ඒකීය රාජ්‍යයක් යන ස්ථාවරයේ වෙනසක් නෑ - අගමැති | දිනමිණ

ඒකීය රාජ්‍යයක් යන ස්ථාවරයේ වෙනසක් නෑ - අගමැති

ඩී.එස් සේනානායක, ජේ.ආර් ජයවර්ධන, ආර්.ප්‍රේමදාස, ඩී.බී විජේතුංග වැනි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් යන ස්ථාවරයේ සිටි බවත් තමාගේ ස්ථාවරය ද එය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂය රටට අහිතකර නව ව්‍යවස්තාවක් ගෙනඒමේ සූදානමක් ඇති බවට ගෙන යන ප්‍රචාර සියල්ල අසත්‍ය බවත් මේ වන විට ව්‍යවස්තා කෙටුම්පතක් හෝ නිර්මාණය කර නැති බවත් අගමැති වික්‍රමසිංහ මහතා අවධාරණ කළේය .

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පෙරේදා (19) යක්කලමුල්ල, කරාගොඩ ශ්‍රි පූර්වාරාම පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ දහම් පාසල් ශාලාව, සංඝාවාසය හා දාන ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී විහාරස්ථානයට පැමිණි අගමැතිවරයාව දහම්පාසල් තූර්යවාදක කණ්ඩායමේ සිසුවියෝ මහත් හරසරින් පිළිගනු ලැබූහ.

විහාරස්ථානයේ බුදු පිළිමවහන්සේ වැද පුදාගැනීමෙන් අනතුරුව නව ගොඩනැගිලේ සමරු ඵලකය නිරාවරණය කර නිල වශයෙන් විහාරස්ථානයේ අයිතියට පත් කළේය. දායක සභාව සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවට සහභාගී වූ අග්‍රාමාත්‍යවරයා සහ ආරාධිතයන් පිරිස විහාරාධිපති නාරවිල සිරිවිමල හිමියයෝ උණුසුම් ලෙස පිළිගනුලැබූහ.

ඉන් අනතුරුව විහාරස්ථානයේ සංවිධාන කර තිබූ දානමය පින්කම සඳහා සහභාගී වූ අග්‍රාමාත්‍යවරයා ස්වාමීන් වහන්සේලා 130 නමක් වෙත දිවා දානය පිළිගැන්වීමේ පින්කමකට සහභාගී විය.

දිවා දානය පිළිගැන්වීමෙන් පසුව බෙන්තර වලල්ලාවිට කෝරලයේ ප්‍රධාන සංඝනායක මාපලගම නන්ද නාහිමියන් වහන්සේ අග්‍රමාත්‍යවරයාගේ ඉදිරි දේශපාලන වැඩකටයුතු සාර්ථක කිරීමට සහ රට පුරා වෙහෙර විහාරස්ථාන ඉදිකර බෞද්ධ ආගම දියුණු කිරීමට හැකිවේවායි ආශිර්වාද කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

අද අප මේ උත්සවය පවත්වන ශ්‍රි පුෂ්පාරාමය ඉතා පැරණි විහාරස්ථානයක් බව කිව යුතුයි. මා දන්නා පරිදි බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී නොව කොට්ටේ රාජධානිය සමයේ මේ විහාරස්ථානය ආරම්භ කර තිබෙනවා. මෙය තෙල්වත්ත පරපුරට අයත් විහාරස්ථානයක් බව මෙහි වැඩ වෙසෙන නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. මේ සංඝ පරපුරට විශාල ඉතිහාසයක් තිබෙනවා.

ලංකාවේ සිටින ප්‍රධාන සඟ පරපුර මෙය බව පැහැදිලියි. මේ විහාරස්ථානය අවුරුදු 150කට පමණ පෙර ප්‍රතිසංස්කරණය කර ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. විටින් විට ගම්වාසීන්ගේ සහයෝගය ඒ සඳහා ලබා දුන්නා. දැන් අපේ නායක ස්වාමීන් වහන්සේ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙනවා. ඊට සංඝාවාසය, දාන ශාලාව ආදිය ඇතුළත් වෙනවා. අද මේ විහාරස්ථානය පුරා ගොඩනැගිලි පෙනෙන්නට තිබෙනවා. ඒවා ඉදිකිරීමට හැකි වුණේ නායක ස්වාමීන් වහන්සේගේ දක්ෂතාව නිසායි. එය කොතෙක් ද කියනවා නම් ඔබ වහන්සේ කුඩා ඉදිකිරීම් අමාත්‍යංශයක් බව කිව යුතුයි.

මේ ප්‍රදේශයේ විශාල ජනගහණයක් ජීවත් වෙනවා. මේ සංඛ්‍යාව තව තවත් වැඩි වෙනවා මිස අඩුවන්නේ නැහැ. අපි දැන් මහනුවර සිට හම්බන්තොට දක්වා විශාල මාර්ගයක් සකස් කරනවා. එය ඉදිවන්නේ මේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගෙනයි. ඒ අනුව මේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය දියුණු වෙනවා. නව කර්මාන්ත ශාලා ඉදිවෙනවා. ඉදිරි අවුරුදු 05, 10 ඇතුළත මේ ඉඩම්වල වටිනාකම තවත් වැඩි වෙනවා. මේ සියලූ තත්ත්වයන් හමුවේ අපේ විහාරස්ථාන ආරක්ෂා, කරමින් ඒවා දියුණු කරමින් අප ඉදිරියට යා යුතුයි.

මෙම විහාරස්ථානයේ ඉදිකොට තිබෙන ගොඩනැගිල්ල විවෘත කිරීමට පැමිණෙන ලෙස අපේ නායක ස්වාමීන් වහන්සේ දිගුකලක සිට මගෙන් ඉල්ලීම් කළා. එම කටයුත්තට වජිර අබේවර්ධන ඇමැතිතුමා හෝ බුද්ධශාසන ඇමැතිතුමා එවීමට මා සූදානම් වුණත් උන්වහන්සේ දිගින් දිගටම මගේ පැමිණීම අපේක්ෂා කළා. ඒ අනුව ප්‍රමාද වී හෝ ඔබ වහන්සේගේ ඉල්ලීම ඉටු කිරීමට ලැබීම ගැන මා සතුටු වෙනවා.

මේ විහාරස්ථානය දෙස බලන විටත් අද නිවාඩු දිනයක් වෙලත් මේ සා විශාල ජනකායක් පැමිණ සිටීමෙන්ම ඔබ වහන්සේගේ නායකත්වය හා දක්ෂයතාව පෙන්නුම් කරනවා. ඒ ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.

මේ ප්‍රතදේශයේ දියුණුව වෙනුවෙන් තවත් වැඩකටයුතු බොහෝමයක් කළ යුතුව තිබෙනවා. බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීතුමා ඒ සඳහා කැප වී සිටිනවා. ප්‍රදේශයේ මාර්ග පද්ධතිය දියුණු කිරීම පිළිබඳව එතුමා මා සමඟ සාකච්ඡා කළා. පසුගිය වසර කිහිපයේ අපේ ආණ්ඩුව රට පුරා පුළුල් වැඩපිළිවෙළක් දියත් කරමින් සිටියා. අවාසනාවකට මෙන් පසුගිය වසරේ එයට බාධා එල්ල වුණත් මෙවැනි ප්‍රදේශ දියුණු කිරීමේ ඒ වැඩපිළිවෙළ යළි ආරම්භ කර ඉදිරියට ගෙන යෑම අපේ අරමුණයි. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මල්වතු මහානායක ස්වාමීන් වහන්සේ කළ ප්‍රයකාශයක් අද පුවත් පත් කිහිපයක පළ වී තිබෙන බව මා දුටුවා. එය අපි ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි.

අද ඇතැම් අය ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවා කියා, රට කැඩෙනවා කියා චෝදනා කරනවා. මෙවන් පසුබිමක අපේ මහානායක ස්වාමීන් වහන්සේගේ අදහස් දැක්වීම ඉතාම වැදගත් වන බව කිව යුතුයි.

ව්‍යවස්ථාවේ රට කැඩෙන බවට චෝදනා කළත් තවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් අපි සකස් කර නැහැ. අඩුම තරමින් ව්‍යවස්ථා කෙටුම්පතවත් හදා නැහැ. නමුත් පාර්ලිමේන්තුවම එකතු කර ව්‍යවස්ථාදායක සභාවක් පත් කළා. සියලූ පක්ෂු නියෝජනය වන පරිදි මෙහෙයුම් කමිටුවක් පත් කළා. එහි සභාපති ලෙස මා කටයුතු කරනවා. එහිදී ඉදිරිපත්ව ඇති සියලූ යෝජනා සාකච්ඡාවට භාජනය වුණා. ඒ අනුව එම අදහස් හා යෝජනා අනුව අන්තර් වාර්තාවක් සකස් කළා. ඒ ගැන දින 4ක් 5ක් පාර්ලිමේන්තුවේ විවාද කළා. ඉන් අනතුරුව ද මතු වූ අදහස් සම්බන්ධව අවධානය යොමු කරමින් වාර්තා සකස් කළා.

මේ අනුව විශේෂංඥයන්ගේ වාර්තාවක් සකස් කළා. ඒ අයට ඇතැම් කරුණුවලට එකඟවීමට නොහැකිව විකල්ප වාර්තාවක් ද සකස් කළා. දේශපාලන පක්ෂුවල අදහස් සහ යෝජනා මත තවත් වාර්තාවක් සකස් කළා. මහා ඇමැතිවරුත් වාර්තා දුන්නා. එපමණක් නොවෙයි. ව්‍යවස්ථාදායක සභාවේ විවාදවල අදහස් විෂයන් අනුව සාරංශ කර වාර්තාවක් සකස් කළා. මේ වාර්තා ඕනෑම අයකුට ලබාගෙන කිය විය හැකියි. අපේ යුතුකම හා වගකීම වන්නේ සෑම වාර්තාවක්ම සභාවට ඉදිරිපත් කිරීමයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ගෙන එනවා නම් ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහයෝගය තිබිය යුතුයි. එවැනි සහයෝගයක් තිබෙනවා ද නැද්ද කියා අප තවම දන්නේ නැහැ. එය පක්ෂග නායකයන් තීරණය කළ යුතුයි. එහෙම සහයෝගයක් තිබෙනවා නම් ව්‍යවස්ථාව සකස් කරමු. එවැනි සහයෝගයක් නැති නම් ව්‍යවස්ථාව සැකසීමෙන් පළක් නැහැ.

මේ ගැන විවිධ අදහස් තිබෙනවා. ඒ නිසා මෙය විශාල ප්‍රශ්නයක්කර ගැනීමට වුවමනා නැහැ. එහෙම ව්‍යවස්ථාවක් නැතිව රට බෙදනවා, රට කැඩෙනවා කියමින් බොරු ප්‍රචාර ගෙන යෑමට අවශ්‍ය නැහැ.

1995 දී මහින්ද රාජපක්ෂ මහතා කලාප සංගමයකට සහයෝගය ලබා දුන්නා. ඊට උදව් කළා. චන්ද්‍රිකා මැතිනිය කලාප සංගම් ක්‍රමය ඇතුළත් ව්‍යවස්ථා කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ ඇමැතිවරයෙක් ලෙස ඊට උපරීම සහයෝගය ලබා දුන්නා.

එදා මහින්ද රාජපක්ෂව පෙනී සිටියේ රට කලාපවලට බෙදා කලාප සංගමයක් බවට පත් කිරීමටයි. ඒ ගැන මම එතුමාට දොස් කියන්න යන්නේ නැහැ. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් ඒ ස්ථාවරයේ සිටියා.

නමුත් මා ඒ ස්ථාවරයේ සිටියේ නැහැ. මහින්ද රාජපක්ෂප මහතා කලාප ක්‍රමයට සහයෝගය දක්වන අවස්ථාවේ අපි එතුමාගෙන් මේ ගැන විමසුවා. නමුත් එතුමා ප්‍රකාශ කළේ එයින් රට බෙදෙන්නේ නැති බවයි. එසේ නම් කවුරුන් හෝ කලාප ක්‍රමයක් ඇති කළ යුතු බවට යෝජනා කළොත් එමගින් රට බෙදෙන බව එතුමාට කියන්නට බැහැ.

මහින්ද රාජපක්ෂප මහතා ජනාධිපති ලෙස සර්ව පාක්ෂිමක සමුළුව පිහිටුවමින් එදා ප්‍රකාශ කළේ මට වුවමනා උපරීම බලය බෙදාහැරීමට බවයි. එදා එතුමා තෛපොංගල් උත්සවයේ දී ද්‍රවිඩ භාෂාවෙන් කතා කරමින් කියා සිටියේ මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජන කොටස්වලට එකඟවිය හැකි ව්‍යථාවක් ගෙන ආ යුතු බවයි. මේ එකක්වත් රට බෙදෙන ඒවා කියා අපට කියන්නට බැහැ.

අද මට ඇතැම් පාර්ශ්ව චෝදනා කරනවා මගේ ස්ථාවරය වෙනස් කර ගන්නේ නැහැ කියා. හැම කෙනෙක්ම කියනවා හැමදාම ඒකීය රාජ්‍ය යන ස්ථාවරයේ ඉන්නවා කියා. එදා ඩී.එස්. සේනානායක, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන්ලා ද ඒකීය රාජ්‍ය ස්ථාවරයේ සිටියා. ජේ.ආර්. ජයවර්ධන ලංකාව ඒකීය රාජ්‍යටක් ලෙස තිබිය යුතු බවට රජිව් ගාන්ධිගෙන් අත්සන් පවා ලබා ගත්තා.

ඊට පසු රණසිංහ ප්‍රේමදාස, ඩී,බී. විජේතුංග මැතිතුමන්ලා ද ඒකීය රාජ්‍ය ස්ථාවරයේ සිටියා. මගේ ස්ථාවරය ද එයයි. ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදාහැරීම සිදු කළ යුතුයි.

හිටපු ජනාධිපතිතුමාට මේ ස්ථාවරයට පැමිණිය හැකි නම් මගේ ස්ථාවරය වී තිබෙන්නේ ඒකීය රාජ්‍යයක බලය බෙදාහැරීමයි. ඒකීය රාජ්‍ය ආරක්ෂා කරමින් ඉදිරිපත් කරන ඕනෑම වැඩපිළිවෙළකට අපේ සහයෝගය ලබා දෙනවා. ඉන් පිටස්තර කිසිදු වැඩපිළිවෙළකට අපේ සහාය ලබාදිය නොහැකියි.

මේ ප්‍රශ්නය විසඳීමට හැකි අයට එය විසඳීමට ඉඩදිය යුතුයි. මම කිසිදාක රට බෙදෙනවා, රට කැඩෙනවා කියා බොරුවට කෑ ගහන්න යන්නේ නැහැ. විහාරස්ථානයකට පැමිණි අවස්ථාවක දී හෝ වෙනත් ස්ථානවල දී හෝ කතා කළ යුතු බොහෝ දේ තිබෙනවා.

දේශපාලනඥයන් වශයෙන් අප කිසියම් ප්‍රකාශයක් කරනවා නම් එය වගකීමෙන් කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතිකාවක් ඇතිව තිබෙන මේ අවස්ථාවේ රට බෙදෙනවා, රට කැඩෙනවා කියා බොරුවට කෑගැසීමෙන් කිසිඳු පළක් නැහැ. ප්‍රශ්නයට සැබෑ ලෙස මුහුණ දී ඊට සැබෑ විසඳුම් සෙවිය යුතුයි. මේ අවස්ථාවේ දී මල්වතු මහානායක ස්වාමීන් වහන්සේගේ උපදෙස් සහ අනුශාසනා ලබාගෙන ගැඹුරින් සිතා බලා අප හැමෝම කටයුතු කළ යුතුයි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය සහ අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බණ්ඩාරිගොඩ, මනූෂ නානායක්කාර, හිටපු ඇමැති පියසේන ගමගේ ඇතුළු දේශපාලනඥයන් රැසක් සහභාගී වී සිටියහ.

අසේල ලියනගේ සහ හිනිදුම විශේෂ
ඡායාරූප- හිරන්ත ගුණතිලක 

නව අදහස දක්වන්න