පොලිස් ප්‍රහාරයෙන් මහනුවර පිල බේරෙයි | දිනමිණ

පොලිස් ප්‍රහාරයෙන් මහනුවර පිල බේරෙයි

ෆවුස් මොහොමඩ්

අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයේ දෙවැනි භාගයේදී විස්මිත ක්‍රීඩා රටාවක නිරතවූ පොලිස් ක්‍රීඩා සමාජය හමුවේ තියුණු සටනකින් පසුව ලකුණු 27-20ක ජයක් අත්කර ගනිමින් සිය අභිමානය රැක ගැනීමට වත්මන් ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජය සමත්විය. මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාවට ගෝල් 2ක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් එක්වූ අතර පොලිස් පිල ගෝලයක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් රැස් කළේය.

පසුගිය සති අන්තයේ යුද හමුදාව වෙතින් අනපේක්ෂිත පරාජයක් ලබා සිය අපරාජිතභාවය බිඳ දමාගත් මහනුවර පිල පොලිස් පිටියේදී පෙරේදා පැවැති තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 24-10කින් පෙරමුණ ගැනීමට සමත්වූවත් දෙවැනි භාගයේ ආරම්භයේ සිටම ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කළ පොලිස් ක්‍රීඩකයෝ අවසන් මිනිත්තු දහය උදාවනවිට ලකුණු පරතරය 24-20කින් අඩුකරගැනීමත් සමග මහනුවර පිලේ පීඩනය ඉහළ ගියේය.

තරගයේ 45 වැනි මිනිත්තුවේදී ගිහාන් සිල්වා තැබූ විශිෂ්ට උත්සාහක දිනුමත්, 67 වැනි මිනිත්තුවේදී හෂාන් ප්‍රනාන්දු තැබූ තවත් අනගි උත්සාහක දිනුමත් හේතුවෙන් ලකුණු සංඛ්‍යාව 20 දක්වා ඉහළ දමාගැනීමට පොලිස් පිල සමත්විය. එහෙත් අවසන් මොහොතේ පොලිස් පිලේ නීතිවිරෝධී ක්‍රීඩා විලාශයක් හේතුවෙන් ලැබූ දඬුවම් පහර සාර්ථක කරගත් තිළිණ විජේසිංහ මහනුවර පිලේ ජයග්‍රහණය තහවුරු කළේය.

 

නව අදහස දක්වන්න