හැටපස් හැවිරිදි කතක් දූෂ්‍ය කළාට වසර 7ක් හිරේට | දිනමිණ

හැටපස් හැවිරිදි කතක් දූෂ්‍ය කළාට වසර 7ක් හිරේට

කුරුණෑගල මධ්‍යම විශේෂ ආරියපාල වංශතිලක

65 හැවිරිදි කාන්තාවක් අමානුෂික ලෙස දුෂණය කළා යැයි කියනු ලැබූ 28 හැවිරිදි චූදිතට වසර හතක (7) සිර දඬුවමක් නියම කළ කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය එම සිරදඬුවමට අමතරව රුපියල් 10,000ක දඩයක් සමඟ අගතියට පත් තැනැත්තියට රුපියල් ලක්ෂයක (100,000) වන්දි මුදලක් ද ගෙවන ලෙසට නියෝග කළාය.

දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් මාස 6කින් සිර දඩුවම් දීර්ඝ කරන බවත් කියා සිටියාය.

මෙසේ සිර දඬුවම් නියම වූයේ ගල්ගමුව පොලිස් වසමේ කල්ලංචිය ප්‍රදේශයේ පදිංචි හිටිහාමි මුදියන්සේලාගේ මදුර රුවන් කුමුදු කුමාර නමැති 28 හැවිරිදි තරුණයෙකුටය.

වර්ෂ 2009 ඔක්තෝබර් මස 16 දින හෝ ඊට ආසන්න දිනයකදී 65 හැවිරිදි කාන්තාවකට උල් පිහියක් පෙන්වා මරණ තර්ජනය කොට ඇයව අමානුෂික ලෙස දූෂණය කිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව කුරුණෑගල මහාධිකරණයට ඉදිරිපත් කොට තිබුණි.

වසර 10 කට ආසන්න කාලයක් අධිකරණයේ දිග හැරෙමින් තිබූ මේ නඩුවේ පැමිණිල්ල ඉදිරිපත් කළ රජයේ නීතිඥ චාරක ධර්මසිරි මහතා අධිකරණය හමුවේ කියා සිටියේ සිද්ධියවූ දිනයේ එනම් 2009 ඔක්තෝබර් මස 16 දින විත්තිකරු ඇගේ නිවසට පැමිණ උල් පිහියක් පෙන්වා මම කියන දෙයට විරුද්ධ වුනොත් මරා දමන බවට තර්ජනය කොට ඇයව අමානුෂික ලෙස දූෂණය කර තිබෙන බවට අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවේ සඳහන්කොට තිබෙන බවත් මේ අනුව විත්තිකරුට දිය හැකි උපරිම දඬුවම් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

රජයේ නීතිඥ චාරක ධර්මසිරි මහතා විසින් පැමිණිල්ල මෙහෙයවනු ලැබීය.

අවුරුදු 65දී අතවරයට පත් කාන්තාව වසර 10කට පසු තීන්දුව දැනගැනීමට අධිකරණයට පැමිණියේ සැරයටියේ වාරුවෙනි.

නව අදහස දක්වන්න