බුදු සසුන බබළවන අකුරටියේ නන්ද නා හිමි | දිනමිණ

බුදු සසුන බබළවන අකුරටියේ නන්ද නා හිමි

ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි ඡන්ම දිනය ජනවාරි 20 වැනිදාට යෙදී තිබේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

ජාතික හා ජාත්‍යන්තර තලයෙහි ඉහළින්ම සම්භාවනාවට පත් ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි සම්බුදු සසුන ආලෝකමත් කරමින් වැඩ වෙසෙන ශික්ෂාකාමී විද්වත් යතිවරයන් වහන්සේ නමකි. දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ බද්දේගම ගිංගඟ අසබඩ පිහිටි අකුරටිය නමැති පෞරාණික සුන්දර ගම් පියසෙහි විසූ සාම විනිසුරු පියදාස බොපේ කොඩිතුවක්කු මහෝපාසක මහතාගේ හා ගුණවතී වීරතුංග මහෝපාසිකා මාතාවගේ අතිජාත පුත්‍ර රත්නයක් ලෙස වර්ෂ 1954 ජනවාරි 20 වැනිදා නන්ද නාහිමියෝ ඡන්මලාභය ලැබූහ.

එවකට ලංකාණ්ඩුවේ ප්‍රධාන පිරිවෙන් පරීක්ෂක ධුරය දැරූ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, විද්‍යෝදය පරිවේණාධිපති, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, කීර්තිශේෂභාවෝපගත අතිපූජ්‍ය අකුරටියේ අමරවංස නාහිමිගේ සහ ගාලු කෝරළයේ ප්‍රධාන සංඝනායකව වැඩසිටි බද්දේගම පුඤ්ඤසාර නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් වර්ෂ 1965 ජුනි 24 වැනිදා පහළකීඹිය පුරාණ මහා විහාරයේදී උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත්වූහ. ඉක්බිතිව ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනට ඇතුළත් වූ උන්වහන්සේ ධර්මවිනය භාෂා ශාස්ත්‍රාදිය මැනවින් හදාළහ. ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ උත්තරීතර විභාගයන්ගෙන් ද ඉතා උසස් ලෙස සමත් වූහ.

වර්ෂ 1979 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධියත්, වර්ෂ 1986 දී ශාස්ත්‍රපති උපාධියත්, 1990 දී බෞද්ධ අධ්‍යයනය පිළිබඳ වූ උසස් ඩිප්ලෝමාවත්, 1992 දී දර්ශනපති උපාධියත්, පිළිවෙලින් ලබාගත් නන්ද නාහිමියෝ එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි ඩිප්ලෝමාවත්, තායිලන්තයේ මහාචූලාලංකාර රාජ්‍ය විශ්වවිද්‍යාලය, එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලය වැනි ඉහළම අධ්‍යාපන ආයතනයන් වෙතින් පශ්චාත් උපාධි හා ඩිප්ලෝමා හිමිකර ගත්හ.

එවකට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයානුබද්ධ ආයතන සතරෙන් එකක් වූ විද්‍යෝදය ආයතනාධිපති ලෙස වර්ෂ 1983 සිට 1994 දක්වා ක්‍රියාකළ නන්ද නාහිමි 1994 සිට 1996 දක්වා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ද, සිංහල ශබ්ද කෝෂයේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරයෙකු ලෙස ද පසුව එහි ප්‍රධාන කර්තෘ ධුරයටද පත්ව ඉතා දිගු කලක් අද්විතීය සේවාවන් රැසක් සිදු කළේය. මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ කෘත්‍යාධිකාරී ලෙස සිදුකරන සේවාවද බෙහෙවින්ම සම්භාවනාවට ලක්කළ යුත්තකි. මහනුවර මල්වතු මහා විහාරය මගින් කොළඹ නව තොටමුණ සහිත බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය උන්වහන්සේ වෙත පුද කළේ පූර්වෝක්ත සේවාව වෙනුවෙන් මහාවිහාරය දැක්වූ ඉහළම ඇගයීමක් ලෙසයි.

අකුරටියේ නන්ද නාහිමි ස්වයං ලිඛිත චරිතාපදානයක් ලෙස වර්ෂ 2016 දී මුද්‍රණද්වාරයෙන් පළකළ ‘මතක ඇති දා සිට ....’ ග්‍රන්ථය තුළින් උන්වහන්සේ පිළිබඳ අප නොදත් අසිරිමත් ජීවන තොරතුරු රැසක් දිග හැරෙයි. එම ග්‍රන්ථයට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරන දිවියාගහ යසස්සි නාහිමි සඳහන් කර සිටිනුයේ ගාලු දිසාවෙහි ගිංගඟ ඇසුරු කොටගෙන ඈත කාලයේ සිට බිහි වූ ශ්‍රේෂ්ඨතම ගිහි පැවිදි උතුමන්ගේ නාමාවලියෙහි එක් මුතු ඇටයක් වශයෙන් අකුරටියේ නන්ද නාහිමි හඳුන්වාදිය හැකි බවයි.

ස්වකීය විශ්වවිද්‍යාල ජීවිතය ගැන ‘මතක ඇතිදා සිට..’ ග්‍රන්ථයේ අකුරටියේ නන්ද නාහිමි දක්වන තොරතුරු වෙසෙසින් නූතන ගිහි පැවිදි සරසවි සිසුනට කදිම පූර්වාදර්ශයක් සපයයි.

‘විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තත් භික්ෂු ගෞරවය රැකගත යුතු යැයි බලවත් හැඟීමක් අප තුළ තිබුණි. එකට ඉගෙන ගන්නා විශ්වවිද්‍යාල සිසුන් සාමාන්‍යයෙන් පැවිදි සිසුන්ට වැඳ පුදා සමුගැනීමක් නැතත් අප කෙරෙහි මහත් ගෞරවයේ ගිහි පිරිස ආචාර කළහ.’

‘විශ්වවිද්‍යාල ජීවිතය තුළ මට නවකවදය නුදුන්නා සේම මා විසින් ද කිසිවකුට වචනයකින් හෝ එවැනි වදයක් නොකරන ලදී. එපමණක් නොව නවක හෝ ජ්‍යෙෂ්ඨ හෝ කිසිවෙක් අප ඉදිරියේ ද කිසිවකුට එවැන්නක් නොකළහ. වසර හතර පුරා අධ්‍යාපනය ලැබූ සිය ගණනක් භික්ෂු ශිෂ්‍යයෝ ඊට සාක්ෂි දරති.’

(මතක ඇති දා සිට 116 – 117 පිටු)

ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි පිළිබඳ නථිකාචාර්ය අරුණ කීර්ති ගමගේ මහතා ‘මතක ඇති දා සිට’ ග්‍රන්ථයෙහි අපූර්ව චිත්‍රයක් මවා ඇත. එහි එක් කුඩා කොටසකින් මෙම හැඳින්වීම අවසන් කිරීම යෝග්‍ය යැයි හඟිමි.

උජුගත මන වාචා කායධාරීතිහාරී
පවරදිරද ගාමී තේජවා
ධම්මකාමී
ජයතු ඉධ යතීසො
චාරුචාරාභිරාමො
අසඨ විදු ජනානං
නන්දනො නන්ද නාමො

සෘජු මනසින්, වච‍නයෙන් හා ශරීරයෙන්ද යුක්ත වන උන්වහන්සේ ප්‍රසන්න දැකුමෙන් යුක්ත වෙති. දහමට හිතැති, තේජෝ ගුණයෙන් යුත් උන්වහන්සේ ඇත් රජකුගේ ගමන් රටාවෙන් යුක්ත වෙති. මනරම් චර්යාවෙන් යුක්ත වන අවංක විද්වතුන්ගේ සොම්නසට හේතුවන අකුරටියේ නන්ද නම් මේ හිමිපාණෝ බොහෝ කල් සුදිලෙත්වා!

ඌරුගමුවේ අස්සජී හිමි

නව අදහස දක්වන්න