අධ්‍යාපනයට බි.635ක් සෞඛ්‍යයට බි. 690ක් | දිනමිණ

අධ්‍යාපනයට බි.635ක් සෞඛ්‍යයට බි. 690ක්

2015 සිට 2019 දක්වා අධ්‍යාපන ‍ක්ෂේත්‍රයට රුපියල් බිලියන 635ක් ද සෞඛ්‍ය ක්ෂේත්‍රයට බිලියන 690ක් ද ආණ්ඩුව විසින් වියදම් කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

එම මුදල් වෙන් කළේ පළාත් අධ්‍යාපන සහ පළාත් සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කළ මුදල්වලට අමතරව බව පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට බිලියන 635ක් ද සෞඛ්‍යය වෙනුවෙන් බිලියන 690ක් වියදම් කර ඇති බවත් අවධාරණය කළේය. ඒ අනුව අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර වෙනුවෙන් ගත වූ වසර හතර තුළ බිලියන 1300ක් වෙන් කර ඇතැයි කී අගමැතිවරයා මෙතෙක් පැවැති කිසිදු රජයක් එවැනි මුදලක් එම ක්ෂේත්‍රයන් වෙනුවෙන් වෙන් කර නොතිබූ බව අවධාරණය කළේය.

‘අවුරුදු 4ක් අපි බෙර ගැහුවේ නැහැ. කෑගැසුවේ නැහැ. ඒත් ඉවසීමෙන් වැඩේ කළා. ණය පාලනය කරලා අධ්‍යාපන මුදල් ලබලා දුන්නා. ඒකෙන් ඉදිරියට යන්න පුළුවන් වුණා. අද මෙතන සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලු දෙනාම ගිය අවුරුදු කීපයේ දී අපි අධ්‍යාපනයට වියදම් කරපු නිසා ඒකෙනුත් වාසි අරගෙන මෙහාට ආව අය’ යැයි ද අගමැතිවරයා කීය.

අප ගෙන යන වැඩසටහන් නිසා හම්බන්තොට විශාල ආර්ථික කලාපයක් බවට පත් කිරීමට අපට ශක්තියක් ලැබී තිබෙනවා. කර්මාන්ත ශාලා 100ක්, අලුත් ව්‍යාපාර ගණනාවක් ඇති වෙනවා. එදා සුදු අලියෙක් ලෙස නම් කෙරුණු හම්බන්තොට දියුණු කරන්න අපට පුළුවන් වී තිබෙනවා. මොරටුව කොළඹට යොමු වුණා වගේ සබරගමුව, රුහුණ, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය හම්බන්තොට අනාගත දියුණුවත් බලලා ඊළඟ වසර පහේ දී දහයේ දී තමන්ගේ වැඩ කටයුතු කළ යුතුයි. මේ විශ්වවිද්‍යාලයට වුවමනා නම් අපේ උසස් අධ්‍යාපන ඇමැතිවරයාත්, දකුණ සංවර්ධන ඇමැතිවරයාත් සම්බන්ධ කරගෙන, චයිනා හාබර් මර්චන්ට් සමාගම සමඟත් සාකච්ඡා කර, අනාගතයේ ඒ සමාගම්වල හා කර්මාන්ත ආයතනවල අවශ්‍යතාවන්ට සරිලන පාඨමාලා සහිත උසස් අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කර ගන්න පුළුවන්. යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

අගමැතිවරයා මේ බව පැවැසුවේ සබරගමුව විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය විවෘත කිරීම සහ රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයන්ට සහභාගි වෙමිනි.

දැන් ඉංග්‍රීසි භාෂාවෙන් එහෙම වැඩකටයුතු කරගෙන යනවා. අපිට අනාගතයේ අපනයනය වැඩි කිරීම, කර්මාන්ත අගය වැඩි කිරීමේ සේවා, තොරතුරු තාක්‍ෂණ සේවා ලබාගැනීමට නම් සෞඛ්‍යයටත් අධ්‍යාපනයටත් අපි මූලික ප්‍රමුඛත්වය දිය යුතුයි. පළමුවෙන්ම නිරෝගී මනසක් අවශ්‍යයි. අපි මෙතරම් මුදල් වියදම් කරලා, දැනුම වැඩි කරලා, අවුරුදු 50ක් ජීවත් වෙනවා නම් ඇත්ත වශයෙන්ම එතනින් ප්‍රයෝජනයක් නැහැ. අවුරුදු 60ක් 70ක් 80ක් ජීවත් වෙන්න පුළුවන් විදියට ජනතාව නිරෝගී විය යුතුයි. මොකද අපේ ජනගහනය වැඩි වෙන්නේ නැහැ.

අපේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. යුද්දෙ අන්තිම කාලේ මුදල් වැය වුණේ යුද්දෙට. යුද්දෙන් පස්සෙ මුදල් යෙදෙවුවේ යටිතල පහසුකම්වලට. සමහර ඒවා අපතේ ගියා. සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයක් තියෙනවා මම දන්නේ නැහැ මොනවද කෙරෙන්නේ කියලා. ක්‍රිකට් පීඨයක් ඇති කළොත් භාවිතයට එය ගැනීමට පුළුවන්. සම්මන්ත්‍රණ ශාලාවක් හම්බන්තොට තියෙනවා. මේවා මඟුල් ගෙවල්වලටත් අරගන්නේ නැහැ. මත්තල තියෙනවා ගුවන් තොටුපළක්. අපි දැන් ඉන්දියන් සමාගම සමඟ සාකච්ඡා කර අලාභෙ අඩු කර ගන්න කටයුතු කරනවා.

හම්බන්තොට වරායේ විශාල අලාභයක් තිබුණා. අපි කොහොම හරි ඒ අලාභෙ නැති කරගෙන දැන් චයිනා මර්චන්ට් සමාගම එක්ක චයිනා හාබර් සමාගම එක්ක විශාල වැඩකොටසක් කරගෙන යනවා.

ශ්‍රී ලංකා ගුවන් සේවයට සුදුසු නැති ගුවන් යානා අරගෙන තියෙනවා. අමෙරිකාවට යන්න පුළුවන් ගුවන් යානය අරගෙන අපි වැඩියෙන්ම යන්නේ ලන්ඩන් නුවරට. ඉතිරි තෙල්වලින් මොනවද කරන්නේ? අපි විශාල ලෙස මුදල් වියදම් කරලා තියෙනවා අකුරුගොඩ ආරක්‍ෂා මධ්‍යස්ථානයක් දාන්න. තාමත් කරගෙන යනවා. ඔය මුදල් ටික දැම්මා නම් සෞඛ්‍යයට, අධ්‍යාපනයට එහෙමනම් එදා විශාල වෙනසක් තියෙනවා. ඒත් ඒක සිදු කළේ නැහැ. අපි එදා ඉදන් කිවුවා අධ්‍යාපනයට, සෞඛ්‍යයට මුදල් වැඩි කරන්න කියලා. ඒ නිසා 2015 සිට 2019 දක්වා මේ අවුරුදු හතරේ අධ්‍යාපන ‍ක්ෂේත්‍රයට විතරක් අධ්‍යාපන අමාත්‍යාංශයට, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අපි බිලියන 635ක් වියදම් කරලා තියෙනවා. ඒ පළාත් අධ්‍යාපනයට වියදම් කළ මුදලට අමතරවයි. ඒ අවුරුදු කිහිපයේ දී සෞඛ්‍යය වෙනුවෙන් බිලියන 690ක් වියදම් කරලා තියෙනවා. ඒ මුදලත් පළාත් සෞඛ්‍ය සේවයට වියදම් කළ මුදලට අමතරවයි. එසේ නම් අපි බිලියන 1300ක් අවුරුදු 4 කින් වියදම් කරලා තියෙනවා.

අලුත් ගොඩනැඟිලි 800ක් විවෘත කිරීමට තිබෙන බව මට අධ්‍යාපන ඇමැතිවරයා පැවැසුවා අපි විවෘත කරපු ඒවා දිහා බලන්න. මෙතන මෙතුමා කරපු වැඩ කිවුවා අනිත් පැත්තෙන් බලන්න ශිෂ්‍යයන්ට අපි රක්‍ෂණය දුන්නා. ඒ සංඛ්‍යාව වැඩි කරලා තියෙනවා.

මෙතෙක් කල් විදුහල්පතිවරු පත් කළේ විභාගයෙන් නෙවෙයි. දැන් විදුහල්පතිවරු පත් කරන්නේ විභාගයෙන්. ඒක හොඳ වැඩකටයුත්තක්. අපිට තව දැන් මුදල් වැඩිපුර වියදම් කරන්න තියෙනවා. අපිට ඉංජිනේරු පීඨ පටන් ගන්න එක ප්‍රශ්නයක් තිබෙනවා. එනම් ආචාර්ය මණ්ඩලය නැති කමයි. අපිට ඉංජිනේරු අංශයත් තාක්‍ෂණ අංශයත් තව වැඩි දියුණු කරන්න තිබෙනවා. අපි වෛද්‍ය විද්‍යා අංශ එකතු කරගෙන යනවා. ඇත්තටම කොහොමද අපි මේ කණ්ඩායම් ආචාර්ය මණ්ඩලය සකස් කරන්නේ කියන එක විශාල ප්‍රශ්නයක්.

දෙවනුව තමයි අපි බිලියන 635ක් වියදම් කළාට වෘත්තීය අමාත්‍යාංශය ඉතා සුළු ගණනක් වියදම් කරලා තියෙනවා. ඒක මදි. රැකියාවලට යැවීමට නම් අපි ඒ අංශයට තව වැඩි කරන්න තියෙනවා. විශේෂයෙන්ම වෘත්තීය අංශයට අපි ඒ සංඛ්‍යාව වැඩි කළ යුතුව තිබෙනවා. අපේ පාසල් තුළ විද්‍යා ගුරුවරු වුවමනායි. මම ඇමැතිවරයා සමඟ සාකච්ඡා කළේ ඊළඟ අවුරුදු තුන හතරට වුවමනා ගුරුවරු දැන් බඳවා ගෙන පසුව විද්‍යා උපාධියකුත් ලබාගන්න අපි අවස්ථාව ලබලා දෙමුද කියලා. ඒක විශ්වවිද්‍යාලයෙන්ම සිදුවෙන්නේ නැත්නම් අපිට හරි ඒ වැඩකටයුත්ත කරන්න සිදුවෙනවා.

දැන් අපි ක්‍රියා කරන්නේ අවුරුදු 13ක් අධ්‍යාපනය අනිවාර්ය කරන්නයි. අලුත් මඟකට යන්නයි. අධ්‍යාපන ක්‍රමයත් සෞඛ්‍ය ක්‍රමයත් ආර්ථික සංවර්ධනයත් එකට එකතු කර ගන්න ඕනේ. මොකද්ද සමාජවාදය කියන්නේ. සමාජවාදය මගින් තමන්ට තමන්ගෙ ස්වශක්තියෙන් නැඟලා එන්න අවස්ථාව තියෙන්න ඕන. එසේ නම් නිරෝගිභාවයයි අධ්‍යාපනයයි තියෙනවා නම් ඔය සටනෙන් 60% ක් 70% ක් ඉවරයි. අපි සෑම කෙනාම එක සමානව සලකනවා නම් ආගම ජාතිය බලන්නේ නැත්නම් එවිට තවත් කොටසක් ඉවරයි.

අපේ මේ වියදම් කරලා තියෙන ප්‍රමාණය වෙනත් කිසිම ආණ්ඩුවක් වියදම් කරලා නැහැ. අනික් අය කතා කරනවා. කප්පාදුව කියනවා. මේකද කප්පාදුව කියන්නේ. මේක කොහොමද කළේ? හුඟක් අය හිතුවා මේක කරන්න බැහැ කියලා. අපිට විශාල ණයක් ගෙවන්න තිබුණා. අපි ගෙවන ණය මීට වඩා වැඩියි. ඒ ණය ගෙවුවායින් පසුව මොනවද කරන්න පුළුවන් කියලා ඇහුවා. ඔන්න මේ ණයත් ගෙවලා අපිට පුළුවන් වෙලා තියෙනවා අධ්‍යාපනයයි සෞඛ්‍යයි දියුණු කරන්න.

ගම්පෙරළිය වාගේ වැඩසටහන් ආරම්භ කළා. ඒ නිසා අපිට දැන් තියෙන්නේ මේක ඉදිරියට ගෙනියන්න. අවුරුදු 4ක් බෙර ගැහුවේ නැහැ. කෑගැසුවේ නැහැ. ඒත් ඉවසීමෙන් වැඩේ කළා. ණය පාලනය කරලා අධ්‍යාපන මුදල් ලබලා දුන්නා. ඒකෙන් ඉදිරියට යන්න පුළුවන් වුණා. අද මෙතන සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලු දෙනාම ගිය අවුරුදු කීපයේ දී අපි අධ්‍යාපනයට වියදම් කරපු නිසා ඒකෙනුත් වාසි අරගෙන මෙහාට ආව අය. දැන් තමන්ගේ නංගිලා මල්ලිලාට ඒ වාසිය ලැබෙනවා. ඉදිරියට යන්න තියෙනවා. අන්න ඒ වැඩ කටයුත්ත අපට කරන්න තියෙනවා.

නව අදහස දක්වන්න