වැදගත්ම පාසල් සතියක්! | දිනමිණ

වැදගත්ම පාසල් සතියක්!

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් බලවත් උන්දුවක් රට තුළ පවතී. මෙය ආරම්භ වූයේ රටේ නායකයා මත්ද්‍රව්‍ය නිවාරණයට මැදිහත්වීම සමඟ යැයි කියන්නට පුළුවන. අද වන විට මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ වැඩි ම උනන්දුවක් දක්වන දකුණු ආසියාතික රාජ්‍යය ශ්‍රී ලංකාව යැයි කියන්නට පුළුවන. මේ තත්ත්වය ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජගත් සංවිධානවල ද අවධානයට ලක් වී ඇත. මත්ද්‍රව්‍ය හා දුම්කොළ භාවිතයට අදාළ රෝග නිසා, ශ්‍රී ලංකාව තුළ වසරකට හැත්තෑදහසකට ආසන්න පිරිසක් මිය යන බව හෙළිදරව් වී ඇත. රටේ පාසල් දරුවන් ශීඝ්‍රයෙන් මතට ඇබ්බැහි වීම, මේ අර්බුදයේ වඩාත් බරපතළ තත්ත්වය සේ සැලකිය හැකි ය.

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළක්වා ගැනීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වී ඇත. එහෙත්, මෙතෙක් ක්‍රියාත්මක වූ වැඩසටහන්වල ප්‍රතිඵලය ගැන සතුටු විය නොහැකි ය. මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය, ඉහත තත්ත්ව සැලැකිල්ලට ගෙන, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියක් ක්‍රියාත්මක කරයි. එය දිවයින පුරා පාසල් කේන්ද්‍ර කර ගනිමින්, අද සිට ලබන විසිපස් වන දා තෙක් පැවැත්වෙයි. වැඩසටහන සඳහා පාසල් දරුවන්, මාපියන්, මාධ්‍යකරුවන් ඇතුළු තවත් මානව කණ්ඩායම් සහභාගී කරවා ගැනීමට නියමිත ය.

මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇත්තේ, විධිමත් ආකාරයකට ය. දරුවන් දැනුම්වත් කිරීම, මාපියන් හා ප්‍රජා සංවිධාන දැනුම්වත් කිරීම පළමුව සිදුවෙයි. මත්ද්‍රව්‍ය පිළිබඳ අවබෝධය හා මත්ද්‍රව්‍ය නිවාරණයට සහභාගී විය යුතු ආකාරය ද ඊට ඇතුළත් ය. මත්ද්‍රව්‍ය හා දේශපාලනය අතර ඇති සම්බන්ධය පමණක් ‍නොව; දේශපාලකයාට මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් කළ හැකි දේ ද සාකච්ඡා කිරීමට නියමිත ය. ප්‍රාදේශීය දේශපාලකයන් වැඩසටහන් සඳහා සහභාගී කරවා ගැනීමට ද නියමිත ය. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පවතින නීතිය මෙන් ම, ජනමාධ්‍ය ඔස්සේ මත්ද්‍රව්‍ය ගැන ලබාදෙන ප්‍රචාරය ගැන ද සාකච්ඡා කිරීමට අපේක්ෂිත ය.

බැලූ බැල්මට ම පෙනීයන්නේ, මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ඉතා විධිමත් ආකාරයකින් ගොඩනඟා ඇති බව ය. මේ ගොඩනැඟීම සිදුවී ඇත්තේ, පෙර සූදානමක් සමඟ ය. මීට පෙර විශේෂඥ කණ්ඩායම් වෙතින් ද, ප්‍රජා සංවිධාන වෙතින් ද වැඩසටහන පැවැත්විය යුතු ආකාරය ගැන යෝජනා ලබාගෙන ඇත. එම යෝජනා ඉතා වටිනා බව, වැඩසටහනේ දළ - සැලැස්ම ගැන බලන විට පෙනීයයි. දුම්කොළ මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය, වෙළෙඳාම, ආනයනය ලෝකය පුරා ක්‍රියාත්මක වන ජාලයකට සම්බන්ධ බව කිවයුතු ය. ඒ නිසා ම, එය වැළැක්වීම සරල හෝ පහසු හෝ කාරණයක් නොවේ. ලතින් අමෙරිකාව දෙසට එබී බලන විට අපට දැකගන්නට ලැබෙන්නේ, රජයේ හමුදා කැටුව, කරට - කර යුද වදින කුඩු කල්ලි බව කිවයුතු ය.

ශ්‍රී ලංකාව තුළ එතරම් බැරෑරුම් තත්ත්වයක් දක්නට නොලැබුණ ද, පාතාල කල්ලි හා මත්ද්‍රව්‍ය අතර සම්බන්ධය තව ම පවතී. එක්තරා කාලයක දේශපාලකයන් හා මත්ද්‍රව්‍ය ජාවාරම අතර සම්බන්ධයක් ද දක්නට ලැබිණි. ඒ සම්බන්ධයෙන් විවිධ විවේචන පමණක් නොව; සාක්ෂි පවා ලැබී තිබුණ ද, දේශපාලන බලය නිසා ම ඒවා යටපත් වූ බවක් දකින්නට ලැබිණි. පොලිස් නිලධාරීන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පැවැති ගනුදෙනු ද එක්තරා කාලයකදී හෙළිදරව් වී තිබිණි. අද වන විට ඒ සියල්ල වෙනස් වී ඇතැ’යි සිතන්නට පුළුවන. අද දේශපාලන බලය හා රාජ්‍ය බලය ක්‍රියාත්මක වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ය. එය ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස ද සැලැකිය හැකි ය. මෙහිම ප්‍රතිඵලයක් ලෙස, නිතිපතා වැටලීම් සිදු වෙයි. නීතිය ද ක්‍රියාත්මක වෙයි.

අතීතයට එබී බැලුවහොත්, රටේ තරුණ පරපුරෙන් සැලැකිය යුතු ප්‍රමාණයක් මතට ඇබ්බැහි වෙමින් සිටි බව කිවයුතු ය. අධ්‍යාපනය අතරමඟ නැවතීම, විවිධ අපරාධවලට යොමු වීම, පවුල් කඩාකප්පල්වීම හා තරුණ ජීවිත කාලකණ්ණි වීම, මත්ද්‍රව්‍ය භාවිතයේ ප්‍රතිඵල ලෙස සටහන් වී තිබිණි. මත්ලෝලීන් පුනරුත්ථාපනය කිරීම සඳහා ද වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර, ඒවායින් පුනරුත්ථාපනය වූ තරුණයන් යළිත් මතට ඇබ්බැහි වීම පසුගිය කාලය තුළ දක්නට ලැබුණු විශේෂ සිද්ධියකි. ඉන් කරුණු දෙකක් පැහැදිලි වෙයි. එක; පුනරුත්ථාපන වැඩසටහන් අංගසම්පූර්ණ නැති බව ය. දෙක; මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වැඩසටහන් වඩාත් ප්‍රබල බව ය.

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජාතික වැඩසටහන් ශක්තිමත් ලෙස ක්‍රියත්මක වීමට පෙර, ශ්‍රී ලංකාව පැවැතියේ අපේ භූගෝලීය කලාපයට මත්ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථානයක් හැටියට ය. මත්ද්‍රව්‍ය තොග ශ්‍රී ලංකාවට ගෙන්වා, පසුව දකුණු ආසියාවේ රටවලට බෙදාහරින ජාලයක් පවත්වාගෙන ගොස් තිබේ. රට තුළ මත්ද්‍රව්‍ය ගබඩා කර තබන ස්ථාන ද තිබූ බව හෙළිදරව් විය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙතරම් ප්‍රබල තත්ත්වයකට පත් වූයේ, ජාත්‍යන්තර කල්ලිවල සහයෝගය ලැබුණු නිසා යැයි සිතන්නට පුළුවන. අදටත් ඒවා මුළුමනින්ම බිඳවැටී නැත. එහෙත්, මත්ද්‍රව්‍ය නිවාරණය මේ අයුරින් ම ක්‍රියාත්මක වුවහොත්, ජාත්‍යන්තර සබඳතා බිඳවැටෙන්නට පුළුවන. රටෙන් කුඩු මාරයා සදහටම අතුගා දමන්නටත් පුළුවන.

මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය සාර්ථක කරගත හැක්කේ, දරුවන් හා වැඩිහිටියන් ඊට සහභාගී වූ තරමට ය. දරුවන් අනිවාර්යයෙන් ම ඊට යොමු කළ යුතු අතර, වැඩිහිටියන් ද අවංක චේතනාවකින් ඊට සහභාගී විය යුතු ය. මෙය ජාතික උවදුරක් ලෙස සලකා කටයුතු කිරීම ඉතා නිවැරැදි ය. පාසලක විදුහල්පතිවරයාට මෙන් ම, ගුරු මණ්ඩලයට ද මෙහි වගකීමක් පැවරෙයි. එය ඉටු කිරීමට ගුරුවරුන් උත්සුක වන්නේ නම්; දරුවන්ගේ සහභාගිත්වය වැඩි වනු ඇත. ගුරුවරුන්ගේ උපදේශන හා මඟපෙන්වීම පාසල් දරුවෝ පිළිගනිති. මත්ද්‍රව්‍ය භාවිතයෙන් පමණක් නොව; දුම්වැටි ‍භාවිතයෙන් ද මත්පැන් පානයෙන් ද දරුවා ගලවා ගත යුතු ය.

මේ වැඩසටහන ඉතා සැලැසුම්සහගත - බුද්ධිමත් එකක් බව පෙනීයයි. මතට ගොදුරු වන දරුවා, මත්ද්‍රව්‍ය භාවිතයේ විපාක හරි හැටි දන්නේ නැත. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රටේ පවතින නීතිය ද මේ දරුවන් දන්නේ නැත. ඒවා ගැන හොඳ අවබෝධයක් ලබන විට, දරු පරපුර මත්ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කරනු ඇත. අවබෝධයකින් යුතුව මත්ද්‍රව්‍යවලට ප්‍රතිචාර දක්වන තැනැත්තා, කිසි දිනෙක ඒවා පාවිච්චි නොකරනු ඇත.

නව අදහස දක්වන්න