හඬක් නැඟීමට සියලු බලවේග එකතු කරගන්නවා | දිනමිණ

හඬක් නැඟීමට සියලු බලවේග එකතු කරගන්නවා

ධනුෂ්ක ගොඩකුඹුර

වසර හතරකට පසුව රටටම වගකියන විපක්ෂ නායකවරයකු, විපක්ෂ නායක කාර්යාලයක් ස්ථාපිත කරන්නට ලැබීම සුවිශේෂී ජයග්‍රහණයක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මෙතෙක් කල් විපක්ෂ නායක ධුරය සීමා වී තිබුණේ එක් ප්‍රදේශයකට බව පෙන්වා දුන් රාජපක්ෂ මහතා ඉදිරියේ දී සියලු බලවේග එකතු කරගෙන ජනතා ගැටලු වෙනුවෙන් පෙනී සිටීමට තමන් සූදානම් බවත් අවධාරණය කළේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ 07, සර් මාර්කස් ප්‍රනාන්දු මාවතේ අංක 30 පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව ඊයේ (18) එක්වෙමිනි.

ඊයේ උදෑසන 9.10ට යෙදුණු සුබ මොහොතින් රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයේ රාජකාරී ආරම්භ කළේ සර්වාගමික ආශිර්වාද මැදය. රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

වසර හතරකට පසුව රටටම විපක්ෂ නායකයකු, විපක්ෂ නායක කාර්යාලයක් විවෘත කරන්නට අද අපට හැකියාව ලැබුණා. මෙතෙක් කල් විපක්ෂ නායක ධුරය එක් ප්‍රදේශයකට සීමා වෙලා තිබුණා. රටේම තියෙන ප්‍රශ්න පිළිබඳ විවේචනාත්මකව කරුණු ඉදිරිපත් කරන්න මේ විපක්ෂ නායක කාර්යාලයෙන් කටයුතු කෙරෙනවා.

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සියලු ජාතීන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න අපි සූදානම්. කෘෂිකර්මාන්තය මුහුණ පා තිබෙන ගැටලු පිළිබඳ රජයේ අවධානය යොමු වෙලා නැහැ. විශේෂයෙන් සේනා නම් දළඹුවා නිසා මතුව ඇති බරපතළ තත්ත්වය ගැන කිසිවක් කරලා නැහැ. ඒ නිසා සියලු බලවේග එකතු කරගෙන රට වෙනුවෙන් හඬ නගන්න අපි ඉදිරියේ දී කටයුතු කරනවා.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා - 2015 ජනවාරි 08 වැනි දා ජනාධිපතිවරණයෙන් පසුව ඇති වූ දේශපාලන විපර්යාසයන් තුළ පාර්ලිමේන්තුව තුළ හටගත් විකෘතිය අද නිවැරැදි වුණා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 54 දෙනෙක් විපක්ෂයේ අසුන් ගෙන ඒකාබද්ධ විපක්ෂය ලෙසින් එකතු වෙලා විපක්ෂයේ භූමිකාව අපට ලබාදෙන ලෙසට සාධාරණ සටනක යෙදුණා. නමුත් උතුරු නැගෙනහිර පළාත්වලින් පමණක් සියයට 4ක් ඡන්ද ගත්තු දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධුරය හිමි වුණා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය හිමිවුණේ සියයට 5ක් ඡන්ද ගත්තු ජනතා විමුක්ති පෙරමුණටයි.

මේ අතර තමයි ඔක්තෝබර් මාසේ 26 වැනි දා විපර්යාසයක් සිදුවුණේ. ඒ නිසා තමයි අපට නීතිමය සහ ප්‍රජාතන්ත්‍රවාදිමය වශයෙන් අයිතියක් ඇති විපක්ෂ නායක ධුරය අපට හිමිවු‍ණේ. මේක අමුතු දෙයක් නෙමෙයි. අපට මේක ලැබෙන්නට තිබුණේ 2015 පළමු පාර්ලිමේන්තු සැසි වාරයෙදිමයි.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් මතක තබා ගත යුතු කාරණය තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම අංගයක් වන්නේ කලට වේලාවට මැතිවරණ පැවැත්වීමයි. පළාත් පාලන මැතිවරණය වගේම පළාත් සභා මැතිවරණයත් දැන් දින නියමයක් නැතිව කල් දමා තිබෙනවා.

13 වැනි සංශෝධනය ගෙනාවේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් ලෙසයි. හැබැයි උතුරු නැගෙනහිරට පළාත් සභා පිහිටුවලා තිබුණේ නැහැ. එදා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කළා උතුරේ මැතිවරණය පවත්වමු කියලා. අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කෑමොර දෙන එක සාමාජිකයෙක් එදා ප්‍රකාශ කළා ඡන්දෙ තිබ්බොත් අපි පරදින්න පුළුවන් කියලා. මහින්ද මහත්තයා කිව්වා පරදින්න පුළුවන් නෙමෙයි නියත වශයෙන් අපි පරදිනවා, හැබැයි ජනතා පරමාධිපත්‍ය අමතක කරන්න බැහැ කියලා. එදා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළේ එහෙමයි. මෙන්න මෙවැනි පසුබිමක තමයි විපක්ෂ නායක කාර්යාලය අද විවෘත කෙරෙන්නේ.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා - මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත්වීම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ ජයග්‍රහණයක්. වසර හතරක් පුරා විපක්ෂ නායක ධුරය හිමිව තිබුණේ මන්ත්‍රීවරුන් 16 දෙනකුට පමණක් නායකත්වය දුන් ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරයකු වන ආර්. සම්බන්ධන් මහතාටයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය හිමිව තිබුණෙත් තවත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකුම වන අනුර කුමාර දිසානායකටයි. සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධුරය දැරූ සමයේ අයවැය ලේඛන හතරකට සහය පළ කරලා ඒ වගේ දෙයක් කරපු පළමු විපක්ෂ නායක කියන ලෝක වාර්තාව පිහිටුවන්නට සමත් වුණා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, මහාචාර්ය ජී. එල්. පීරිස්, රාජා කොල්ලුරේ, සුසිල් ප්‍රේමජයන්ත, ඩබ්ලිව්. ඩී. ජේ සෙනෙවිරත්න, ගාමිණි ලොකුගේ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරුප - ගයාන් පුෂ්පික


නව අදහස දක්වන්න