පාගොඩ ශ්‍රී විද්‍යා විජය ආරාමයේ වාහල්කඩ ජනපති විවෘත කරයි | දිනමිණ

පාගොඩ ශ්‍රී විද්‍යා විජය ආරාමයේ වාහල්කඩ ජනපති විවෘත කරයි

උපාලි කරුණාරත්න

නුගේගොඩ, පාගොඩ ශ්‍රී විද්‍යා විජය ආරාමයේ වාහල්කඩ විවෘත කිරීම හා බෝධීන් වහන්සේගේ රන්වැට නිරාවරණය කිරීම ඊයේ(20) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරිණ.

මෙම අවස්ථාව සඳහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා, ජනාධිපති පෞද්ගලික ලේකම් ජනක රණවක මහතා ඇතුළු බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වූහ.

මෙහිදී ජනාධිපතිවරයා දර්ශනීය පෙරහැරකින් විහාරස්ථාන භූමිය වෙත කැඳවාගෙන ආ අතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ පළමුව වාහල්කඩ විවෘත කිරීමේ පුවරුවද ඉන් අනතුරුව රන්වැට නිරාවරණය කිරීමද සිදුවූ අතර බෝධීන් වහන්සේට පුෂ්පෝපහාර දැක්වීම සහ ගිලන්පස පූජා කිරීම ජනාධිපතිවරයා සහ චම්පික රණවක ඇමැතිවරයා විසින් මෙහිදී සිදු කරන ලදී.

ඉන් අනතුරුව ජපානයේ ප්‍රධාන සංඝනායක උඩරට අමරපුර නිකායේ අනුනායක යාලගමුවේ ධම්මිස්සර නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුලු පිරිසට සෙත් පතමින් පිරිත් සජ්ජායනය කරන ලදී.

මෙම අවස්ථාවේදී නුගේගොඩ, පාගොඩ ශ්‍රී විද්‍යා විජය ආරාමයේ විහාරාධිපති කරගහඋල්පොත සුගතනන්ද නාහිමියෝ ප්‍රකාශ කළේ දවුල්දෙණ ඥාණිස්සර මහ නාහිමි ඇතුළු මෙම විහාරස්ථානය ගොඩ නැගීම සඳහා දායක වූ සියලු දෙනා මේ අවස්ථාවේදී සිහිපත් කරන බවයි. මෙම අවස්ථාව සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සම්බන්ධකර ගැනීමට තමන් වහන්සේට ඉතාම අවශ්‍යතාවයක් තිබූ බවද උන් වහන්සේ ප්‍රකාශ කළහ. තමන්වහන්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ආදරය කරන හිමිනමක් යයිද ප්‍රකාශ කළ සුගතනන්ද නාහිමියෝ රටට සෙත් පතන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුලු පිරිසටද මේ අවස්ථාවේ ආශිර්වාදය කරන බවද පැවසූහ.

විහාරස්ථානයෙන් නික්ම යන අවස්ථාවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අවස්ථාවට සහභාගි වූ භික්ෂූන් වහන්සේලා සහ ජනතාව සමඟ කතා බහකද නිරත විය.

ඡායාරූප- සුලෝචන ගමගේ

නව අදහස දක්වන්න