කසළ ඉවත් කරන කම්කරු සේවකයන් ඇගයීමේ උපහාර උළෙලක් | දිනමිණ

කසළ ඉවත් කරන කම්කරු සේවකයන් ඇගයීමේ උපහාර උළෙලක්

ඔබලා කරන මෙම කුණු කසළ ඉවත් කිරීමේ සේවය මහජනතාවට අතිශයින් වැදගත් උතුම් මෙහෙවරක් බව ලුනාව ශ්‍රී බෝධිරාජාරාමාධිපති මහාචාර්ය පුජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ පැවසූහ. උන්වහන්සේ එසේ පැවසුවේ මොරටුව මහ නගර සභාවේ කුණු කසළ ඉවත් කරන කම්කරු සේවක මහතුන් ඇගයීමේ උපහාර උළෙලේදීය. එම උත්සවය මොරටුව ලුනාව ශ්‍රී බෝධිරාජාරාම විහාරයේදී ජනවාරි 01 වන දින සවස පැවැත්විණි.

තුන්වන වරටත් මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථාන දායක සභාව සංවිධානය කර තිබුණ මෙම උපහාර උළෙලේදී කසළ ඉවත් කරන සේවක මහතුන් 110 දෙනෙකු ඇගයීමට ලක් විය.

එහිදී තව දුරටත් අනුශාසනා කළ මහාචාර්ය පුජ්‍ය අගලකඩ සිරිසුමන හිමිපාණන් මෙසේද කියා සිටියේය. අද අපිට බොහෝම සතුටු දවසක් මමත් විහාරවාසී පොඩි හාමුදුරුවරු මෙන්ම පන්සලේ දායක දායිකාවනුත් අතිශයින් සතුටු වෙන්නේ ඔබලාගේ සේවය ඇගයීමට හැකිවීම වෙනුවෙන්. 2017 ජනවාරි මස 01 වන දින පටන්ගත් මෙම උපහාර උත්සවය අද පැවැත්වෙන්නේ තුන්වන වතාවටයි. ඔබ සියලු දෙනා අපේ ගෞරවණීය ආරාධනය පිළිගෙන මෙහි පැමිණීම සතුටක්. මොරටුව නගරයේ ගෙයින් ගෙට යමින් කුණු කසළ එකතු කරන ඔබලා නිසා නගරය කුණු කසළ වලින් තොරව තිබෙනවා. එක දිනක් ඔබලාගේ සේවය අතපසු වුවහොත් නගරයම ගඳ ගහයි.

මෙම උපහාර උත්සවය සඳහා මොරටුව නියෝජ්‍ය නගරාධිපති සමන්ත සිල්වා, මොරටුව නාගරික කොමසාරිස් කඳනාරච්චිගේ තිලකරත්න, උයන කොට්ඨාසයේ නාගරික මන්ත්‍රී රන්සිරි ප්‍රනාන්දු, මොරටුව පොලිසියේ ප්‍රජා සංවර්ධන නිලධාරී සමන් වීරසිංහ මහත්වරුද එක්ව සිටියහ.

රාවතාවත්ත සමුහ රෝහණ ද සිල්වා

නව අදහස දක්වන්න