පස්වීමට කිට්ටු කල්පිටියේ බලකොටුව | දිනමිණ

පස්වීමට කිට්ටු කල්පිටියේ බලකොටුව

චතුර ගීතනාත් බණ්ඩාර

එදා තිබූ සියලු අංග මේ වනවිට නටබුන් බවට පත්ව ඇති සේම එම නටබුන් රැක ගැනීමට පවා වගකිවයුතු කිසිම පාර්ශ්ව‍යක් ඉදිරිපත් නොවූ බව මේ බිමට පැමිණි ඕනෑම අයකුට වැටහෙයි.ඉපැරැණි හුණුගල් බිත්ති අද ක්‍රමයෙන් බිමට සමතලා වෙමින් පවතියි.කිසිඳු පිළිසකර කිරීමක් නොකළ බැවින් ඒවා ක්‍රමයෙන් දියවෙමින් ඇත.ගල් බැමි මත තැන තැන ගැසූ ඇණ මළකා එම ගල් බිත්ති විනාශය වෙතම ගෙන යාම සීග්‍ර කර තිබේ.තැන තැන ගල් බැමි මත වැවුණු කුඩා පැළෑටි මෙම අමිල සම්පත විනාශය වෙත ගෙනයාම ඉක්මන් කරවන තවත් හේතුවකි.

මෙම බිම පිළිබඳ වගකිවයුතු සහ ප්‍රතිසංස්කරණ ආදිය පිණිස ඉදිරිපත් විය යුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ පිළිබඳ සොයා බැලෙන බවක් පෙනෙන්නට නැත.

පිටතින් අපිළිවෙළට ඉදි කළ නවීන පන්නයේ කඩ සාප්පු සහ වෙළෙඳ සංකීර්ණ කිහිපයකි.එහි ඇතුළත පෞරාණික අගයක් සහ ජාතික උරුමයක් සැඟව ඇතිබව පිටතින් බලන කල කිසිවකුටත් වැටහෙනු නැත. මේ තැන පිහිටා ඇත්තේ කල්පිටියේ නගරයට යාබද නාවික හමුදා මූලස්ථානය ආසන්නයේය.කල්පිටිය ලන්දේසි කොටුව පිළිබඳ කිහිපවරක් අසා ඇතත් එය පිහිටියේ කොහිදැයි අප දැනගත්තේ මඟ පෙන්වන්නන් වූ නෙරන්ජන් සහ සහ මයිත්‍රා මහතාගේ ආධාරයෙනි.කිසිවක් ලිවීමට බලාපොරොත්තු නොවූ ගමනකින් පුවත්පත් ලිපියක් ලියවෙන්නේ ඒ මඟ පෙන්වීමට ස්තූති වන්නටය.

කල්පිටිය යනු ශීඝ්‍රයෙන් දියුණුවට පත්වන සංචාරක පුරවරකි.විවිධ සංචාරක අංගයන්ගෙන් පිරි කල්පිටියට බොහෝ සංචාරකයන් පැමිණෙන්නේ ඩොල්ෆින් නැරඹීම,දූපත් සංචාර,සහ සරුංගල් සර්ෆින් ක්‍රීඩාවෙහි යෙදීම ඇතුළු බොහෝ කරුණු කාරණා පදනම් කරගනිමිනි.මෙසේ පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් කල්පිටිය නගර සංචාරයට එක් වන්නේ එහි ඇති වෙසෙස් දේ දැකබලා ගැනීම අරමුණුකොට ගනිමිනි.

නගර සංචාරයේදී බොහෝදෙනාට අතපසු වන ස්ථානයක් ලෙස කල්පිටිය ලන්දේසි කොටුව හැඳින්වීම වරදක් නැත.

ලන්දේසි ජාතිකයන් විසින් ක්‍රි.ව.1666 වසරේදී මෙම බලකොටුව ඉදි කළේ දෙවන රාජසිංහ රජතුමාගේ අවසරය මතය. නමුත් දෙවන රාජසිංහ රජතුමා විසින් ලන්දේසි ජාතිකයන්ට අවසර දී ඇත්තේ මෙහි බලකොටුවක් තනන්නට නොවේ.ලන්දේසීන් විසින් රජතුමාගෙන් අවසර ලබාගෙන ඇත්තේ මෙම සමුද්‍රාසන්න භූමිය තුළ පල්ලියක් තනන්නටය.එම අවසරය මත ඔවුන් මෙම බිම තුළ කිසිවකුටත් සැක නොසිතන ලෙස රහසිගත ආරක්ෂක කොටුවක් ඉදිකොට ඇත.තමන්ගේ රටතුළ සිටි කුලී සේවකයන් වූ , ජාලස්කිරිඤ්ඤාමැඩි හේවායින් පමණක් යොදවා මෙම රහසිගත බලකොටුව ඉදිකිරීමට වගබලාගත් ඔවුහු ශ්‍රී ලංකාවේ කිසිවකු එම ඉදිකිරීමේ බිමට ගෙනවා නොගැනීමට තරම් සූක්ෂම වූහ.ක්‍රි.ව .1666 සිට 1677 දක්වා පුරා වසර දහයක් ඉදිකළ මෙම බලකොටුව පිටතට පල්ලියක් ලෙස දිස්වීමට ඔවුහු පල්ලිවල දක්නට ලැබෙන කුලුනු සහ කුරුස බිම් මට්ටමින් ඉදින්කළහ.බලන කවර අයකුටවුව පල්ලියක් ලෙස පෙනෙන.මෙම සැඟවුණු බලකොටුව අපේ පාලකයන්ගෙන් වසන්කොට තබාගැනීමටද ලන්දේසීහු වගබලාගත්හ.

මුහුදු පාෂාණ වන හිරිගල්,හුණුගල් සහ කොරල් උපයෝගී කරගනිමින් මී ඉටි,මීලාටු සහ හිරිගල් බදාම යොදා ඉදිකළ මෙම බලකොටුව ඕලන්ද ගෘහනිර්මාණ ශිල්පය ප්‍රකට කරයි.ඕලන්දයෙන් ගෙන්වන ලද ඇලන් නම් ගඩොලින් නිමකළ ආරුක්කු උළුවස්සකින් ඇතුළු වියයුතු මෙම බලකොටුවෙහි ඇතුළුවීමේ දොරටුවට ඉහළින් පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගමෙහි වෙළද ලාංඡනය දක්නට ලැබේ.වසර 342 ක් පැරණි මෙහි අද දක්නට ලැබෙන්නේ කාලයාගේ ඇවෑමෙන් විනාශයට පත්ව ඉතිරිවූ නටබුන් පමණි.අද වත්මන් නාවුක හමුදා මූලස්ථානය පිහිටුවා ඇත්තේද මේ බිමෙහිය.ඔවුහු මෙම බිමට පැමිණෙන සංචාරකයන්ට මෙහි ඉතිහාස කරුණු පැහැදිලි කරති.මෙම පෞරාණික බිම මේතරමින් හෝ ආරක්ෂා වන්නට එය හේතුවක් වන්නට ඇති බවද ඔවුන්ගේ සේවාවා ඇගයීමක් වශයෙන් ලියාතැබිය යුතුය.

ප්‍රධාන දොරටුවෙන් ඇතුළුවූ විට වෙනත් බලකොටුවල දැකිය හැකි ලක්ෂණ මෙහිදීද දැකබලා ගැනීමට අවස්ථාව උදාවේ.එදා තිබූ සියලු අංග මේ වනවිට නටඹුන් බවට පත්ව ඇති සේම එම නටබුන් රැකගැනීමට පවා වගකිවයුතු කිසිම පාර්ශ්ව‍යක් ඉදිරිපත් නොවූ බවක් මේ බිමට පැමිණි ඕනෑම අයකුට වැටහෙයි.ඉපැරැණි හුණුගල් බිත්ති අද ක්‍රමයෙන් බිමට සමතලා වෙමින් පවතියි.කිසිඳු පිළිසකර කිරීමක් නොකළ බැවින් ඒවා ක්‍රමයෙන් දියවෙමින් ඇත.ගල් බැමි මත තැන තැන ගැසූ ඇණ මලකා එම ගල් බිත්ති විනාශය වෙතම ගෙන යාම සීග්‍ර කර තිබේ.තැන තැන ගල් බැමි මත වැවුණු කුඩා පැලෑටි ගස් මෙම අමිල සම්පත විනාශය වෙත ගෙනයාම ඉක්මන් කරවන තවත් හේතුවකි.

මෙම බිම පිළිබඳ වගකිවයුතු සහ ප්‍රතිසංස්කරණ ආදිය පිණිස ඉදිරිපත්විය යුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ පිළිබඳ සොයා බැලෙන බවක් පෙනෙන්නට නැත. මෙම ලන්දේසි කොටුව පිටත ඉදිකොට ඇති ගොඩනැගිලි හේතුවෙන් මෙම පෞරාණික භූමිය වැසීගොසිනි. එමෙන්ම කල්පිටිය නගරයට යාබදව මෙවැනි අගනා වස්තුවක් ඇති බව දන්නේද අතළොස්සකි.ඇතැම්විට මේ පිළිබඳ උනන්දු වියයුතු බලධාරීන් පවා මෙවැනි තැනක් ඇතිබව දැනගන්නේ මේ ලිපියෙන් වන්නට පුළුවන.

මෙම කොටු පවුරෙහි සියලු බිත්ති හිරිගල් ,හුණු ගල් සහ කොරල් ආධාරයෙන් තනා ඇති බැවින් පළුදු වූ විට ඉතා ඉක්මනින් විනාශයට ලක්වේ.කල්පිටිය කොටුවෙහි විනාශයට ලක්වූ එවැනි බැමි රැසක් දක්නට ලැබේ.එමෙන්ම එසේ විනාශවූ බැමි සංචාරකයන් විසින් අතගා , අතින් ඇන බැමි කඩා පරීක්ෂා කිරීම නිසා ඒවාට වඩාත් වැඩියෙන් හානි සිදුවේ.කොටුව නැරඹීමට පැමිණෙන සංචාරකයෝ නොදන්නා කම නිසාම බැමිමත සිතුසේ ඇවිදිති.ඇතැම් බැමි මත නම් ලියා කැටපත් පවුරු තැනීමට ගත් උත්සාහයන්ද මේ අමිල පෞරාණික බිම තුල දක්නට ලැබේ.

නාවික හමුදාව විසින් කඳවුරක් ලෙස භාවිත කරන මෙම බිම ඔවුන්ද එදිනෙදා අවශ්‍යතාවයන් වෙනුවෙන් යොදා ගැනේ.කල්පිටිය කොටුපවුර මෙතරම් දුරට හෝ ආරක්ෂා වීමට එම කඳවුර ඉවහල්වන්නටද ඇත.නමුත් නාවික හමුදා නිලධාරීනට සහ සාමාජිකයන්ට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකළ යුතු සේවාව සැපයීම අපහසුය.ඔවුන් විසින් මෙම පෞරාණික සිහිවටනය නරඹන්නන්ට මඟපෙන්වීමෙන් ස්වේච්ඡා සේවාවක් ලබාදෙන්නේ කොටු පවුර තුළ ඔවුනගේ කඳවුරු පිහිටුවා ඇති නිසාය.

පසු ගිය සමයේ කොළඹ ප්‍රධාන පෞරාණික ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දායකත්වය ලබාදුන්නේ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ය. නමුත් මෙම ජාතික උරුමය සංරක්ෂණය කිරීම හිතුමතේ කළ නොහැක්කකි.එම නිසා දැනට මේ කොටුපවුර ආරක්ෂා කිරීමට නාවික හමුදාව කැප වනමුත් එය සංරක්ෂණය කිරීමේ කටයුත්ත ඔවුන්ගෙන් බලාපොරොත්තු විය නොහැකිය.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඊට මැදිහත් විය යුතුය.

සරල වශයෙන්ම කිවහොත් මේ දිනෙන් දින පස් ගොඩක් බවට පත්වන්නේ රටට විදේශ විනිමය උපයාගත හැකි කදිම සම්පතකි.ගාල්ල කොටුව උදාහරණයක් ලෙස ගතහොත් එය නැරඹීමට දිනකදී පැමිණෙන පිරිස අති විශාලය. පෞරාණිකත්වය නොනැසෙන පරිදි ඉදිකළ ප්‍රමිතිගත අවන්හල්,කලාගාර,අත්කම් ප්‍රදර්ශනාගාර,බොජුන්හල් සහ දෙස් විදෙස් සංචාරකයන්හට විනෝදය දැනුම ලබාගත හැකි ස්ථාන ගාල්ල කොටුවෙහි බොහෝය.ඒවායින් රටට, ප්‍රදේශයට ලැබෙන ආදායමද ඉහළය.කල්පිටියද ගාල්ල තරමටම සංචාරකයන් ගැවසෙන කලාපයකි.දැනුමක් ඇත්තන් වගකිවයුත්තන් වී ඇත්නම් මෙම කොටුවද ගාලු කොටුවේ තත්ත්වයට පත් කිරීම ඉතා පහසු කටයුත්තකි.

එමෙන්ම මෙම කොටුව ප්‍රධාන නගරයට ඉතා යාබදව පිහිටා ඇතු බැවින් ඒ වටා ඉදිකොට ඇති නවීන ගොඩනැගිලිද පැරණි ඕලන්ද ගෘහනිර්මාණ ක්‍රමවේදයට අනුව සැකසීමට උපදෙස් සහ ශක්තිය ලබාදීම කල්පිටිය නගරය සංචාරක පුරවරයක් බවට පත් කිරීමට හොඳ සැලසුමකි.

මැයි මාසයේ සිට අගෝස්තු මාසය තෙක් ලෝවටා අතිවිශාල සංචාරකයන් පිරිසක් කල්පිටියට පැමිණෙන්නේ සරුංගල් සර්ෆින් ක්‍රීඩාවේ යෙදීම සඳහාය.එම සංචාරකයන් හට මෙම ඉපැරැණි බලකොටුව දැකබලාගැනීමට අවස්ථාව උදාකරදී විදේශ විනිමයද උපයාගැනීමේ මාර්ගයක් සකසා ගැනීමට අවස්ථාව තිබේ. ඉතිරිය.කෙසේවෙතත් දිනෙන් දින පස් වන මේ අසිරිමත් උරුමය රැකගැනීමට නොපමාව කටයුතු කළ යුතුය.නොඑසේනම් තව නොබෝ කලකින් අපට දැකබලාගැනීමට ඉතිරිවනු ඇත්තේ සුණු විසුණු වූ හුණුගල් ගොඩක් පමණක් වනු ඇත.

විශේෂ ස්තූතිය

ගමනට මඟ පෙන්වූ අරෝෂ ,ලක්ෂ්මන්, නෙරන්ජන් සහ මයිත්‍රා මහත්වරුන්ට..


නව අදහස දක්වන්න