දැම්මා. වැරදි වැඩ කරන අය ඉන්නවානම් දඩුවම් කළ යුතුයි. අපගේ කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව තුල පිරිසුදු බවක් තිබුණා. දැන් ක්‍රිකට් කඩා වැටිලා. මේකට වග කිවයුතු අය කිහිප දෙනකුම ඉන්නවා“ සිල්වා මහතා පැවැසීය.

මෙහිදී අදහස් දැක්වූ ෂම්මි සිල්වා මහතා පැවැසූවේ ක්‍රීඩා සමාජවලින් මෙවර විශාල සහයෝගයක් තමන් ඇතුලු කණ්ඩායමට ලැබී ඇති බවයි. ජයග්‍රහණයෙන් පසු ක්‍රිකට් ක්‍රීඩා සමාජවල අයිතීන් ආරක්සා කරන බව ෂම්මි සිල්වා මහතා පැවැසීය. “ නිලවරණය යළිත් වරක් කල් දැමීමෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ පිළිබඳව අප සියලු පාර්ශව දැනුම්වත් කිරීමට අපේක්ෂා කරනවා. නිලවරණය සාධාරණව හා සදාචාරාත්මකව පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සැකසීම ඇමැතිවරයාගේ යුතුකමක් “ ෂම්මි සිල්වා මහතා පැවැසීය.

ක්‍රිකට් නිලවරණයට බලපෑම් ඇතිවන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල රැකියා ලබාදීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක බවත්, එය වහාම නැවැත්වීමට මැදිහත්වන ලෙස ඉල්ලා ක්‍රිකට් නිලවරණ කමිටු සභාපතිවරයා දැනුම්වත් කළ බවද මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය වුණි.

 

නව අදහස දක්වන්න