ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ජය | දිනමිණ

ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ජය

අවිශ්ක ප්‍රනාන්දු සහ මිලින්ද සිරිවර්ධන රැස්කළ ශතක හේතුවෙන් සංචාරක අයර්ලන්ත ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 60ක ජයක් අත්කර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සමත් විය.

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලු 5ක් දැවී ලකුණු 365ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය අයර්ලන්ත ‘ඒ’ පිලට ඕවර 48.2කදී සියල්ලන් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 305ක් පමණි.

ලකුණු 366ක දැවැන්ත ඉලක්කය හඹායෑම ඇරැඹු අයර්ලන්ත ‘ඒ’ පිල වෙනුවෙන් ලෝකන් ටකර් ලකුණු 109ක් සහ ජේම්ස් ෂැනොන් ලකුණු 67ක් රැස්කළද කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ. පන්දු 86කින් ගොඩනැගුණු ටකර්ගේ ඉනිම හතරේ පහර 13කින් සහ හයේ පහර 3කින් සවිමත් විය. අයර්ලන්ත පිලේ ඇරැයුමෙන් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම ඇරැඹු අවිශ්ක ප්‍රනාන්දු සහ උපුල් තරංග පළමු කඩුල්ලට ලකුණු 161ක් එක් කිරීමට සමත් වූහ. පන්දු 163කින් ගොඩනැගුණු එම සබඳතාව නිමාවූයේ ලකුණු 66ක් ලබාසිටි තරංග ස්ටුවට් තොම්සන්ගේ පන්දුවක් හමුවේ දැවී යෑමෙනි.

පන්දු 78කට මුහුණදුන් ඔහු හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් එල්ලකර තිබිණි. අනතුරුව පිටියට පිවිසි මිලින්ද සිරිවර්ධන, අවිශ්ක සමග එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 252 දක්වා ඉදිරියට ගෙන ගියේ ලකුණු 91ක සබඳතාවක්ද පිහිටුවමිනි. විශිෂ්ට පිතිහරඹයක් දියත් කළ අවිශ්ක ලකුණු 128ක් ලබාසිටියදී දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. හතරේ පහර 11කින් සහ හයේ පහර 5කින් ඉනිම වර්ණවත් කරගත් ඔහු පන්දු 120කට මුහුණදී තිබිණි. වේගවත් පිති හරඹයක් දියත් කළ සිරිවර්ධන නොදැවී ලකුණු 111ක් රැස් කළේ පන්දු 75ක් පමණක් වැය කරමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 11කින් සහ හයේ පහර 3කින් සවිමත් විය.

දෙපිල අතර දෙවැනි එක්දින තරගය අද (21) සූරියවැවදීම පැවැත්වේ

නව අදහස දක්වන්න