ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනාව කැලණිය කිත්සිරි මෙවන් විහාරයේදී | දිනමිණ

ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනාව කැලණිය කිත්සිරි මෙවන් විහාරයේදී

සෑම පුන් පොහෝ දිනකම දිවයිනේ ප්‍රධාන විහාරස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 46 වැනි දම් සභා මණ්ඩපය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පෙරවරුවේ ඓතිහාසික එගොඩ කැලණිය කිත්සිරි මෙවන් කල්‍යාන රාජ මහා විහාරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්විණි.

විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා පළමුව ආගමික වතාවත්වල නිරතවී ආශිර්වාද ලබා ගත්තේය. කැළණිය රාජමහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමින් වහන්සේ මෙහිදී ආගමික වතාවත් සිදුකරමින් ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු පවුලේ සැමගේ දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද බෝ මළුව, බෝධිඝරය, ඇත්පවුර සහිත බෝධි ප්‍රාකාරය සඝ සතු කොට පූජා කිරීම සිදුවූයේ ද ජනාධිපතිතුමා අතිනි.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා සදහම් යාත්‍රා ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට එක් වූ අතර ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය තලල්ලේ චන්ද්‍රකිත්ති නායක ස්වාමින් වහන්සේ අද දින ධර්ම දේශකයාණන් වහන්සේ විය.

උන්වහන්සේ මෙහිදී සඳහන් කළේ ශාසන ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව සිදු කෙරුණේ අද වන් දුරුතු පොහෝ දිනක බවයි. එම විශේෂ වටිනාකමක් ඇති අද දවසේ බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශය ලැබූ ඓතිහාසික කල්‍යාණ පුදබිමේ අත්‍යාවශ්‍ය විහාරාංගයක් තනවා පූජා කරමින් ජනාධිපතිතුමා සිදුකර ඇත්තේ එම ශාසන ඉතිහාසය නැවත අලූත් කිරීමක් බව සඳහන් කළ උන්වහන්සේ මෙම කටයුත්ත මහා සංඝරත්නයේ දැඩි ප්‍රශංසාවට ලක්වන බව ද කියා සිටියේ ය.

පූජනීය ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේ ශාසනය සුරැකීමට බව මෙහිදී පෙන්වා දුන් උන්වහන්සේ වසර කිහිපයක් නොව සම්බුද්ධ ශාසනය පවතින තුරාවටම සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ජනාධිපතිවරයා ඉටු කර ඇත්තේ වටිනා කාර්යයක් බව ද කියා සිටියේය.

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට ජනාධිපතිවරයා ගෙන යන කටයුතු සාර්ථක කර ගැනීමට ද උන්වහන්සේ ආශිර්වාද පළ කළහ. ජයන්ති සිරිසේන මැතිණිය ද, මැති ඇමතිවරු ඇතුළු සැදැහැවත් විශාල පිරිසක් ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න