ගුණසිංහපුරයේ දුර්ගු ණ බොහෝ වේ | දිනමිණ

ගුණසිංහපුරයේ දුර්ගු ණ බොහෝ වේ

උදිත ගුණවර්ධන

අපි කරන්නේ ලේසි යෙන් සලකන්න පුළු වන් රස්සාවක් නොවෙයි.අපේ අතේ ජීවිත හත්තෑපහක අසූවක වගකීම තියෙනවා. ඒත් අපිට විවේකයක් ගැනීමට කෙටි නින්දක් ලබා ගන්න තැනක් නැහැ..බස් පාර්ක් කරන්නේ ගිනි අවුවේ අඩුම ගාණෙ බස් පාර්ක් කරන්න හෙවණක්වත් නැහැ. මේ වගේ අසීරුතා මැද තමයි අපි රස්සාව කරන්නේ.මූණක් කටක් හෝදන්න ටැප් එකක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. සාමාන්‍යයෙන් බස් නැවතුම්පොළක් වුණාම රියැදුරන්ට කොන්දොස්තරවරුන්ට විවේකයක් ගන්න පුළුවන් වාතාවරණයක් තියෙන්න ඕනෑ.

දුම්රිය ලංගම සහ වෙනත් පෞද්ගලික ප්‍රවාහන ක්‍රම රැසක් තිබුණද අදත් ජනතාවගේ ප්‍රධාන ප්‍රවාහන ක්‍රමය පෞද්ගලික බස් යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. දිවයින පුරා පෞද්ගලික බස් පහලොස් දහසකට අධික ප්‍රමාණයක් ධාවනය වේ.

එනිසා පෞද්ගලික බස් සේවය ගැන ජනතා උනන්දුව විශාල වශයෙන් යොමුවන අතර බස් ගැටලු මෙන්ම බස් නැවතුම්පොළ ගැටලු ගැනද ඒ හා සමානව අවධානය යොමු වේ. පෞද්ගලික බස් සේවය පළාත් සභා සහ අන්තර් පළාත් ධාවය යන අංශ දෙකකට වෙන්කර තිබේ. මේ ආකාරයේ පුද්ගලික බස් රථ ධාවනය කිරීමේදී රටේ ප්‍රධානම පුද්ගලික බස් නැවතුම් පොළවල් පිහිටා ඇත්තේ කොළඹ පිටකොටුව බැස්ටියන් මාවත සහ පිටකොටුව ගුණසිංහ පුරය. බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ පරිහරණය වන්නේ අන්තර් පළාත් බස් රථ ධාවන සඳහාය. තදාසන්න ධාවන සඳහා යොදා ගන්නා බස් නවත්වනු ලබන්නේ ගුණසිංහපුර බස් නැවතුමේය. ගම්පහ , නිට්ටඹුව, මතුගම, අවිස්සාවේල්ල ,කළුතර මීගමුව ඇතුළු බස්නාහිර පළාත තුළ ධාවනය වන ප්‍රධාන මාර්ග රැසක බස් නවත්වනු ලබන්නේ මෙම බස් නැවතුම්පොළ ආශ්‍රිතවය. දිනකට මෙම බස් නැවතුමට බස් රථ දහසකටත් අධික ප්‍රමාණයක් වරින් වර පැමිණෙන අතර මගීන්ද අතිවිශාල ප්‍රමාණයක් බස් නැවතුම්පොළ පාවිච්චි කරති. ඒ අනුව දිවයිනේ ප්‍රධානම පෞද්ගලික බස් නැවතුම ලෙස මෙම බස් නැවතුම සඳහන් කළ හැකි වුවද එයට ඇති පහසුකම් පවතී. ජාතික මට්ටමේ තබා ප්‍රාදේශීය බස් නැවතුම්පොළකට තරම්වත් නොවේ. ගම්පහ මීගමුව වැනි නගරවල ඇති ප්‍රාදේශීය බස් නැවතුම්පොළ ඉතාමත් ඉහළ පහසුකම් ඇති නැවතුම් බවට පත් වෙද්දී ජාතික මට්ටමේ තිබෙන ගුණසිංහ පුර බස් නැවතුම දිනෙන් දින පහසුකම් අතින් පහළට ගමන් කරනවාය යන්න අතිශයෝක්තියක් නොවේ. මෙය නිසි ආකාරයට සකස් කරන ලෙස අවුරුදු ගණනාවක් කළ ඉල්ලීමක් නිසා තාර ඇතිරීම තැනින් තැන සිදුවුවද එයද සිදුවන්නේ ඉතාමත් මන්දගාමී ආකාරයටය. බස් සේවකයන්ගේ සහ මගීන්ගේ පුද්ගලික අවශ්‍යතා සඳහා වැසිකිළියක් තිබුණද එය මගී ප්‍රමාණයට හෝ බස් සේවක ප්‍රමාණයට ප්‍රමාණවත් නැත. පැය ගණන් මහමග රස්තියාදු වී බස් නැවතුම්පොළට එන රියැදුරන්ට කොන්දොස්තරවරුන්ට කෙටි විවේකයක් හෝ ගන්නට තැනක් නැත. ඒ තත්ත්වය ගැන බස් සේවකයෝ සිටින්නේ දැඩි කනගාටුවෙනි.

“ අපිත් රස්සාවක් කරන්නේ ඒත් ඒ රස්සාවට වැදගත් කමක් ලැබෙන්නේ නැහැ..“ බස් සේවකයෝ අප සමග කතා බහට එක්වෙමින් සඳහන් කළේ එවැනි වදනකි.

අවිස්සාවේල්ලේ බන්දු මල්ලී අවිස්සාවේල්ල 122 හයිලෙවල් මාර්ගයේ අවුරුදු විස්සකට අධික කාලයක් තම සේවය සලසන්නෙකි. ඔහුට මේ බස් නැවතුම්පොළ මෙන්ම බස් මාර්ගයද හුරුපුරුදුය.

“ අවුරුදු විස්සට අපේ රස්සාවේ ගරුත්වය පොඩ්ඩක්වත් ඉහළ ගියේ නැහැ..බස් විතරයි අලුත් වුණේ..අපි කරන්නේ ලේසියෙන් සලකන්න පුළුවන් රස්සාවක් නොවෙයි.අපේ අතේ ජීවිත හත්තෑපහක අසූවක වගකීම තියෙනවා. ඒත් අපිට විවේකයක් ගැනීමට කෙටි නින්දක් ලබා ගන්න තැනක් නැහැ..බස් පාර්ක් කරන්නේ ගිනි අවුවේ අඩුම ගාණෙ බස් පාර්ක් කරන්න හෙවණක්වත් නැහැ. මේ වගේ අසීරුතා මැද තමයි අපි රස්සාව කරන්නේ.මූණක් කටක් හෝදන්න ටැප් එකක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. සාමාන්‍යයෙන් බස් නැවතුම්පොළක් වුණාම රියැදුරන්ට කොන්දොස්තරවරුන්ට විවේකයක් ගන්න පුළුවන් වාතාවරණයක් තියෙන්න ඕනෑ. ඒත් බස්වලින් අය කර ගත යුතු සියල්ලම බලධාරීන් ලබා ගන්නවා.ඒ වගේ තත්ත්වයක බස් සේවය අපිට නිසි විදිහට කරන්න බැහැ. විවේකයක් නැති කම ලොකු ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ. අපි අද ටර්න් එක එනකම් ඉන්නෙ ගිනි ගහන අවුවේ බස් ඇතුළෙ තැම්බෙමින්. අවුරුදු විස්සක් තුළ රටේ ලොකු වෙනසක් වෙලා තියෙනවා ඒත් අපේ සේවය ඒ විදිහට වෙනස් වුණේ නැහැ. අපේ බස්පොළ වගේම පහසුකම් දෙදහස අවුරුද්දේ මට්ටමේ තාම තියෙන්නේ.“

බන්දු මල්ලී ගේ අදහසට ඔහු සමග සිටින සෙසු සගයන් එකඟ වන්නේ එක හඬිනි.

“ අපි ගැන බලන්න ආපු එක ලොකු දෙයක් “ එලෙස හඬ අවදි කළේ කොන්දොස්තරවරයකු වන ජයලත් මහතාය.

“අද ටිකක් හොඳයි. වහින දාකට එන්නකො බස් ස්ටෑන්ඩ් එකේ වතුර පිරෙනවා. සපත්තු දාගෙන යන්න බැහැ ඇතුළට වතුර පිරෙනවා. අපිත් අපාදුක් විඳිනවා. අපි අවුරුදු ගාණක ඉඳන් කළ ආයාචනයට පළාත් සභාවෙන් ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා දැන් බස්නැවතුමේ බිම සකස් කරනවා..ඒ ගැන සතුටුයි. මම ඉල්ලා සිටින්නේ මේ වැඩටික ඉක්මනටත් නිසි ප්‍රමිතියටත් කරන්න කියලා. නැතිනම් මේ කරන දේවල් තේරුමක් නැති වෙන්න පුළුවන්.

සුරංග මහතා බස්නැවතුම්පොළ ආශ්‍රිතව ජංගම වෙළෙඳාමේ යෙදෙන්නෙකි. ඔහුට ගුණසිංහ පුර බස් නැවතුම්පොළ සහ එහි අභ්‍යන්තර රටාව පිළිබඳ මනා අවබෝධයක් ඇත්තෙකි.

“මෙතැන බස් නැවතුම්පොළේ විවිධ මට්ටමේ අපචාර වෙනවා ඒත් මේවා වලක්වන්න කිසිවකු ඉදිරිපත් වෙන්නේ නැහැ.ඒකට එක් හේතුවක් වෙලා තියෙන්නේ අවට ඉන්න අපචාරවලට හුරුවෙච්ච අය බස් නැවතුමට පහසුවෙන් ඇතුළු වීමට හැකි වීම. කලින් පීපල්ස් පාර්ක් එක පැත්තෙන් දැල් වැටකින් ආවරණය වෙලා තිබුණා. ඒත් අද වෙද්දි තත්ත්වය වෙනස්වෙලා ඕනෑම කෙනෙකුට පුළුවන් පීපල්ස් පාර්ක් පැත්තෙන් ඇතුළු වෙන්න පුළුවන්. මේක ආරක්ෂාවට ලොකු තර්ජනයක්..ඉස්සර යුද්ධය තියෙද්දි නම් මෙතැන ලොකු ආරක්ෂාවක් තිබුණා අද වෙද්දි ඒ තත්ත්වය ලිහිල් වෙලා .“

දිවා රෑ මගීන් විශාල ප්‍රමාණයක් රැස්වන ගුණසිංහපුර බස් නැවතුම වැනි සමාජ විරෝධී කටයුතුවල නියැළෙන්නන් මත්ලෝලීන් විශාල වශයෙන් රොක් වීම සහ ජාවාරම් කිරීම නිසා මෙතැන අමුතු තැනක් බවට පත්ව තිබේ යැයි බොහෝ අය සඳහන් කරති. වෙනත් විදිහකට සඳහන් කළහොත් පිටකොටුව සමාජ විරෝධී වැඩ මත් ද්‍රව්‍ය ජාවාරම සහ ගණිකා ජාවාරමේ මධ්‍යස්ථානයක් බවට ගුණසිංහපුර බස් නැවතුම්පොළ පත්ව තිබේ.

අප කළ සොයා බැලීමේදී පොදුවැසිකිළිය අද වන විට යම් පිරිසුදු තත්ත්වයක තිබුණත් එහි ඇති පහසුකම් ඉතාමත් පහළ තැනක තිබේ. කැසිකිළියේ මුත්‍රා කිරීමට ස්ථාපිත කර ඇති පොච්චි කිසිවකු විසින් ඉවත් කර තිබේ තවත් ඒවායේ ඇත්තේ අර්ධ වශයෙන් ඇති පොච්චිය. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ නිසි ලෙස තම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වීමය. ඒ තත්ත්වය ගැන අප සමග කරුණු දැක් වුයේ බස් නැවතුමේ සේවය කරන චන්ද්‍රසේකර මහතාය.

“මෙතැනට එන අයට තමන්ගේ ශාරීරික අවශ්‍යතා ඉටු කර ගන්න. කිසිදු පහසුකමක් නැහැ වහලය පවා කැඩිලා අවශ්‍ය පහසුකම් ඉල්ලා සිටියත් කිසිවකු ඒ ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ඒ විදිහේ තත්ත්වයකුයි තියෙන්නේ. කොළඹ තියෙන ප්‍රධානම බස් නැවතුම්පොළේ තත්ත්වය ගැන ඇත්තෙන්ම කනගාටුයි. ඇතැම් අවස්ථාවල විදේශිකයන් පවා මෙතැනට එනවා එතකොට අපේ රටේ තත්ත්වය මේකයි කියලා පෙන්වා දෙන්න ලැජ්ජයි.“

එච් කේ සුගත් කුමාර මහතා මෙම බස් නැවතුමේ අවුරුදු තිස් පහකට වැඩි කාලයක් සේවය කරන පැරැණි සේවකයකි ඔහු ද සඳහන් කරන්නේ නිසි ලෙස ආවරණ නොමැති වීම ආරක්ෂාව නොමැති වීම වැනි කරුණු නිසා මෙම බස් නැවතුම්පොළ පහළ තැනකට වැටී ඇති බවය. ඇතැම් අවස්ථාවල ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වන බලපෑම් නිසා තමන්ට සේවය ඉටු කිරීමට නොහැකි වන අවස්ථාද ඇතිවන බව සුගත් මහතාගේ අදහසය.

මතුගම සිට කොළඹ එන ජයන්ත කන්නංගර මහතාද අප සමග කතා බහට එක් වූයේ ඉතාමත් කැමැත්තෙන් සහ උනන්දුවෙනි.

“ මෙතැන වැස්සට ඉන්න බැහැ සමහර බස් මගී ආවරණ තෙමෙනවා බස් නැවතුමේ වතුර පිරෙනවා වගේ බාධා . ඒ විතරක් නොවෙයි සමාජ විෂමාචාර මෙතැන පැතිරිලා තියෙන්නේ..හවස හයෙන් පසු මෙතැන සල්ලාලයන්ගේ වගේම කුඩුකාරයන්ගේ පාලනයට යටත් වෙනවා. අපි මේ දෙවල් දැක්කත් නොදැක්ක වගේ ඉන්නව. අපිට මේ දේවල්වලට විරුද්ධ වෙන්න බැහැ එහෙම වුණොත් එහෙම අපට බස් එකේ නැගල ගෙදර යන්න තියෙන නිදහසත් නැති වෙන්න ඉඩ තියෙනවා.

කොළඹ ගුණසිංහ පුර ප්‍රධාන බස් නැවතුම්පොළේ ප්‍රධාන ධාවන කළමනාකරු නිරෝෂන් සංජය කරුණාචන්ද්‍ර මහතාට ඇත්තේ මෙවැනි අදහසකි.

“මේ බස්නැවතුම් පොළ ජාතික වශයෙන් වැදගත් තැනක්. ඒත් රජය අවධානය යොමු කර නැහැ. අපි දිගින් දිගටම කළ ඉල්ලීමක් නිසා දැන් අලුත්වැඩියා කරන්න රජය කටයුතු කර තිබෙනවා. අප ඉල්ලන්නේ මෙතැන අලංකාර ලෙසත් මගීන්ට සහ රියැදුරන්ට පහසුවෙන් ඉන්න පුළුවන් ප්‍රසන්න තැනක් බවට පත් කර දෙන්න කියලා. බස් නැවතුම වටා තියෙන්න ඕනෑ ආවරණය මේ වන විට අබලන් වෙලා තියෙන්නේ ඒ නිසා බස් නැවතුම්පොළ ආරක්ෂාව සම්පුර්ණයෙන්ම බිඳ වැටිලා. මම මෙතැන බලධාරියා විදිහට උත්සාහ කරන්නේ එක දෙයයි එනම් බස් නැවතුම්පොළ අලංකාර සහ ආරක්ෂිත තැනක් බවට පත් කිරීමයි. ඒත් අපට ඉහළින් ලැබෙන සහාය ප්‍රමාණවත් නැහැ.. අනෙක ප්‍රදේශයේ අයගෙන් විවිධ බලපෑම් එල්ල වෙනවා මේ නිසා තමයි බස් නැවතුම්පොළ මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ.“

කොළඹ ගුණසිංහපුර පළමු පෙළේ බස් නැවතුම්පොළ විධිමත් ලෙස සංවර්ධනය කිරීම වැදගත් සහ කාලීන දෙයක් වන අතර ඒ සඳහා සියල්ලන්ගේ අවධානය ඉක්මනින් යොමු විය යුතුය. එමගින් මෙම බස් නැවතුම්පොළේ ප්‍රමිතිය සහ පහසුකම් නිසි ලෙස ගොඩනැගිය හැකිය.

ජායාරූප - සරත් පීරිස්


නව අදහස දක්වන්න