ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ධර්මදාස පාර්ශ්වයෙන් ඇරයුමක් | දිනමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ධර්මදාස පාර්ශ්වයෙන් ඇරයුමක්

ප්‍රින්ස් ගුණසේකර
ක්‍රිකට් සභාපති අපේක්ෂක ජයන්ත ධර්මදාස ලේකම් තනතුරට තරග වදින නිශාන්ත රණතුංග හා උප සභාපති තනතුරට ඉදිරිපත්වන කේ. මතිවානන් යන මහත්වරු මාධ්‍ය හමුවේදී.

දූෂිත පාලනයෙන් ක්‍රිකට් පරිපාලනය ගොඩ ගැනීම උදෙසා තමන් ඇතුළු පිරිස ඉදිරියේ පැවැත්වෙන ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වූ බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ සම්බන්ධයෙන් ප්‍රති විරුද්ධ පිල සමග ප්‍රසිද්ධ විවාදයකට සූදානමින් සිටින බවත් ක්‍රිකට් සභාපති අපේක්ෂක ජයන්ත ධර්මදාස මහතාගේ පාර්ශ්වය පවසයි.

පසුගිය කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය නිසි පරිදි නොවූ බවත් තමන් සභාපතිව සිටි කාලයේ විස්සයි 20 ලෝක කුසලානය හා ආසියානු කුසලානය යන ප්‍රධාන කුසලාන දෙකම ශ්‍රී ලංකාවට රැගෙන ආ බවත් ජයන්ත ධර්මදාස මහතා පැවැසීය. වසර 2016 සිට ක්‍රිකට් පරිපාලනය හා ක්‍රිකට් ක්‍රීඩාව යන අංශ දෙකම පහළට වැටුණ බව ඒ මහතාගේ අදහස වේ.‍

ධර්මදාස මහතා මේ බව පැවැසූවේ පෙරේදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී රණතුංග පාර්ශ්වය හා ධර්මදාස පාර්ශ්වය එක්ව ඉදිරිපත් වීම විශේෂත්වයකි. ජයන්ත ධර්මදාස මහතා ක්‍රිකට් සභාපති තනතුරටත්, නිශාන්ත රණතුංග මහතා ලේකම් තනතුරටත් තරග වදිති.

“මා වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙනවා. බොහෝ ක්‍රීඩකයෝ එළියට එන්නේ වෙළෙඳ සේවා ක්‍රිකට් තරගවලින්. ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් වෙළෙඳ සේවා ක්‍රිකට් අයින් කළා. ඒ වුණත් ඒකට ඡන්ද දෙකක් තිබෙනවා. මගේ ඉදිරිපත් වීමට නිලවරණ කමිටුවෙන් කිසිදු විරුද්ධත්වයක් ප්‍රකාශ කර නෑ. අවුරුදු 40කට කලින් ක්‍රිකට් ගැහුවා කියලා කියන්න තිබුණා. පැරණි වාර්තා කාටවත් හොයන්න බෑ. නීති කඩලා මට තරගයට එන්න අවශ්‍ය නෑ. වංචාකාරී කිසි දෙයක් මා කර නෑ” ධර්මදාස මහතා පැවැසීය. තමන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට වසර 5ක පමණ කාලයක් ගිය බවත්, එහි සිටින අධ්‍යක්ෂවරු කිසිවෙකු ක්‍රිකට් ක්‍රීඩාව කර නැති බවත් ධර්මදාස මහතා මෙහිදී පැවැසීය. ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් මහතා පමණක් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.

“එක් එක් අයගේ අවශ්‍යතාවලට ක්‍රිකට් ආයතනයේ සම්පත් භාවිතා වුණා. ක්‍රිකට් ආයතනයේ දූෂණ විශාල වශයෙන් සිදුවී තිබෙනවා. අපි කැමතියි මේ ගැන රූපවාහිනී නාළිකාවක වාදයක් කරන්න. අනෙක් පාර්ශ්වයට අප ආරාධනා කරනවා විවාදයට එන්න කියා. ක්‍රිකට් ආයතනය වසරකට ඩොලර් මිලියන 12ක් 14ක් විතර ආදායමක් ගත හැකි ආයතනයක්. එහි භාණ්ඩාගාරික ලෙස සිටිය යුත්තේ වරලත් ගණකාධිකාරීවරයෙක්. නමුත් ඒක පහුගිය වසර කිහිපයේදී සිදු වුණේ නෑ. මේ තත්ත්වය මත විශාල දූෂණ සිදු වුණා. අපේ කණ්ඩායම මේ නිලවරණයෙන් පහසු ජයක් ලබනවා. ක්‍රීඩා සමාජ සිටින්නේ අප සමගයි” නිශාන්ත රණතුංග මහතා පැවැසීය.

අදහස් 1ක් ඇත

Stop these debates and try to uplift Sri Lankan cricket. Put collective effort .Please do not throw garbage to each other .Show ur true dedication by actions not words since we have heard lot of words

නව අදහස දක්වන්න