උප ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලබන කළුගල නන්දරතන හිමි පිළිගැනීමේ උත්සවය 20දා | දිනමිණ

උප ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලබන කළුගල නන්දරතන හිමි පිළිගැනීමේ උත්සවය 20දා

ගල්පාත පුරාණ විහාරාධිපති බැල්ලපිටිය විද්‍යාශේකර පිරිවෙනෙහි විශ්‍රාමික පරිවේනාධිපති වත්මන් කෘත්‍යාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික ශාසනකීර්තී ශ්‍රී නන්දාරාම රයිගම් කෝරලයේ උප ප්‍රධාන සංඝනායක කළුගල නන්දරතන හිමියන් එලෙස එම උප ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලැබීම හේතුවෙන් උන්වහන්සේ පිළිගැනීමේ උත්සවයක් ගිහි පැවිදි ආරාධිත අමුත්තන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මේ මස 20 වැනි දින පස්වරු 3.00ට ගල්පාත විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ කෙටි ලිපිය උන්වහන්සේට උපහාරයක් වශයෙනි.

ඩී. එස්. රණවක මුදලාලි මහතා සහ ඩී. එම්. ගමගේ උපාසිකා මාතාව අප නායක හිමියන්ගේ මවුපියන් වේ. 1955 ජනවාරි මස 19 වැනි දින කළුතර දිස්ත්‍රික්කයේ කළුගල ග්‍රාමයේදී උපන් කළුගල නන්දරතන අප නායක හිමියන් සහෝදර සහෝදරියන් හත් දෙනකුගෙන් යුත් පවුලේ හය වැනි සාමාජිකයාය.

බුලත්සිංහල ප්‍රාථමික විදුහලේ හා දිවලකඩ කණිෂ්ඨ විදුහලෙන් අධ්‍යාපනය ලබා 1964 ජූනි මස 25 වැනි දින බුලත්සිංහල නන්දාරාම නාහිමි වෙතින් පැවිදි බව ලැබූ අතර හොරණ විද්‍යාරතන විශ්වවිද්‍යා පීඨයෙන් පිරිවෙන් අධ්‍යාපනය ද ලැබීය. අප නායක හිමියන් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබා ඇත.

1980 ජනවාරි 19 වැනි දින ගල්පාත විහාරස්ථානයට වැඩම කළ කළුගල නන්දරතන හිමියන් 1981 එම විහාරස්ථානයේම විහාරාධිපති තනතුරට පත්වුණ අතර එදා මෙදා තුර අප විහාරස්ථානයටත් ගල්පාතට පමණක් නොව මුළු රටටමත් උන්වහන්සේගෙන් ඉටුවුණු සේවය අතිමහත්ය. කුඩා විහාරස්ථානයක් ලෙස පැවැති ගල්පාත විහාරස්ථානය අද පවතින දියුණු තත්ත්වයට පත් කිරීමට කළුගල නන්දරතන නායක හිමියන් අප්‍රතිහත ධෛර්යකින් කටයුතු කළ අතර සමාජ සුබසාධන සංවිධාන රැසකක සහයෝගය ලබා ගෙන ගල්පාත ප්‍රදේශය දියුණු කිරීමට උන්වහන්සේ අතිවිශිෂ්ට කාර්යභාරයක් ඉටු කරන ලදී. විශේෂයෙන්ම ගංවතුර උවදුර නිසා නිරන්තරයෙන් පීඩා විදින ගල්පාත හා අවට ප්‍රදේශවාසී ජනතාවට එම අවස්ථාවලදී අවශ්‍ය සහන ලබාදීම සඳහා ද ගල්පාත ශ්‍රී සද්ධාරාම දහම් පාසලෙන් ප්‍රදේශයේ දූ දරුවන්ගේ බෞද්ධ අධ්‍යාපන ප්‍රබෝධය ඉහළ නැංවීම සඳහා ද අප නායක හිමියන් අති දැවැන්ත වැඩ කොටසක් ඉටු කර තිබේ.

එපමණක් නොව 1987 වර්ෂයේදී බැල්ලපිටිය විද්‍යාශේකර පිරිවෙන නැවත ආරම්භ කිරීමෙන් පසු එහි ප්‍රථම පරිවේනාධිපති හිමියන් ලෙස ද පත් වූ කළුගල නන්දරතන හිමියන් එතැන් සිට අඛණ්ඩව පුරා වසර 27ක් එම පිරිවෙන හරහා ගිහි පැවිදි සිසු දරුවන්ගේ ගුණ නැණ වර්ධනය කිරීමෙහිලා ප්‍රමුඛ වැඩකොටසක් ඉටුකර ඇත.

ගල්පාතට පමණක් නොව කළුතර දිස්ත්‍රික්කයටම අභිමානයක් ගෙන දෙමින් රයිගම් කෝරළයේ උප ප්‍රධාන සංඝනායක ධූරයකින් පිදුම් ලැබූ අප නායක හිමියන්ට ආඩම්බර විය හැකි උගත් බුද්ධිමත් ශිෂ්‍ය පිරිසක් ද සිටීම විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාවකි. වතුරුවිල සරණංකර හිමි ඒ අතර ජ්‍යෙෂ්ඨතම හිමිනම වෙයා. පිටිගොඩ සාරානන්ද , දෙනගම සිරි සුදම්ම , කිතුලාවේ ධම්මින්ද , පුන්සිරිපුර සුමේද , බුලත්සිංහල සෝරත , වතුරුවිල සද්ධානන්ද හා දොඹගොඩ සීලානන්ද හිමිවරු රැසක්ම කළුගල නන්දරතන නායක හිමියන්ගේ ගෝල පරම්පරාවට අයත් වෙති.

උප ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලත් අපගේ ගෞරවනීය කළුගල නන්දරතන නායක හිමියන්ට ගල්පාත ප්‍රදේශවාසී ජනතාව වෙනුවෙනුත් විහාරස්ථ දායක සභාව වෙනුවෙනුත් දිගාසිරි පතමු.

-ආරියපාල එදිරිමාන්න
සභාපති - ගල්පාත විහාරස්ථ දායක සභාව
(ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සහකාර පාලක)

නව අදහස දක්වන්න