ෂරපෝවා හිස් අතින් ගෙදර යයි | දිනමිණ

ෂරපෝවා හිස් අතින් ගෙදර යයි

සිය ටෙනිස් දිවියේ විශාලතම තරගයට ඊයේ මුහුණදුන් 22 හැවිරිදි ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා ඈෂ්ලියා බර්ටි ලෝක ටෙනිස් පිටියේ ප්‍රබලතම ක්‍රීඩිකාවක වන 5 වතාවක්ම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා දිනූ රුසියාවේ 31 හැවිරිදි මරියා ෂරපෝවාට එරෙහිව ලකුණු 4-6, 6-1 සහ 6-4ක් ලෙස පෙරළිකාර ජයක් වාර්තා කරමින් පළමු වතාවට ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත්වූවාය.

වට තුනකින් නිමාවට පත්වූ මේ තරගයේ පළමු වටයේදී ෂරපෝවා හමුවේ පරාජයට පත්වූ ඈෂ්ලියා දෙවැනි හා තුන්වැනි වටවලදී ජයග්‍රහණය අත්කර ගත්තේ රුසියානු ක්‍රීඩිකාව අන්දමන්ද කරවමිනි. මෙල්බර්න් නුවර රොඩ් ලේවර් ටෙනිස් පිටියේ ඊයේ දහවල් පැවැති මේ තරගයෙන් ලැබූ විස්මිත ජයග්‍රහණයෙන් පසුව ඈෂ්ලියා වාර්තාපොතට එක්වූයේ වසර 2009දී ජෙලීනා ඩොකික්ගෙන් පසුව ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් අට දෙනා අතරට එක්වූ පළමු ක්‍රීඩිකාව ලෙසටය.

‘ඇය (ෂරපෝවා) ඇත්තටම ශූරියක්. ඇය ලෙහෙසියෙන් පරාජය භාරගන්නා ක්‍රීඩිකාවක් නෙවෙයි. ඒ නිසා මට පරිස්සමින් ක්‍රීඩා කරන්න සිදුවෙන බව මම දැන සිටියා. මගේ ක්‍රීඩාලෝලීන් හමුවේ මෙවැනි ලෝක පූජිත ක්‍රීඩිකාවක් පරාජය කිරීමට ලැබිම ආඩම්බරයක්. ‘ තරගයේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත් ඈෂ්ලියා එසේ කීවාය.

‘ඈෂ්ලියා ඉතා හොඳින් ක්‍රීඩා කළා. දෙවැනි හා තුන්වැනි වටවලදී නැවත හිස ඔසවාගන්න මට අවස්ථා කිහිපයක් ලැබුණත් එය සාර්ථක වුණේ නෑ. ඇය විශිෂ්ට ක්‍රීඩිකාවක්. ඇය පුදුම විශ්වාසයකින් ක්‍රීඩා කළේ. ‘ පරාජයෙන් පසුව ෂරපෝවා එසේ කීවාය.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ 7 වැනි දිනය වූ ඊයේ පැවැති සිවුවැනි වටයේ තරගවලදී සිදුවූ තවත් පෙරළිකාර සිදුවීමක් වූයේ ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසුවන ජර්මනියේ ඇන්ජලික් කේබර් ලකුණු 6-0ක් සහ 6-2ක් ලෙස ඉතා පහසුවෙන් පරාජය කිරීමට අමෙරිකාවේ ඩැනියෙලා කොලින්ස් සමත්වීමය. මේ අතර අමෙරිකාවේ අමන්දා ඇනිසිමෝවා ලකුණු 6-2ක් සහ 6-1ක් ලෙස පරාජය කරමින් චෙක් රාජ්‍ය යේ පෙට්රා ක්විටෝවා අවසන් අටදෙනා අතරට තේරී පත්වූ අතර ලෝක පිරිමි ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැන සිටින ස්පාඤ්ඤයේ රෆායිල් නඩාල් ලකුණු 6-0, 6-1 සහ 7-6ක් ලෙස චෙක් රාජ්‍ය යේ තෝමස් බර්ඩිච් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

නව අදහස දක්වන්න