චීන බසින් ලියූ අගමැතිගේ චරිතාපදානය අගමැතිට පිළිගන්වයි | දිනමිණ

චීන බසින් ලියූ අගමැතිගේ චරිතාපදානය අගමැතිට පිළිගන්වයි

චීන බසින් පළකෙරුණු ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රසිංහ මහතාගේ චරිතාපදානය ඒ මහතා වෙත පිරිනැමීම අරලියගහ මන්දිරයේ දී ඊයේ (18) සිදුකෙරිණි. ප්‍රවීණ මාධ්‍යවේදී සම්පත් බණ්ඩාර මහතා විසින් රචනා කරන ලදුව මහාචාර්ය වං යූ මහත්මිය හා මහාචාර්ය යින් ජින්ශන් විසින් චීන බසට පරිවර්තනය කෙරුණු වික්‍රමසිංහ චරිතාපදානය ප්‍රකාශයට පත්කරන ලද්දේ චීනයේ පොත් ප්‍රකාශන සහ ප්‍රවර්ධන ආයතනය, බෙයිජිං හි යැන්ශි මුද්‍රණාලය හා ශ්‍රී ලංකාවේ සරසවි ප්‍රකාශකයන් විසිනි.

ශ්‍රී ලාංකේය රාජ්‍ය නායකයෙකු පිළිබඳව සවිස්තරාත්මක චරිතාපදානයක් චීන පාඨකයන් වෙත පිරිනැමෙන මුල්ම අවස්ථාව ද මෙය වෙයි. චීන පොත් ප්‍රකාශන සහ ප්‍රවර්ධන ආයතනය විසින් චීනය පුරා සිය පොත් අලෙවිහල් හා පුස්තකාල මගින් මේ කෘතිය ජනතාව අතරට යොමු කෙරෙන බව එම ආයතනයේ නියෝජ්‍ය සභාපතිනි ෂ අයිවෙයි මහත්මිය පැවසුවාය.

චීන පොත් ප්‍රකාශන සහ ප්‍රවර්ධන ආයතනය හා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය එක්ව ශ්‍රී ලංකා - චීන විශ්ව කෝෂයක් සැකසීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මේ වනවිටත් චීන පොත් ප්‍රකාශන සහ ප්‍රවර්ධන ආයතනය ඉන්දියාව සමඟ එක්වී ඉන්දු – චීන විශ්වකෝෂය සකස් කර ඇත.

ශ්‍රී ලංකා - චීන විශ්ව කෝෂය පිළිබඳ ශ්‍රී ලංකා සහ චීන විද්වතුන් හා වෘත්තිකයන් අතර සාකච්ඡා හෙට සහ අනිද්දා සංවිධාන කර ඇති බව සරසවි ප්‍රකාශන අධිපති එච්. ඩී. ප්‍රේමසිරි මහතා ප්‍රකාශ කළේය.

ආචාර්ය චෙන් යිං, මහාචාර්ය ටොං ජියාමෙන්, මහාචාර්ය ගොං ලි, මහාචාර්ය ෂුයෙ කෙජියාඕ, මහාචාර්ය ලියු ජියැන්, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශක සංගමයේ සභාපති විජිත යාපා, සරසවි ප්‍රකාශන අධිපති එච් ඩී ප්‍රේමසිරි, සම්පත් බණ්ඩාර, සරසවි ප්‍රකාශන කළමනාකාර ශ්‍රීපාලි පෙරේරා සහ පොත් ප්‍රකාශන සංගමයේ දිනේශ් කුලතුංග සහ අගමැති අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගි වූහ.


නව අදහස දක්වන්න