ගෝඨාභයට අපේ රටේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න බෑ | දිනමිණ

ගෝඨාභයට අපේ රටේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න බෑ

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ රටේ ජනාධිපති අපේක්ෂකයා වීමට පෙර අමෙරිකානු පුරවැසිභාවයෙන් ඉල්ලා අස්විය යුතුයි. අමෙරිකානු රජයට, අමෙරිකන් ධජයට, අමෙරිකන් ජාතියට පක්ෂපාතී බවට එතුමා ප්‍රතිඥා දීලා අපේ ර‍ටේ ජනාධිපති වෙන්න බැහැ. එමනිසා පළමුව ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවේ පුරවැසියෙකු බවට පත්විය යුතු යැයි ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන ඇමැති අජිත් පී. පෙරේරා මහතා පසුගිය 16 දා බණ්ඩාරගමදී පැවසීය.

බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජනහමුවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අජිත් පී. පෙරේරා මහතා මෙසේ ද කීය. ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකන් පුරවැසිභාවය ඉවත් කරගත්තට පසු එතුමාට අපේ රටේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අයිතිය තිබෙනවා. එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණාම අපි අනිවාර්යයෙන්ම එතුමාව පරාජය කරනවා.

මේ රටේ උතුරේත්, දකුණේත් ජනතා ආශීර්වාදය දිනාගැනීමට හැකි පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. පසුගිය සෑම මැතිවරණයකම අපි ඒක පෙන්නුම් කර තිබෙනවා. රටේ එක ජනකොටසකගේ පමණක් මතය අරගෙන මේ රට පාලනය කරන්න බැහැ. එක ජනකොටසකට, එක ආගමකට එක ප්‍රදේශයකට සීමාවෙලා දේශපාලනය කිරීම සුදුසු නැහැ. ඒක කළ යුතු නැහැ. මේ රටේ සියලු පුරවැසියන්ට සමාන අයිතියක් තිබිය යුතුයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය අනුව සමානාත්මතාව තහවුරු කර තිබෙනවා. ඒ අයිතිය අපි ලබාදිය යුතුයි.

ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ එක්සත් ජාතික පක්ෂය ඇතුළත තියෙන්නේ එකම මතයයි. ජනාධිපතිවරණය ප්‍රකාශ කළ වහාම අපි නිල වශයෙන් අපේ අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරනවා. පක්ෂය ඇතුළේ ඉන්න අපි දන්නව කවුද අපේ අපේක්ෂකයා කියලා. ඒ පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. උතුරේත්, දකුණේත් මතය ලබාගැනීමට පුළුවන්, මුළු රටටම සාධාරණව, සමානව සලකන්න හැකි දුප්පත්, පොඩි මිනිහට සලකන අහිංසක මිනිසුන්ගේ වේදනාව දන්න, මධ්‍යම පාන්තිකයන්ගේ අයිතිය ආරක්ෂා කරන අපේක්ෂකයෙකු අපට ඉන්නවා. අවශ්‍ය අවස්ථාවේදී අපේ අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරනවා. ඒ වගේම අපේ සහෝදර පක්ෂ මේ තත්ත්වය පිළිගෙන තියෙනවා.

ජනාධිපතිවරණයට කවුරු ආවත්, මොන සන්ධාන හැදුවත් අපට ඔවුන් පරාජය කළ හැකියි. අපි මීට පෙර මහින්ද රාජපක්ෂ මහතාවත් පරාජය කළා. ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයෙන් ඔවුන් තවදුරටත් පහළට වැටුණා. ඔවුන් තමන්ගේ ප්‍රතිරූපය විනාශ කරගෙන හමාරයි. මේ තත්ත්වය තුළ එක්සත් ජාතික පෙරමුණේ සහාය ලබන එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයා නියත වශයෙන්ම ජය ගන්නවා.

පසුගිය ජනාධිපතිවරණයේදීත්, පසුගිය මහ මැතිවරණයේදීත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා මේ රටේ ජනතාව පැහැදිලිවම ප්‍රකාශ කළා. ඒ සඳහා තම ඡන්දය ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ ඒකමතිකව යෝජනාවක් සම්මත කරලා, ඒ අනුව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක් පටන් ගත්තා. එම ඒකමතික ක්‍රියාදාමය අනුව සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ විශේෂඥ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේක කිසිසේත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් නෙමෙයි. මේ විශේෂඥ වාර්තාව පිළිබඳ එක්සත් ජාතික පක්ෂය කිසිදු අවස්ථාවක සලකා බලා නැහැ. එකඟතාවක් ප්‍රකාශ කර නැහැ. මේව පිළිගන්නවද? නැද්ද? කියන එක පාර්ලිමේන්තුවේ වැඩක්. ඒ සඳහා ඒ ඒ දේශපාලන පක්ෂවලට සහ මන්ත්‍රීවරුන්ට ඒ සඳහා අයිතියක්, වගකීමක් තියෙනවා.

කිසිම ආකාරයකට ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කර නැහැ. ඉදිරිපත්ව තිබෙන විශේෂඥ වාර්තාවට පවා එක්සත් ජාතික පක්ෂය කිසිදු ආකාරයක එකඟතාවක් පළකර නැහැ. එහෙම තිබියදී කිසිම පදනමක් නැතුව ව්‍යවස්ථාවක් අරගෙන එනවා. රට කෑලි කෑලිවලට බෙදනවා. බුදුදහමට ප්‍රමුඛස්ථානය නැතිව යනවා කියල මේ කියන ප්‍රකාශ පට්ටපල් බොරු. මේක මුළුමනින්ම දේශපාලන වාසි ගැනීමට කරන ව්‍යායාමක් බව තේරුම්ගත යුතුයි.

එක්සත් ජාතික පක්ෂය ඒකීය රටක් වෙනුවෙන් පෙනී සිටිනවා. මේ කියන විශේෂඥ වාර්තාවේ කියන්නෙත් ඒකීය රටක් සඳහා ව්‍යවස්ථාවක් සකස් කරන්න කියලයි. ඒ වගේම බුදුදහමට තිබෙන ප්‍රමුඛස්ථානය තිබිය යුතුයි කියලා එක්සත් ජාතික පක්ෂය විශ්වාස කරනවා. බුදු දහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නමවන පරිච්ඡේදයේ ලබා දී තිබෙන ප්‍රමුඛතාව කිසිම වෙනසක් නැතිව ඒ ආකාරයෙන්ම තිබිය යුතුයි. එසේම රටේ ඒකීයභාවය නැතිකරන කිසි දේකට එක්සත් ජාතික පක්ෂය එකඟ නැහැ. බුදු දහමට ඇති ප්‍රමුඛතාව ඉවත් කරන කිසිම දේකට එක්සත් ජාතික පක්ෂය එකඟ වෙන්නේ නැහැ.

එසේම රටේ බලතල බෙදීම, මානව හිමිකම්, ප්‍රවර්ධනය පිළිබඳ අලුත් අදහස් සලකා බැලීම කළ යුතුයි. ඒ පිළිබඳ සලකා බැලීමට අපි කැමතියි. නමුත් මේ කිසිවක් ගැන අපි තාම සාකච්ඡා කර නැහැ.

මුළු රට ඒකීය රාජ්‍යයක් ලෙස පැවතිය යුතුයි යන්න එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟිනුත් ඒ බව නිශ්චිතව පැහැදිලි කර තිබෙනවා.

මීගහතැන්න සමූහ


නව අදහස දක්වන්න