දින 52 විප්ලවයේදී රාජ්‍ය සේවකයා සිය වගකීම හරියටම ඉටු කළා | දිනමිණ

දින 52 විප්ලවයේදී රාජ්‍ය සේවකයා සිය වගකීම හරියටම ඉටු කළා

චන්ද්‍රිකා පෙරේරා

දේශපාලනඥයා වසර පහෙන් පහට ජනතාවගේ මිනුම් දණ්ඩට ලක්වුව මැතිවරණයට මුහුණ දුන්නද රාජ්‍ය සේවකයාට එවැනි අසීරුතාවකින් තොරව උසස්වීම් ,දීමනා ආදී සියල්ල ලැබෙන බැවින් පැවරී ඇති රාජකාරිය නිසි පරිදි ඉටු කර මාතෘභූමියට සේවය කිරීමට මූලිකත්වය දෙන ලෙස වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පැවසීය.

රබර් පොහොර සහනාධාරයක් ලෙස ලබා දෙන බවද රබර් නැවත වගාව සඳහා රුපියල් 150000 සිට 350000 දක්වා සහනාධාර ලබාදීමට මේ වසරේදී කටයුතු කරන බවද සඳහන් කළේය.

රබර් සංවර්ධන නිලධාරීන් ලෙස නව නිලධාරීන් 56 දෙනකු වෙත බඳවා ගැනීමේ පත්විම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් ඊයේ (17) ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

බත්තරමුල්ල වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී ඇමැති නවීන් දිසානායක මහතා එම පත්වීම් ලිපි නවක රැකියාලාභීන් වෙත ප්‍රදානය කළ අතර එහිදී ඇමැතිවරයා මෙසේ ද සඳහන් කළේය.

අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති තරුණ තරුණියන් පිරිසකට මේ පත්වීම් ලබා දුන්නේ රබර් කර්මාන්තය නැංවීම සඳහා මේ අයගේ සහාය අනිවාර්යයෙන්ම ලැබේවි යන විශ්වාසයෙන්. ඒ අනුව මේ නවකයන් තම වගකීම නිසි ලෙස ඉටු කරාවි කියා බලාපොරොත්තු වෙනවා.

ඉංග්‍රීසීන් ඇරැඹූ රබර් දෙපාර්තමේන්තුව වර්තමානයේ කාලීන ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතුව තිබෙනවා. ඒ අනුව නවකයන්ගේ දැනුම හා කාර්යක්ෂමතාව මේ දෙපාර්තමේන්තුවට ලබාදීම පත්වීම් ලාභීන්ගෙන් සිදු විය යුතුයි. පිරිමි කාන්තා දෙපාර්ශ්වය සඳහාම මේ පත්වීම් ලිපි ලබාදී තිබෙන අතර ඒ අය සියලු දෙනා බිම් මට්ටමට ගොස් රබර් ගොවියා සමඟ ගොවි බිමේ දී ක්‍රියාකාරීව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.

දේශපාලනඥයා වසර පහකින් ජනතාවගේ මිනුම් දණ්ඩට ලක්වෙන අතර ඒ අනුව ජනතාව සිය ඡන්දයෙන් ඔහු පත්කර ගන්නවා ද ඉවත් කරනවා යන්න තීරණය කරනවා. නමුත් රාජ්‍ය සේවකයා එවැනි මිනුම් දණ්ඩකට ලක් වන්නේ නැහැ. නමුත් උසස්වීම් ලබා ඉහළට යාමේ අවස්ථාව ලැබෙනවා. මේ නිසා අපේ මාතෘ භූමියේ පැවැත්ම, ආරක්ෂාව හා සංවර්ධනය වෙනුවන් රාජ්‍ය සේවකයාට පැවරී ඇති වගකීම් අධිකයි. රාජ්‍ය සේවකයා වැටුප් ලබන්නෙත් ජනතා බදු මුදලෙන්. ඒ අනුව තම සේවාව උපරිමයෙන් ලබාදීමට මේ අය වගකීමෙන් බැඳී සිටිනවා.

පසුගිය දින 52 විප්ලවයේදී රාජ්‍ය සේවකයා සිය වගකීම නිසි ලෙස ඉටු කළ නිසා රට ඉදිරියට ගියා. දේශපාලන අස්ථාවර භාවයක් ඇති වුණත් රාජ්‍ය සේවකයා තම යුතුකම් ඉටුකළ නිසා ගැටලු මතු වුණේ නැහැ. රාජ්‍ය සේවකයා කිසිවෙකුටත් යටත් නොවී ඉදිරියටත් කොන්ද කෙළින් තබාගෙන දේශපාලඥයාගේත් අඩුපාඩු පෙන්වා දෙමින් දූෂණයට හොරකමට විරුද්ධව කටයුතු කළ යුතුයි. එවැනි පිරිසක් අපටත් රටටත් අවශ්‍යයි. ඒ අනුව මේ පත්වීම්ලාභීන්ද තම පෞරුෂත්වය ගොඩනඟා ගනීවි කියා මා විශ්වාස කරනවා.

වර්තමානය වන විට රබර් ක්ෂේත්‍රය කඩා වැටිලා. එය නඟා සිටුවීමට රබර් ගොවියාට පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරන අතර නැවත වගාව සඳහා රුපියල් 150000 සිට 350000 දක්වා සහනාධාර දීමට මේ වසරේදි කටයුතු කරනවා.

රබර් කර්මාන්තය හා නිෂ්පාදන වැඩි දියුණු කිරීමට අනාගතයේ දී චීන රජය මෙරට තුළ ආයෝජනය කිරීමට ලෑස්තියි. ඒ අය ඒ සඳහා විශාල මුදලක් ආයෝජනය කිරීමට දැනටමත් සාකච්ඡා කරනවා.

මේ අනුව නිෂ්පාදනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමට කටයුතු ක්‍රියාත්මක කෙරෙනවා. ප්‍රේමදාස මහතාගේ යුගයේ නිදහස් වෙළෙඳ කලාප ස්ථාපිත කර රබර් ආශ්‍රිත භාණ්ඩවල ගුණාත්මක භාවය වැඩි කර ගැනීමට කටයුතු කළා. මේ අනුව ටයර් හා ග්ලවුස් නිමි භාණ්ඩ ලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ගෙන යාමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. රබර් වගා කටයුතු අඩු මට්ටමක තිබුණත් වර්තමානය වන විට ගුණාත්මක රබර් නිෂ්පාදන වැඩි වී තිබෙනවා.

අද පත්වීම් ලැබූ අය ආයතන ප්‍රධානියා සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු අතර ඉවසීමෙන් හා නියෝගවලට අනුව සුදුසු තැන සුදුසු ආකාරයෙන් කටයුතු කර නිසි තැන ලබා ගැනීමට කටයුතු කළ යුතුයි.

මේ අය මේ ක්ෂේත්‍රයේම සිටිය යුතුයි කියා නියමයක් නැහැ. තමන් වෙනත් ක්ෂේත්‍රයකට කැමති නම් ඒ ක්ෂේත්‍රවලට යාමට හැකියි. තම අනාගතය සුරක්ෂිත කර ගනිමින් මාතෘභූමියට සේවය කිරීමයි අවශ්‍ය වන්නේ.

රටේ නව ප්‍රවණතා රැසක් මේ වන විට ඇති වී තිබෙන අතර දේශපාලන වාතාවරණය අනුව මේ වසර මැතිවරණ වසරක් . ඔක්තෝබර් මාසය වන විට ජනාධිපතිවරණය පැවැත්විය යුතු අතර 2020 වන විට සිටින ජනාධිපති හෝ නව අයෙක් ජනාධිපති ලෙස අලුතෙන් පත් විය යුතුයි. නමුත් මුලින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ද ඉඩ තිබෙනවා. කෙසේ වුවත් දේශපාලනඥයා තමාට පැවරී ඇති වගකීම් ඉටු කළ යුතුයි.

19 සංශෝධනය අනුව ජනාධිපති අගමැති එකමුතුව වැඩ කිරීමට සහයෝගය තිබිය යුතුයි. 19 ගෙන ඒමට පෙර ජනාධිපතිට තනි බලයක් තිබුණත් 19 සංශෝධනයෙන් අගමැති බලවත් කර, නීතිය ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු නීතිය හා පාර්ලිමේන්තුව ශක්තිමත් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිට ඇති බලතල අවම වී තිබෙනවා.

මේ අනුව ඉදිරියේ දී ජනාධිපති හා අගමැති යන අපේක්ෂකයන් දෙදෙනාම කවුරුන්ද යන්න නම් කිරීමට අප කටයුතු කරනවා. රටටත් පක්ෂයටත් දිනන්නට හැකි එකමුතුව ක්‍රියාත්මක වීම හරහායි. මෙරට ප්‍රථම වතාවට මේ අපේක්ෂකයන් දෙදෙනාම එකවර නම් කිරීමට කටයුතු කරන එකම කණ්ඩායම එජාපෙ. අමෙරිකාවෙ මේ මොඩලය තිබෙන අතර ජනාධිපති හා උප ජනාධිපති එකවර නම් කෙරෙනවා.

පොහොට්ටුවේ කවුරු ජනාධිපති අපේක්ෂකයා වුවත් අගමැති වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. කෙසේ වුවත් ජනාධිපති අපේක්ෂක වෙන්න රාජපක්ෂ පවුලෙ සහෝදරයො අතර පොරයක් ඇති වී තිබෙන බව මාධ්‍ය මගින් දැකිය හැකියි.

එක්සත් ජාතික පෙරමුණ එකමුතුව දිනන්න හැකි පුද්ගලයා නම් කිරීමට කටයුතු කරනවා. සාකච්ඡා මගින් එය තීරණය කෙරෙන්නේ. 2025 වසර වන විට තරුණ නායකත්වය ඉදිරිපත් කිරීමට එජාපය කටයුතු කරන අතර එය 2020දි වුවද විය හැකියි. ප්‍රජාතන්ත්‍රවාදය අනුව පාක්ෂික කැමැත්තෙන් අපේක්ෂකයා තෝරා ගැනීමට ක්‍රමයක් අවශ්‍ය අතර අමෙරිකාවේ සිදු වන්නේ එයයි. අප පක්ෂය ඇතුළේ සම්මුතියකට ඒම සඳහා මේ වන විට සාකච්ඡා පැවැත්වෙනවා. ඒ අනුව ජනාධිපතිවරණය අපට ජය ගැනීමට හැකියි.

වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති වඩිවේල් සුරේෂ් මහතා-

මෙරට නිසි නායකත්වයක් නොතිබුණානම් මේ වත්වීම් අද ලැබෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ කතානායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා අධිකරණය නිවැරදි තීරණ ගත් නිසයි මේ පත්වීම් ලැබීමේ වාසනාව ලැබුණේ යන්න මතක තබා ගත යුතු වැදගත් කරුණු වෙනවා.

මා ගුරුපත්වීමක් ලබා උඩකරවිට පාසලට යන විට සිංහල දන්නෙ නැහැ. නිසි නවාතැනක් නොතිබුණු අවස්ථාවේ පාසල අසල විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ මට කතා කර නවාතැන් දී වසර දෙකක් තියා ගත්තා. එහිදී මා සිංහල මෙන්ම පංචශීලය ද ඉගෙන ගත්තා . ස්වාමීන් මහන්සේත් දෙමළ දැනුම ලබා ගත්තා. එවැනි ගමනකින් පසුයි අද මා දේශපාලනයට එක් වි සිටින්නේ ජනතා සේවයට.

අද තාක්ෂණය වැඩි වී නිෂ්පාදන අවම වී තිබෙනවා. රාජ්‍ය සේවකයා හා දේශපාලනඥයා නිසි ලෙස එක් නොවීම නිසයි මේ කර්මාන්තවල ගැටලු මතුව තිබෙන්නේ. වර්තමානයේ පත්ව ඇති ඇමැතිවරයා සමඟ වැවිලි ක්ෂේත්‍රයේ කටයුතු නිවැරදිව නොකළොත් ඉදිරියේ දී මේ ක්ෂේත්‍රය නඟා සිටුවිමට නැවත අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්ව නිසයි මේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වී තිබෙන්නේ.

වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජේ.ඒ.රංජිත්, රබර් සංවර්ධන දේපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආර්.බී.ප්‍රේමදාස මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

ඡායාරූප - සිරිපාල හල්වල

 

නව අදහස දක්වන්න