පෝදා ධර්මානුශාසනාව | දිනමිණ

පෝදා ධර්මානුශාසනාව

දෙනගම පඤ්ඤාලෝක හිමි 
ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරය,
ඇතිණිමළාර, දෙනගම හක්මණ

“නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස’‘
අනික්ක සාවො කාසාවං
යො වත්‍ථං පරිදහෙස්සති
අපෙතො දමසචෙචන
න සො කාසාව’ මරහති

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි,

අද ධර්මදේශනාවට මාතෘකාව වශයෙන් යොදාගන්නේ ධම්මපදයේ යමක වග්ගයේ නව වන ගාථාවයි. තුන්ලොවක් සනසා තථාගත අමාමෑණී වූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයෙන් බිඳක් ඒ ඔස්සේ පැහැදිලි කිරීමට අදහස් කරමි. ඊට පෙරින් පෝදා වැදගත්කම පිළිබඳ කරුණු කිව යුතුය. උතුම් බුදුපදවිය ලබාගෙන පළමු වරට මාස නවයක් ගත වූ තැන ලංකාවට වැඩම කළේ අද වැනි දිනකය. යක්‍ෂ හා නාග ගෝත්‍රිකයන් අතර පැවැති අරගලය සන්සිඳවීම කළේ ද අද වැනි දිනකය. සුමන සමන් දෙවිඳුට කේශ ධාතු පිළිගැන්වීම සහ එය රන් කරඬුවකට පිළිගෙන නිදන්කොට සත්රියන් මහියඞගණ චෛත්‍යය ගොඩ නැගුයේද අද වැනි දිනකය. දුරුතු පුරපසළොස්වක පොහොය එනිසා සැදැහැති බෞද්ධ ජනතාවට ඉතා වැදගත් ය.

අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිසට සසර දුකින් මිදීම සඳහා දේශනා කළ උතුම් ධර්ම මාර්ගය අනුගමනය කිරීම සිහි බුද්ධියෙන් කළ යුතුව පවතී. එයම නිවනට මග වන බව පැවසිය යුතුයි. භික්‍ෂුව මේ සිවු පිරිසෙන් ප්‍රධානය. නිවනට මග වන්නේ අත්හැරීම පුරුදු කිරීමයි. නොවේනම් දන් දීමයි. එය නිවැරදි ක්‍රම අනුගමනය කරමින් කළ යුතුයි. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූල යටපත් කරගෙන අලෝභ, අදෝෂ, අමෝහ කුසල මූල ඉදිරියට ගෙන කළ යුතුයි. බුදුහු ධරමාන සමයේ රජගහ නුවර වැසි සැදැහැවත් පිරිසක් සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන දහසක් මහ සඟනට දන් පිළිගැන්වූහ. දන් වළඳා අවසානයේ අනුශාසනාව දේශනා කළේ ද සැරියුත් මහරහතන් වහන්සේ විසිනි. දන් දෙන පින්වතුන් එය කළ යුතු ආකාරය මැනවින් පැහැදිලි කරන්නට යෙදුනි. භව භෝග සැප සම්පත් පරිවාර සම්පත් සියල්ල සසර පුරා ලැබීමට එය ඉවහල් වේ.

1. දන් දෙන විට අන් අය සම්බන්ධ කර නොගෙන දන්දේද ඔවුහු උපනූපන් සෑම භවයකම භෝග සම්පත් පමණක් ලබයි. පරිවාර සැප නොලබයි.

2. යම් කෙනෙක් අනුන් ලවා දන් දෙවයි ද තමන් නොදෙයි ද ඔවුහු උපනූපන් තැන පරිවාර සැප ලබයි. භෝග සැප නොලබයි.

3. යම්කෙනෙක් තමනුත් දන් නොදී අන් අය ලවා දන් දීම නොකර වන්නේ ද ඔවුහු උපනූපන් සෑම භවයකම පරිවාර සැප සහ භෝග සැප දෙකම නොලබයි.

4. යම් කෙනෙක් තමනුත් දන් දේද, අන් අය ලවාත් දන් දෙවයි ද ඔවුහු උපනූපන් සෑම භවයකම භෝග සම්පත් සේම පරිවාර සම්පත් ලබන බව දේශනා කළහ.

දානයට අමතරව වටිනා පුද පිරිකර ද ඒ දාන ශාලාවේ විය. ඉසුරුමත් පුද්ගලයෙක් දහස් ගාණක් වටිනා කසාවතක් සිවුරක් කොට පූජා කරන්නට යෙදුණි. ඒ සිවුර පිරිසකගේ අදහස වූයේ දෙව්දත් තෙරට පිදිය යුතු බවයි. තවත් පිරිසකගේ අදහස වූයේ සැරියුත් තෙරට පූජා කළ යුතු බවයි. පිරිස අතර භේද භින්නතා නොසන්සුන් ගති පහළ විය. දෙව්දත් තෙර පාර්ශවය ජය ගති. සිවුරු පූජා කිරීම ද සිදු විය. පැන නැගුණ ගැටලුව බුදුහු හමුවට ද පත් විය. එහිදී උන්වහන්සේ දේශනා කළේ මේ භවයේ පමණක් නොව මුළු සසරම මෙවැනි දේ කර ඇති බවයි. කෙලෙස් කසට දුරු නොකළ ඉඳුරන් දමනය නොකළ සත්‍ය වචන කතා නොකරන තැනැත්තා සිවුරු දැරීමට නුසුදුසු බව තවදුරටත් දේශනා කළහ. කෙලෙස් කසට පහකළ මනා සිල් ඇති ඉඳුරන් දමනය කළ තැනැත්තා කසාවත දැරීමට සුදුසු බවට වදාළ සේක.

සැමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා.


නව අදහස දක්වන්න