ගිනිඅවි ඔත්තුවකට විශේෂ මුදල් ත්‍යාග | දිනමිණ

ගිනිඅවි ඔත්තුවකට විශේෂ මුදල් ත්‍යාග

නීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට සහ ඔත්තුකරුවන්ට විශේෂ මුදල් ත්‍යාග පිරිනැමීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කරයි.
 
නීතිවිරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් මේවන විටත් ක්‍රියාත්මකය. ජනවාරි පළමුවනදා සිට මාර්තු 31 වනදා දක්වා මාස තුනක කාලයක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන්නේ පොලිස්පතිවරයාගේ උපදෙස් අනුවය.
 
මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මකවන කාලය තුලදී නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට සහ පෞද්ගලික ඔත්තුකරුවන්ට මුදල් ත්‍යාග පිරිනැමේ. ඒ පොලිස් ත්‍යාග අරමුදලෙනි. එම අත්අඩංගුවට ගැනීම කළ දින සිට සති දෙකක් ඇතුළත ගෙවීම් කළ යුතු බවට පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
 
ඒ අනුව අත්අඩංගුවට ගන්නා ටී 56 අවියක් සදහා සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගන්නේ නම්, එම පොලිස් නිලධාරියාට රුපියල් පනස් දහසක ත්‍යාගයක් පිරිනැමේ. එහිදී පෞද්ගලික ඔත්තු කරුවෙකුට පිරිනැමෙන ත්‍යාග මුදල රුපියල් විසිදහසකි. සැකකරුවෙකු නොමැතිව ගිනි අවියක් අත්අඩංගුවට ගන්නා විට පොලිස් නිලධාරියාට රුපියල් දස දහසක් ද පෞද්ගලික ඔත්තුකරුවාට රුපියල් පන්දහසක් ද ගෙවීමට නියමිතය.
 
විදේශයන්හි නිෂ්පාදිත නිශ්චිතව සදහන් කර නැති ස්වයංක්‍රීය ගිනි අවියක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීමකදී පොලිස් නිලධාරියාට රුපියල් හැට දහසක් ද පෞද්ගලික ඔත්තුකරුවෙකුට රුපියල් විසිපන්දහසක් ද පිරිනැමෙනු ඇත. සැකකරුවෙකු නොමැති විට එම මුදල පොලිස් නිලධාරියා සදහා රුපියල් පහලොස් දහසකි. පෞද්ගලික ඔත්තුකරුවන් සදහා රුපියල් හත්දහස් පන්සීයකි.
 
විදේශියන් හි නිෂ්පාදිත පතොරම් තුවක්කු, පිස්තෝල, රිවෝල්වර, විදේශයන් හි නිෂ්පාදිත ස්වයංක්‍රීය නොවන අවි සහ මෙරට නිෂ්පාදිත ඕනෑම තුවක්කුවක් අත්අඩංගුවට ගැනීමක දීද මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා ඇත.

නව අදහස දක්වන්න