* වෘත්තීය-තාක්ෂණ අධ්‍යාපනයටත් අපි මුල් තැනක් ලබා දෙනවා
* ණය පාලනය කර ව්‍යාපෘතිවලට මුදල් දුන්නා
* දරුවකුට වසර 13ක් ඉගෙනීමට ඇති අයිතිය අනිවාර්ය කර එය තහවුරු කරනවා
* අවුරුදු 4ක්අපි බෙර ගැහුවේ නැහැ කෑගැසුවේ නැහැ ඉවසීමෙන් වැඩේ කළා
රට ශක්තිමත්ව ගොඩනැඟීම සඳහා නීරෝගීමත් ජනතාවක් හා හොඳ අධ්‍යාපනයක් ඇති පිරිසක් බිහිකළ යුතු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අධ්‍යාපන ක්ෂේත්රයට 2015 සිට 2019 දක්වා රුපියල් බිලියන 635 ක් ද, සෞඛ්‍යය ක්ෂේත්රයට බිලියන 690ක් ද ආණ්ඩුව වියදම් කර ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එම මුදල් වෙන් කළේ පළාත් අධ්‍යාපන සහ පළාත් සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කළ මුදල්වලට අමතරව බව පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයට බිලියන 635 ක් ද සෞඛ්‍යය වෙනුවෙන් බිලියන 690ක් වියදම් කර ඇති බවත් අවධාරණය කළේය.
ඒ අනුව අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර වෙන්වෙන් ගත වූ වසර හතරට බිලියන 1300ක් වෙන් කර ඇතැයි කී අගමැතිවරයා මෙතෙක් පැවති කිසිදු රජයක් එවැනි මුදලක් එම ක්ෂේත්රයන් වෙනුවෙන් වෙන් කර නොතිබූ බව අවධාරණය කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විවෘත කිරීම සහ රත්නපුර රෝහල ශීක්ෂණ රෝහලක් බවට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සවයන්ට පෙරේදා (17) සහභාගී වෙමිනි.
අවුරුදු 4ක් අපි බෙර ගැහුවේ නැහැ. කෑගැසුවේ නැහැ. ඒත් ඉවසීමෙන් වැඩේ කළා. ණය පාලනය කර අධ්‍යාපන මුදල් ලබලා දුන්නා. ඒකෙන් ඉදිරියට යන්න පුළුවන් වුණා. අද මෙතන සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලූ දෙනාම ගිය අවුරුදු කීපයේ දී අපි අධ්‍යාපනයට වියදම් කරපු නිසා ඒකෙනුත් වාසි අරගෙන මෙහාට ආව අයයි යැයි ද අගමැතිවරයා කීය.
එහිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
අප ගෙන යන වැඩසටහන් නිසා හම්බන්තොට විශාල ආර්ථික කලාපයක් බවට පත්කිරීමට අපට ශක්තියක් ලැබී තිබෙනවා. කර්මාන්ත ශාලා 100ක්, අලූත් ව්‍යාපාර ගණනාවක් ඇති වෙනවා. එදා සුදු අලියෙක් ලෙස නම් කෙරුණු හම්බන්තොට දියුණු කරන්න අපට පුළුවන් වී තිබෙනවා. මොරටුව කොළඹට යොමු වුණා වගේ සබරගමුව, රුහුණ , ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය හම්බන්තොට අනාගත දියුණුවත් බලලා ඊළග වසර පහේ දී, දහයේ දී තමන්ගේ වැඩකටයුතු කළ යුතුයි. මේ විශ්වවිද්‍යාලයට උවමනා නම් අපේ උසස් අධ්‍යාපන ඇමතිතුමාත්, දකුණ සංවර්ධන ඇමතිතුමාත් සම්බන්ධ කරගෙන, චයිනා හාබර් මර්චන්ට් සමාගම සමගත් සාකච්ඡා කර, අනාගතයේ ඒ සමාගම්වල හා කර්මාන්ත ආයතනවල අවශ්‍යතාවන්ට සරිලන පාඨාමාලා සහිත උසස් අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කරගන්න පුළුවන්.
දැන් ඉංග්‍රීසි භාෂාවෙන් එහෙම වැඩකටයුතු කරගෙන යනවා. අපිට අනාගතයේ අපනයනය වැඩි කිරීම, කර්මාන්ත අගය වැඩි කිරීමේ සේවා, තොරතුරු තාක්ෂණ සේවා ලබා ගැනීමට නම් සෞඛ්‍යටත් අධ්‍යාපනයටත් අපි මූලික ප්‍රමුඛත්වය දිය යුතුයි. පළමුවෙන්ම නිරෝගී මනසක් අවශ්‍යයි. අපි මෙතරම් මුදල් වියදම් කර, දැනුම වැඩි කර, අවුරුදු 50ක් ජීවත් වෙනවා නම් ඇත්ත වශයෙන්ම එතනින් ප්‍රයෝජනයක් නැහැ. අවුරුදු 60 ක් 70 ක් 80 ක් ජීවත් වෙන්න පුළුවන් විදියට ජනතාව නීරෝගී විය යුතුයි. මොකද අපේ ජනගහනය වැඩි වෙන්නේ නැහැ.
අපිට අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. යුද්දෙ අන්තිම කාලේ රටේ මුදල් වැය වුණේ යුද්දෙට. යුද්දෙන් පස්සෙ මුදල් යෙදෙව්වේ යටිතල පහසුකම්වලට. සමහර ඒවා අපතේ ගියා. සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයක් තියෙනවා, මම දන්නේ නැහැ මොනවද කෙරෙන්නේ කියා. ක්‍රිකට් පිටියක් ඇති කළොත් භාවිතයට එය ගැනීමට පුළුවන්. සම්මන්ත්රණ ශාලාවක් හම්බන්තොට තියෙනවා. මේවා මඟුල් ගෙවල්වලටත් අරගන්නේ නැහැ. මත්තල තියෙනවා ගුවන් තොටුපළක්. අපි දැන් ඉන්දියන් සමාගම සමඟ සාකච්ඡා කර අලාභෙ අඩු කරගන්න කටයුතු කරනවා.
හම්බන්තොට වරායෙ විශාල අලාභයක් තිබුණා. අපි කොහොම හරි ඒ අලාභෙ නැති කරගෙන දැන් චයිනා මර්චන්ට් සමාගම එක්ක චයිනා හාබර් සමාගම එක්ක විශාල වැඩකොටසක් කරගෙන යනවා.
ශ්‍රී ලංකා ගුවන් සේවයට සුදුසු නැති ගුවන් යානා අරගෙන තියෙනවා. අමෙරිකාවට යන්න පුළුවන් ගුවන් යානය අරගෙන අපි වැඩියෙන්ම යන්නේ ලන්ඩන් නුවරට. ඉතිරි තෙල්වලින් මොනවද කරන්නේ? අපි විශාල ලෙස මුදල් වියදම් කර තියෙනවා ඒ අකුරුගොඩ ආරක්ෂා මධ්‍යස්ථානයක් දාන්න. තාමත් කරගෙන යනවා. ඔය මුදල් ටික දැම්මා නම් සෞඛ්‍යට, අධ්‍යාපනයට එහෙමනම් එදා විශාල වෙනසක් තියෙනවා. ඒත් ඒක සිදු කරේ නැහැ. අපි එදා ඉදන් කිව්වා අධ්‍යාපනයට, සෞඛ්‍යට මුදල් වැඩි කරන්න කියා. ඒ නිසා 2015 සිට 2019 දක්වා මේ අවුරුදු හතරේ අධ්‍යාපන ක්ෂේත්රයට විතරක් අධ්‍යාපන අමාත්‍යාංශයට, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයට අපි බිලියන 635ක් වියදම් කර තියෙනවා. ඒ පළාත් අධ්‍යාපනයට වියදම් කළ මුදලට අමතරවයි. ඒ අවුරුදු කිහිපයේ දී සෞඛ්‍යය වෙනුවෙන් බිලියන 690ක් වියදම් කර තියෙනවා. ඒ මුදලත් පළාත් සෞඛ්‍ය සේවයට වියදම් කළ මුදලට අමතරවයි. එසේ නම් අපි බිලියන 1300ක් අවුරුදු 4 කින් වියදම් කර තියෙනවා. අලුත් ගොඩනැගිලි 800ක් විවෘත කිරීමට තිබෙන බව මට අධ්‍යාපන අමාත්‍යතුමා පැවසුවා අපි විවෘත කරපු ඒවා දිහා බලන්න. මෙතන මෙතුමා කරපු වැඩ කිව්වා අනිත් පැත්තෙන් බලන්න. ශිෂ්‍යයන්ට අපි රක්ෂණය දුන්නා. ඒ සංඛ්‍යාව වැඩි කරලා තියෙනවා.
මෙතෙක් කල් විදුහල්පතිවරු පත් කළේ විභාගයෙන් නෙවෙයි. දැන් විදුහල්පතිවරු පත්කරන්නේ විභාගයෙන්. ඒක හොඳ වැඩකටයුත්තක්. අපිට තව දැන් මුදල් වැඩිපුර වියදම් කරන්න තියෙනවා. අපිට ඉංජිනේරු පීඨ පටන් ගන්න එක ප්‍රශ්නයක් තිබෙනවා. එනම් ආචාර්ය මණ්ඩලය නැති කමයි. අපිට ඉංජිනේරු අංශයත් තාක්ෂණ අංශයත් තව වැඩි දියුණු කරන්න තිබෙනවා. අපි වෛද්‍ය විද්‍යා අංශ එකතු කරගෙන යනවා. ඇත්තටම කොහොමද අපි මේ කණ්ඩායම් ආචාර්ය මණ්ඩලය සකස් කරන්නේ කියන එක විශාල ප්‍රශ්නයක්.
දෙවනුව තමයි අපි බිලියන 635ක් වියදම් කළාට වෘත්තීය අමාත්‍යාංශය ඉතා සුළු ගණනක් වියදම් කර තියෙනවා. ඒක මදි. රැකියාවලට යැවීමට නම් අපි ඒ අංශයට තව වැඩි කරන්න තියෙනවා. විශේෂයෙන්ම වෘත්තීය අංශයට අපි ඒ සංඛ්‍යාව වැඩි කළ යුතුව තිබෙනවා.
අපේ පාසල්වලට විද්‍යා ගුරුවරු වුවමනායි. මම ඇමතිතුමා සමඟ සාකච්ඡා කළේ ඊළඟ අවුරුදු තුන හතරට වුවමනා ගුරුවරු දැන් බඳවා ගෙන පසුව විද්‍යා උපාධියකුත් ලබාගන්න අපි අවස්ථාව ලබලා දෙමු ද කියායි. ඒක විශ්වවිද්‍යාලයෙන්ම සිදුවෙන්නේ නැත්නම් අපිට හරි ඒ වැඩකටයුත්ත කරන්න සිදුවෙනවා.
දැන් අපි ක්‍රියා කරන්නේ අවුරුදු 13ක් අධ්‍යාපනය අනිවාර්ය කරන්නයි. අලුත් මඟකට යන්නයි. අධ්‍යාපන ක්‍රමයත් සෞඛ්‍ය ක්‍රමයත් ආර්ථික සංවර්ධනයත් එකට එකතු කරගන්න ඕනේ. මොකද්ද සමාජවාදය කියන්නේ. සමාජවාදය මගින් තමන්ට තමන්ගෙ ස්වශක්තියෙන් නැගලා එන්න අවස්ථාව තියෙන්න ඕනේ. එසේ නම් නිරෝගිභාවයයි, අධ්‍යාපනයයි තියෙනවා නම් ඔය සටනෙන් 60% ක් 70% ක් ඉවරයි. අපි සෑම කෙනාම එක සමානව සලකනවා නම් ආගම ජාතිය බලන්නේ නැත්නම් එවිට තවත් කොටසක් ඉවරයි. අපේ මේ වියදම් කර තියෙන ප්‍රමණය වෙනත් කිසිම ආණ්ඩුවක් වියදම් කර නැහැ. අනික් අය කතා කරනවා. කප්පාදුව කියනවා. මේකද කප්පාදුව කියන්නේ. මේක කොහොමද කළේ? හුඟක් අය හිතුවා මේක කරන්න බැහැ කියලා. අපිට විශාල ණයක් ගෙවන්න තිබුණා. අපි ගෙවන ණය මීට වඩා වැඩියි. ඒ ණය ගෙවුවායින් පසුව මොනවද කරන්න පුළුවන් කියා ඇහුවා. ඔන්න මේ ණයත් ගෙවලා අපිට පුළුවන් වෙලා තියෙනවා අධ්‍යාපනයයි සෞඛ්‍යයි දියුණු කරන්න.
ගම්පෙරලිය වාගේ වැඩසටහන් ආරම්භ කළා. ඒ නිසා අපිට දැන් තියෙන්නේ මේක ඉදිරියට ගෙනියන්න. අවුරුදු 4ක් බෙර ගැහුවේ නැහැ. කෑගැසුවේ නැහැ. ඒත් ඉවසීමෙන් වැඩේ කළා. ණය පාලනය කරලා අධ්‍යාපනයට මුදල් ලබලා දුන්නා. ඒකෙන් ඉදිරියට යන්න පුළුවන් වුණා. අද මෙතන සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලූ දෙනාම ගිය අවුරුදු කීපයේ දී අපි අධ්‍යාපනයට වියදම් කරපු නිසා ඒකෙනුත් වාසි අරගෙන මෙහාට ආව අයයි. දැන් තමන්ගේ නංගිලා මල්ලිලාට ඒ වාසිය ලැබෙනවා. ඉදිරියට යන්න තියෙනවා. අන්න ඒ වැඩ කටයුත්ත අපට කරන්න තියෙනවා.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම්, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ. ඒ විජේතුංග, හේෂා විතාරණ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා දේශපාලඥයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
නව අදහස දක්වන්න