හෙට දවස සරු කරන රිනවුන් පාපන්දු ඇකඩමිය | දිනමිණ

හෙට දවස සරු කරන රිනවුන් පාපන්දු ඇකඩමිය

පාපන්දු ක්‍රීඩාව වඩාත් ජනප්‍රියව ඇත්තේ කොළඹ නගරය කේන්ද්‍ර කොට ගෙනය. කොළඹ නගරයේ විවිධ ජන කොටස් බහුලව ජීවත්වන බැවින් ඒ සියලු දෙනා එකම තැනකට එක් කිරීමට පාපන්දු ක්‍රීඩාව සමත්ව තිබේ. සිංහල, දමිළ, මුස්ලිම් හෝ වෙනත් ජාතින් ලෙස නොබෙදී ක්‍රීඩා කිරීමටත්, ක්‍රීඩකයන් දිරිගැන්වීමත් කොළඹ පාපන්දු ක්‍රීඩාවේ සුවිශේෂ ලක්ෂණයකි. එහෙත් වත්මන් පාපන්දු ක්‍රීඩාවට දක්ෂ නවකයන් බිහිවීම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින නිසා පාපන්දු ක්‍රීඩාව කෙරෙහි ඇති අකර්ශනය තරමක් හීන වෙමින් පවතී. එවන් මොහොතක හෙට දවසේ පාපන්දුවට ජීවයක් සැපයීමේ අරමුණින් කොළඹ ප්‍රසිද්ධ ක්‍රීඩා සමාජ කිහිපයක්ම පාපන්දු ඇකඩමි බිහි කොට පවත්වාගෙන යෑමට උනන්දුවී සිටිති. එය තවත් වසර කිහිපයකින් ශ්‍රී ලංකාවේ පාපන්දු තරු බිහිකළ හැකි යහපත් වැඩ පිළිවෙළක් බවට පත්ව ඇත.

වසර 40ක ඉතිහාසයක් ඇති රිනවුන් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකාවේදී මුල්වරට යුරෝපීය පාපන්දු පුහුණු ක්‍රමවලින් සමන්විත රිනවුන් පාපන්දු ඇකඩමිය ‍රීඩ් මාවත තුරඟ තරග පිටියේදී පවත්වයි. මනා සංවිධානයකින් යුතුව ක්‍රියාත්මක මේ පාපන්දු ඇකඩමියේ වයස අවුරුදු 4 සිට 18 දක්වා දරු දැරියන් 180ක් පමණ පුහුණුව ලබමින් සිටිති. කාන්තා හා පිරිමි භේදයකින් තොරව මේ පාපන්දු ඇකඩමිය පවත්වා ගෙන යන්නේ තවත් වසර දෙකකදී දක්ෂයන් රැසක් කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ජාතික පාපන්දු සංචිතයට බිහිකිරීමට බව රිනවුන් ඇකඩමියේ නිර්මාතෘ ශ්‍රීදරන් පීරිස් මහතා පවසයි.

රිනවුන් ක්‍රීඩා සමාජයේ සභාපති රොබට් පීරිස් මහතාගේ මඟ පෙන්වීම යටතේ ප්‍රධාන පුහුණුකරු ලෙස මොහොමඩ් අමුනුල්ලා මහතා කටයුතු කරන අතර ජාතික පාපන්දු පිලේ හිටපු ගෝල් කීපර් පුහුණුකරු මහින්ද ගලගෙදර, හිටපු ජාතික පාපන්දු ක්‍රීඩකයන් වන දේවසගායම් රාජමනී, තිලක් අල්පොන්සු, තුවන් අරිෆින්, මොහොමඩ් ඉස්මයිල්, ඉම්තියාස් රහීම්, මොහොමඩ් රහුමාන්, මොහොමඩ් ඉසෙදීන්, නිසාල් නිලංග, එම්. කේ. ජේ. ප්‍රියන්ත හා නිසංසලා ද සිල්වා යන මහත්ම මහත්මීහු මේ ඇකඩමියේ පුහුණු කාර්ය මණ්ඩලයට එක්ව සිටින අතර, කළමනාකාරීත්වය භාරව ලින්ඩ්සේ රාසා මෙනවිය හා දිව්‍යා එමෑනුවෙල් මෙනවිය කටයුතු කරති. රිනවුන් පාපන්දු ඇකඩමියේ තාක්ෂණික උපදේශක ලෙස ජාතික පාපන්දු පිලේ හිටපු දක්ෂ ක්‍රීඩකයෙක්වන චමින්ද ස්ටැන්වෝල් මහතා කටයුතු කරයි. මේ පුහුණුකරුවන් හා කාර්ය මණ්ඩලයේ සියලු දෙනා කුඩා දරුවන්ට පාපන්දු ක්‍රීඩාව කෙරෙහි ඇල්ම ඇතිවන පරිදි පුහුණුව ලබාදිය හැකි ඉහළම සහතික ලැබූ පිරිසකි.

රිනවුන් පාපන්දු ඇකඩමිය තුලින් පාපන්දු ක්‍රීඩාවට අවශ්‍ය ඉහළ තාක්ෂණයක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කළ හැකි බව ඇකඩමියේ නිර්මාතෘ ශ්‍රීදරන් පීරිස් මහතා ‘දිනමිණ’ ට පැවැසීය.

“කුඩා දරුවන්ට පාපන්දු ක්‍රීඩාව පුහුණු කිරීම වෙනම විෂයක්. එය ඉතා සියුම් ලෙස කිරීමට අපගේ පුහුණුකරුවන් හොඳින් දන්නවා. ඒ සඳහා වෙනම දැනුමක් ඔවුන් සතුව තිබෙනවා. ඒ නිසා රිනවුන් පාපන්දු ඇකඩමිය තුළින් මේ රටට අවශ්‍ය සම්පත් ඉතා ක්‍රමානුකූලව ගොඩනැගිය හැකියි. මේක ව්‍යාපාරයක් නොවෙයි. අපගේ පෞද්ගලික මුදල් රිනවුන් පාපන්දු ඇකඩමිය වෙනුවෙන් මාසිකව වැය කරනවා.

අප පාපන්දු ක්‍රීඩාවට කැපවූ පිරිසක්. තවත් වසර දෙකකින් සුපිරි ක්‍රීඩකයන් පිරිසක් බිහි කිරීමේ අරමුණ අපට තියෙනවා. ඇකඩමියට එන දරුවන්ගෙන් සියයට 20කට ශිෂ්‍යත්ව ලබා දෙනවා. විශේෂයෙන්ම හැකියාව ඇති බාලිකාවන්ට අප ශිෂ්‍යත්ව ලබාදීමට සූදානම්. එයට හේතුව කාන්තා පාපන්දු ක්‍රීඩාව නගා සිටුවීමට අප විශේෂ අවධානයක් යොමු කොට තිබීමයි. යුරෝපයේ ප්‍රසිද්ධ පාපන්දු ඇකඩමියක් සමග දැන් අප සම්බන්ධවී සිටිනවා. ඔවුන්ගේ නව පුහුණුක්‍රම අප මුදල් ගෙවා ලබා ගන්නවා. ඔවුන්ගේ ලියාපදංචි සහතිකය ගැනීමටත් අප විශාල මුදලක් ගෙවනවා. ඔවුන් අපගේ වැඩ පිළිවෙළ තවමත් අධීක්ෂණය කරනවා. අප ඉතා හොඳින් මේ වැඩ කටයුතු කරන නිසා අපට ඔවුන්ගේ පිළිගත් ලියාපදිංචි සහතිකය ලැබෙයි කියා විශ්වාස කරනවා” ශ්‍රීදරන් පීරිස් මහතා පැවැසීය.

සටහන සහ ඡායාරූප
ප්‍රින්ස් ගුණසේකර


නව අදහස දක්වන්න