ක්‍රිකට් නිලවරණය කල්ගියේ සිංහල-ඉංග්‍රීසි ගැසට් පත්‍ර පරස්පරතාවෙන් | දිනමිණ

ක්‍රිකට් නිලවරණය කල්ගියේ සිංහල-ඉංග්‍රීසි ගැසට් පත්‍ර පරස්පරතාවෙන්

ප්‍රින්ස් ගුණසේකර
ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් හා ක්‍රිකට් නිසි බලධාරී චූලානන්ද පෙරේරා, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා හා ක්‍රීඩා සභාවේ සාමාජික නීතීඥ පණ්ඩුක කීර්තිනන්ද යන මහත්වරු මාධ්‍ය හමුවේදී

ලබන මස 7වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නිලවරණය සති දෙකකින් කල්දැමීමට පියවර ගත්තේ ක්‍රිකට් අභියාචනා කමිටුව පත් කිරීම සම්බන්ධ ගැසට් නිවේදනයේ සිංහල හා ඉංග්‍රීසි පිටපත්වල පරස්පරයන් තිබූ හෙයින් බව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් හා ක්‍රිකට් නිසි බලධාරී චූලානන්ද පෙරේරා මහතා පවසයි. ක්‍රිකට් අභියාචනා කමිටුවට සාමාජිකයන් පත් කිරීමේදී විශ්‍රාමික විනිසුරුවකු ලෙස ඉංග්‍රිසි ගැසට් පත්‍රයේ සඳහන්ව තිබුණද, සිංහල පිටපතේ විශ්‍රාමික යන්න සඳහන්ව නොතිබූ බව ඒ මහතා පෙන්වා දෙයි.

එම වරද තිබියදී ක්‍රිකට් නිලවරණයට ගියේ නම් යම් අයෙකු අධිකරණයට ගොස් නිලවරණය අභියෝගයට ලක් කිරීමේ හැකියාව තිබූ හෙයින් වරද නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගත්තේ යැයි ඒ මහතා පැවැසීය. ඒ අනුව ක්‍රිකට් නිලවරණය ස්ථීරවම පෙබරවාරි මස 21 වැනිදා පැවැත්වෙන බව සඳහන් විය.

ක්‍රිකට් නිලවරණය කල්යෑම පිළිබඳ සත්‍ය තොරතුරු අනාවරණය කිරීම උදෙසා ක්‍රීඩා අමාත්‍යංශයේදී ඊයේ මාධ්‍ය හමුවක් පැවැති අතර එයට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා හා ක්‍රීඩා සභාවේ සාමාජික නීතීඥ පණ්ඩුක කීර්තිනන්ද යන මහත්වරු ද එක්ව සිටියහ.

“මේ සම්බන්ධව අප නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගත්තා. ඔවුන්ගේ උපදෙස් වුණේ ගැසට් පත්‍රවල පරස්පරතාව නිවැරදි කොට නිලවරණයට යන ලෙසයි. ක්‍රිකට් නිලවරණය කල්දැමීම පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම්වත් කළා. ඔවුන්ගෙන් කිසිදු බලපෑමක් අපට නෑ. සුහදශීලී ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඡන්ද විමසීම පෙබරවාරි 28 පැවැත්වෙනවා. එයට පෙර අපේ නිලවරණය නිමාවට පත් කිරීම කළ යුතුයි. යම් යම් පාර්ශ්ව විවිධ අදහස් පළ කළද ක්‍රීඩා අමාත්‍යාංශය ස්වාධීන, අපක්ෂපාතී හා සාධාරණ නිලවරණයක් වෙනුවෙන් උපරිම කැපවීම ලබාදීමට සූදානමින් සිටිනවා” චූලානන්ද පෙරේරා මහතා පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලිද සිල්වා මහතා පැවැසූවේ පෙරවාරි 21දින නිලවරණය පැවැත්වීම අයි. සී. සියට ප්‍රශ්නයක් නොවන බවයි.

ගැසට් පත්‍රයේ දෝෂ නිවැරදි කොට ඇමැතිවරයා විසින් පත්කරන අභියාචනා මණ්ඩලයට නීති අධ්‍යයනය කිරීමට යම් කාලයක් අවශ්‍ය බැවින් මෙලෙස නිලවරණය කල් දැමූ බව ක්‍රීඩා සභාවේ සාමාජික නීතීඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා සඳහන් කළේය. “මොන දේ වුණත් නිවැරදිව නිලවරණය පැවැත්විය යුතුයි. ගැසට් පත්‍රය නිවැරදි නොවුණා නම් ක්‍රිකට් නිලවරණය නීති විරෝධී බවට යම් අයෙකුට තර්ක කළ හැකියි. සාධාරණ හේතු මතයි ක්‍රිකට් නිලවරණය කල් ගියේ” කීර්තිනන්ද මහතා පැවැසීය.

නව අදහස දක්වන්න