පිලිපීනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනයට අවශ්‍ය පියවර ගන්නවා | දිනමිණ

පිලිපීනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනයට අවශ්‍ය පියවර ගන්නවා

තම රාජ්‍ය සංචාරයත් සමඟ නව ප්‍රවේශයක් ලැබුණු පිලිපීන – ශ්‍රී ලංකා මිත්‍රත්වය තුළ පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු විසඳමින් ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

උසස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ ගැටලු, වීසා ලබාගැනීමේ දී මතුවන ගැටලු ආදි කරුණු මෙහි දී ඉදිරිපත් කෙරුණු අතර, එම සියලු ගැටලු පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනිය වෙත යොමු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා පිලිපීන රජය සමඟ සාකච්ඡා කර එම ගැටලු විසඳා ගැනීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව සඳහන් කළේය.

පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් (Rodrigo Duterte) මහතාගේ විශේෂ ආරාධනය පරිදි පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර හමුවක් පෙරේදා (17) පස්වරුවේ මැනිලා නුවර දී පැවැත්වුණු අතර, එහි දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

අද මේ සන්ධ්‍යාවේ දයාබර සිසුන් ඇතුළු ඔබ සියලුදෙනා හමුවීමට ලැබීම ගැන මගේ සතුට ප්‍රකාශ කරනවා. පිලිපීනයට මම මුලින්ම පැමිණියේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු අධ්‍යාපන චාරිකාවක් සඳහා 1996 වාරිමාර්ග නියෝජ්‍ය ඇමැතිවරයා වශයෙන් සිටින කාලයේදීයි. ඉන්පසුව කෘෂිකර්ම ඇමැතිවරයාව සිටිය දී 2007 සහ 2008 වසරවල අවස්ථා දෙකක දී පිලිපීනයට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා ලෙසත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකුට ලබා දුන් ප්‍රථම රාජ්‍ය නිල සංචාරය වීමත් නිසා මේ සංචාරය විශේෂයි.

අවුරුදු 24 කට පෙර පිලිපීනයට පැමිණි අවස්ථාවත් අද මේ දවස ගත් විටත් පිලිපීනයේ විශාල වෙනස්කම් රාශියක් මම දකිනවා. ආර්ථික සංවර්ධනයේ වේගය, භෞතික සම්පත් සංවර්ධනය අතින් වඩාත් ඉදිරියට ගිය රටක් විදියට දකිනවා.

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර බොහෝ සමානකම් තිබෙනවා. මේ රටවල් දෙකම කෘෂිකාර්මික පදනමකින් යුතු රටවල්. විවිධ ක්ෂේත්‍රවල තාක්ෂණික අංශවල කර්මාන්ත සහ කාර්මික ක්ෂේත්‍රයේ දියුණුව මේ දෙරටම ලබා ගෙන තිබෙනවා.

මා ඉතාමත් සතුටු වෙනවා පිලිපීනයේ සේවය කරන ඔබ ඒඩීබී ආයතනයේ වෘත්තීන්වල ඒ වගේම වෛද්‍ය, ඉංජිනේරු වෘත්තීන්හි මෙන්ම ව්‍යාපාරික අංශවල සහ විවිධ ක්ෂේත්‍රවල සේවය කිරීම පිළිබඳව. ඒ වගේම අධ්‍යාපනය ලබන සිසුන් සිටිනවා. මම මුලින්ම ශ්‍රී ලංකිකයන් වන ඔබ සෑම කෙනෙකුට ම ගෞරවනීය ආශිර්වාදය සහ සුබ පැතුම් පුද කරනවා.

වසර 20 ක පමණ එහා කාල සිමාව තුළ පිලිපීනය සහ ශ්‍රී ලංකාව අතර තිබූ මුල් තනාපති සබඳතා බිඳ වැටීමක් දකින්නට ලැබුණා. මේ වන විට නැවතත් පිලිපීනය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් වී තිබෙනවා. පිලිපීනයේ ජනාධිපති මගෙන් කළ ඉල්ලීම තමයි ශ්‍රී ලංකාවේ පිලිපීන තානාපති කාර්යාලයක් විවෘත කිරීම පිළිබඳව. මම එතුමාට ඊයේ දැනුම් දුන්නා මාසයක් ඇතුළත කොළඹ ඒ සඳහා ඉඩමක් වෙන් කර ශ්‍රී ලංකාවේ පිලිපීන තානාපති කාර්යාලයක් විවෘත කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන බව. පිලිපීනයේ සිටින ඔබට විවිධ ක්ෂේත්‍රවල දීර්ඝකාලීන අත්දැකීම් තිබෙන බව මම දන්නවා. වසර 25 ක 30 ක 40 කටත් එහා සිටම පිලිපීනයට පැමිණි ශ්‍රී ලාංකිකයන් සිටිනවා.

මැනිලා නගරයේ පමණක් නොවෙයි පිලිපීන රටේ ඉතාමත්ම ඈත ප්‍රදේශවල ඉඳලා මේ සාකච්ඡාවට පැමිණි පිරිස් සිටින බව මට දැනගන්නට ලැබුණා. ඒ නිසා මම මගේ ගෞරවනීය ස්තූතිය ඔබ සියලු දෙනාටම පිරිනමනවා. මම තානාපතිනියට දෙන ලද උපදෙස් අනුව එතුමියගේ ආරාධනයෙන් මේ සාකච්ජාවට පැමිණීම පිළිබඳව මම නැවත නැවතත් ස්තූතිවන්ත වෙනවා.

මම මීට පෙර පිලිපීනයට පැමිණි අවස්ථාවල දී මින්දනාවෝ දූපත්හි වගා කර තිබූ කෙසෙල් වගාව බලන්නටත් කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට සිටිය දී ගියා. ඒ වගේම මීට පෙර පැමිණි අවස්ථා තුනේදීම ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයටත් මම පැමිණ තිබෙනවා. හෙට මම ඒ ආයතනයට යන්නේ සිවුවැනි වතාවටයි.

අද උදෑසන ඊඩීබී ආයතනයේ දී ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතරේ නව ගිවිසුම් අත්සන් කරන්න අපට පුළුවන් වුණා. ඒ වගේම පිලිපීනය සහ ශ්‍රී ලංකාව අතරේ ඉතාම වැදගත් වන ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමක් කරන සංචාරක, ආරක්ෂක, වෙළෙඳ, අධ්‍යාපන, සංස්කෘතික ක්ෂේත්‍ර ගණනාවකට අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කළා. ඒ අනුව අපි ඉදිරියට ඒ අවබෝධතා ගිවිසුම්වල ඇති කරගත් එකඟතාවන් මත ඒ විෂය ක්‍ෂේත්‍රවල බලාපොරොත්තු වන අරමුණු සහ පරමාර්ථ ඉෂ්ට කර ගැනීමට ශ්‍රී ලංකා රජය ඉහළම කැපවීමෙන් සහ බැඳීමෙන් කටයුතු කරන බව සඳහන් කළ යුතුයි.

පිලිපීනයේ සිටින ඔබ විවිධ අත්දැකීම් සමඟ ඉතාම සතුටින් සේවා කරන අය ඉන්න පුළුවන්. ඒ වගේම නොයෙකුත් බාධා සහ ගැටලු සමඟ විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපනය ලබන සිසුන්ටත් යම් යම් ගැටලු ප්‍රශ්න තිබෙන්නට පුළුවන්. ඒ වගේම කිසිදු කරදරයක් නැතිව කටයුතු කරන පිරිස් ඉන්න පුළුවන්. කෙසේ වෙතත් මේ සාකච්ජාවේ දී ඔබට ලබා දුන් අවස්ථාව අනුව ඔබේ ගැටලු සහ ප්‍රශ්න ඉදිරිපත් කිරීම ගැන ඒ සියලුදෙනාටම මම මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා.

ඉදිරිපත් කළ කරුණු අතරේ ඉතාමත් වැදගත් කාරණාවක් තමයි වීසා පිළිබඳ ප්‍රශ්නය. අධ්‍යාපනය ලබන සිසුන්ගේ පැත්තෙන් ඉදිරිපත් කළ කාරණා. ඒ වගේම මේ දෙරටේ ඉන්නා අයට වීසා ලබාගැනීම පිළිබඳව පවතින ගැටලු. ඒ පිළිබඳව තිබෙන කාලසීමා පිළිබඳවත් කරුණු ඉදිරිපත් කළා. මේ කාරණා පිළිබඳව මම කලින් දැනුවත් වෙලා සිටියේ නැහැ. ඔබ ඒ ඉදිරිපත් කළ ගැටලු පිළිබඳ සියලු කරුණු එකතු කර ගන්න කියලා තානාපතිනියට මම උපදෙස් දෙනවා. ඔබට තිබෙන ගැටලු තානාපතිනියට දන්වන්න. සමහර ගැටලු ලිඛිතව දන්වන්න පුළුවන් වෙයි. මැනිලාවල ඉන්න අයට නම් තානාපති කාර්යාලයට ගිහින් දැනුම් දෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ සංචාරයේ දී පිලිපීන රජය සහ ශ්‍රී ලංකා රජය අතරේ ඇති වුණ අලුත් මිත්‍රශිලීභාවය සහ සම්බන්ධතාව නිසා ඔබේ ඉල්ලීම්වලට අවශ්‍ය සහන ලබා දෙන්න, ඒ කරන ඉල්ලීම් ඉටු කිරීම සඳහා මට කළ හැකි සෑම උදව්වක්, උපකාරයක්ම ඔබ වෙනුවෙන් ඉටු කරන බව මා මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඒක අපේ වගකීමක්. අපේ යුතුකමක්.

ශ්‍රී ලාංකිකයන් ලෝකයේ කොහේ හෝ රටක වෘත්තිකයන්, විද්වතුන් විදියට වගේම විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපාරිකයන් විදියටත් අධ්‍යාපනය ආදි ඒ ඕනෑම අංශයක සිටිනවා නම් ඒක සතුටට කරුණක්. ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය සාර්ථක කර ගැනීමට ඔවුන්ගේ දැනුම අවබෝධය පරිණතභාවය සහ අත්දැකීම් සමඟ අනාගත බලාපොරොත්තු ඇතිව ඒ සෑම කෙනෙක්ම කරන කටයුතු පිළිබඳව අපි සතුටු වෙනවා. ඒ වගේම රජයක් විදියට ඔවුන්ගේ ප්‍රශ්නවලට අපි ඇහුම්කන් දෙන්න ඕනෑ. ඒ ප්‍රශ්න සහ ගැටලුවලට අපි විසඳුම් දෙන්න ඕනෑ. ඒවා නිරාකරණය කර ගන්න ඕනෑ. ඒක රජයක ප්‍රධාන වගකීම. ඒ නිසා පිලිපීන රජය සමඟ නව ප්‍රවේශයකින් ඔබ ඉදිරිපත් කළ ප්‍රශ්න විසඳන්න කටයුතු කරන බව කියන්න ඕනෑ. ඊයේ එන්න කලින් මේ කාරණා දැනගෙන තිබුණා නම් ජනාධිපතිතුමත් ඇමැතිතුමනුලත් පිලිපීනයේ ඊයේ කළ සාකච්ඡාවලදී මේ කාරණා මට ඉදිරිපත් කරන්න තිබුණා. එහෙම නැතිනම් ඊයේ රාත්‍රී නිල රාත්‍රී කෑම මේසයේදී මේ ගැන කතා කරන්න තිබුණා. මම මේ සම්බන්ධව දැනුවත් වී සිටියේ නැහැ. ඒ ගැන මම කනගාටු වෙනවා. කෙසේ වෙතත් පෙර තිබූ තත්ත්වයට වඩා මේ සංචාරයෙන් පසුව පිලිපීනය සහ ශ්‍රී ලංකාව අතරේ මිත්‍රශිලී භාවය සහ හිතවත්කම වැඩි වෙලා තිබෙනවා. ශක්තිමත් වී තිබෙනවා.

පිලිපීන ජනාධිපතිතුමා සහ රජය ගෙන යන කටයුතු අපි ඉතාමත් අගය කරනවා. රටේ ආර්ථික සංවර්ධනය, භෞතික සම්පත් සංවර්ධනය, තාක්ෂණික අංශ, අධ්‍යාපනය, සංචාරක සේවා, සෞඛ්‍ය මේ සියලු අංශ සම්බන්ධයෙන් පිලිපීන රජය ගෙනයන සාර්ථක වැඩසටහන් අපි අගය කරනවා. ඒ වගේම පිලිපීනය සහ ශ්‍රී ලංකාව දෙරටම මුහුණ දී තිබෙන විෂ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් අප දෙරටට වගේම ලෝකයේ සෑම රටකටම ඒ අභියෝගය තිබෙනවා. පිලිපීන ජනාධිපති ගෙනියන වැඩපිළිවෙළ අප ඉතාමත් අගය කරනවා. අපේ රට ශ්‍රී ලංකාවටත් මත්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්නය අද ඉතාම බරපතළ ප්‍රශ්නයක්. මේ මත්ද්‍රව්‍ය මාෆියාව අද ලෝකයේ බොහෝ රටවලට විශාල තර්ජනයක් වී තිබෙනවා. මත්ද්‍රව්‍ය, පාතාලය, අපරාධකරුවන් මේ සියලු දේ එකට සම්බන්ධවී තමයි ලෝකේ යන්නේ. ඒවා වෙනම ආණ්ඩු වගේ. ඒ නිසා ඒ තත්ත්වයන් මර්දනය කරන්න පාලනය කරන්න යම් කිසි රටක් රජයක් පියවර ගන්නවා නම් අපි ඊට සම්පූර්ණ සහයෝගය දෙනවා.

ඒ වගේම අපේ රටෙත් මත්ද්‍රව්‍ය මර්දනය සහ පාලනයට පසුගිය අවුරුදු තුනේ අපි විශේෂ වැඩසටහන් රාශියක් ජාතික වශයෙන් ආරම්භ කළා. පොලීසිය පමණක් නොවෙයි ත්‍රිවිධ හමුදාවත් මත්ද්‍රව්‍ය මර්දනයට යොදවලා තිබෙනවා. අපි 2019 වර්ෂය විදියට අලුත් වැඩපිළිවෙළක් ආරම්භ කරනවා මේ මාසේ අවසාන සතියේ ඉඳලා. ජනවාරි 21 සිට 28 දක්වා මත්ද්‍රව්‍ය මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. දෛනිකව වාර්ෂිකව ගෙනියන වැඩසටහන්වලට අමතරව. ඒ නිසා මේ සියලු කටයුතුවලදි ඉතාම අවබෝධයෙන් සහ උනන්දුවෙන් අපි කටයුතු කරන්නේ.

මෙතන අපේ විදේශ ඇමැතිතුමත් ඉන්නවා. විදේශ කටයුතු අමාත්‍යාංශය හරහාත් අනිකුත් අමාත්‍යාංශ හරහාත් විශේෂයෙන්ම තානාපතිනිය සමඟ මේ කරුණු පිළිබඳව ඉදිරියේ දී සාකච්ඡා කරමින් ඔබට ඒ සම්බන්ධයෙන් ලබා දිය හැකි උපරිම සේවය ලබා දෙනවයි කියලා කියන්න ඕනෑ.

ශ්‍රී ලාංකිකයන් වන ඔබ වාසනාවන්ත පිරිසක් විදියටයි මම දකින්නේ. මෙවැනි සංවර්ධනය වන රටක ජීවත්වන ඔබ විවිධ සේවාවන්වල, අන්තර්ජාතික සංවිධාන තුළ කටයුතු කරමින්, අධ්‍යාපනය ලබමින් ශ්‍රී ලංකාවට ගෙන එන්නේ කීර්තියක්. ඔබේ පෞද්ගලික ජීවිතය සාර්ථක කර ගන්න ඔබ එක් පැත්තකින් කරන සටන තවත් පැත්තකින් ඔබේ දැනුම ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදෙමින් කරන සේවාව අනෙක් පැත්තෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ සහ ව්‍යාපාරික අංශවලින් ඔබ ඉදිරියට ඒමට ගන්නා වූ උත්සාහය අපි ඉතාමත් අගය කරනවා. අද දවසේ ඔබ හමුවීම ගැන මා නැවතත් අපේ පැමිණි මැති ඇමැතිවරු වෙනුවෙන් සතුට ප්‍රකාශ කරනවා. සියලු දෙනාටම නැවතත් සුබපතමින්, මේ සුහද හමුව සංවිධාන කිරීම පිළිබඳව තානාපතිනිය ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වෙනවායිද කීය.

නව අදහස දක්වන්න