ක්‍රීඩා සංගම්වලට එරෙහි නඩු ඇසීමෙන් ඉවත් කළ සංවර්ධන දෙපාර්තමේන්තුවට යළිත් බලතල | දිනමිණ

ක්‍රීඩා සංගම්වලට එරෙහි නඩු ඇසීමෙන් ඉවත් කළ සංවර්ධන දෙපාර්තමේන්තුවට යළිත් බලතල

ප්‍රින්ස් ගුණසේකර

ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට එරෙහි පැමිණිලි විභාග කිරීමෙන් හා සියලුම විනය විරෝධී කටයුතු විමර්ශනයෙන් පසුගිය කාලයේ ඉවත්කළ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට යළිත් එම බලතල පැවැරීමට සූදානමක් ඇතැයි වාර්තා වේ.

ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට එරෙහි පැමිණිලි විමර්ශනය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් ඇතුළු කමිටුවක් යටතේ සිදු කෙරුණු අතර පසුගිය වසරේ ජූලි මසයේ සිට එම පරීක්ෂණවලින් සංවර්ධන දෙපාර්තමේන්තුව ඉවත් කර නව කමිටුවක් මගින් සිදු කිරීමට නියෝගයක් නිකුත් විය.

එම නියෝගය අනුව ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට එරෙහි පැමිණිලි විමර්ශනයට විශේෂ සිවු පුද්ගල කමිටුවක් හිටපු ක්‍රීඩා ඇමැති අධිනීතීඥ ෆයිසර් මුස්තාපා මහතා පත් කළේය. ක්‍රීඩා ඇමැතිවරයාගේ උපදේශක පී. කොඩිතුවක්කු මහතාගේ සභාපතිතත්වයෙන් පත් කළ එම කමිටුවට ජාතික ක්‍රීඩා කෞතුකාගාරයේ සභාපති සමන් අමරසිංහ, ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල් හා ක්‍රීඩා අමාත්‍යාංශ නීති නිලධාරී ශිරෝමී රණවක යන මහත්ම මහත්මීහු පත්වූහ.

මේ සිවු පුද්ගල කමිටුවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙක් පත් නොවුණු අතර වෙනත් දෙපාර්තමේන්තුවල නිලධාරීන් පිරිසක් පත් කිරීම විශේෂත්වයකි. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රීඩා සංගම් පාලනය කිරීම හා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සිදුකරද්දී ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට එරෙහි පරීක්ෂණ පැවැත්වීම සදාචාරාත්මක නොවන බවට මතයක්ද ගොඩ නැගුණි.

ඒ වන විටත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට ක්‍රීඩා සංගම් 40කට ආසන්න පැමිණිලි ලැබී තිබුණු අතර ඒවා සියල්ල නව කමිටුව වෙත භාර කෙරුණි. එයින් ශ්‍රී ලංකා වුෂූ සංගමයට එරෙහිව ගොණුවූ විරෝධතා විභාගය පමණක් නව විමර්ශන කමිටුව ආරම්භ කළේය. එහෙත් එම විමර්ශන කටයුතු ද නිම කර ගැනීමට සිවු පුද්ගල කමිටුවට නොහැකි විය.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා විසින් මේ දිනවල මතභේද ඇති ක්‍රීඩා සමාජ ප්‍රධානීහූ හා දිස්ත්‍රික් සංගම් ප්‍රධානීහූ ක්‍රීඩා අමාත්‍යාංශයට ගෙන්වා කරුණු විමසිම ආරම්භ කොට ඇත. ජාතික සංගම්වල ප්‍රධානීන්ට එරෙහි යම් පැමිණිල්ලක් වෙතොත් ඒවා සියලු පාර්ශ්ව ඉදිරියේ විවෘතව විමසීම මේ සාකච්ඡා අතරතුර සිදුවෙමින් පවතින බව වාර්තා වේ. මේ වනවිට ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් සංගමය, ජිම්නාස්ටික් සංගමය හා ජල ක්‍රීඩා සංගම් ප්‍රධානීන් සමග සාකච්ඡා පවත්වා අවසන්ව ඇති අතර හෙට (22) ශ්‍රී ලංකා නෙට්බෝල් සංගම් ප්‍රධානීන් ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවා ඇත. හොකී සංගමය හා ටේබල් ටෙනිස් සංගමයට ද ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණෙන ලෙස දින ලබාදී ඇතැයි වාර්තා වේ.


නව අදහස දක්වන්න