බියගම කර්මාන්ත පුරයක් කරන්න හේමාලෝක හිමි වෙහෙස වුණා | දිනමිණ

බියගම කර්මාන්ත පුරයක් කරන්න හේමාලෝක හිමි වෙහෙස වුණා

බියගම දෙල්ගොඩ ගොලුම්මහර ශ්‍රී සුභද්‍රාරාම විහාරාධිපතිව වැඩ විසු ගම්පහ දිසාවේ ප්‍රධාන සංඝනායක බියගම ශාසනාරක්ෂ බල මණ්ඩලයේ සභාපති අපවත් වී වදාළ ශාස්ත්‍ර විශාරද පණ්ඩිත ධර්ම කිර්ති ශ්‍රී ප්‍රඥාලෝක වතුරුවිල හේමාලෝක නාහිමියන්හේ ශ්‍රී දේහයට ඊයේ 20 දින අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීමට පමිණි අවස්ථාව.  මෙම අවස්ථාව සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන බියගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප්‍රසන්න සම්පත් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.  ඡායාරූපය- හිරන්ත ගුණතිලක

අගමැති

අපවත්වී වදාළ ගම්පහ දිසාවේ ප්‍රධාන සංඝනායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු සහකාර පිරිවෙන් අධ්‍යක්ෂ, බියගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, දෙල්ගොඩ ගොළුම්මහර ශ්‍රී සුභද්‍රාරාමාධිපති වතුරවිල හේමාලෝක නාහිමිපාණන්ගේ ශ්‍රී දේහයට ඊයේ (20) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්විය.

නාහිමි දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවට විහාරස්ථානවල ස්වාමීන්වහන්සේලා සහ බියගම ප්‍රදේශයේ එවකට තමා සමඟ කටයුතු කළ ක්‍රියාකාරී හිතවතුන් සමඟ සුහද කතාබහක නිරතවෙමින් විනාඩි විසිපහක පමණ කාලයක් විහාරස්ථාන පරිශ්‍රයේ ගත කළේය.

අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කීවේය.

කඩුවෙල බැලුම්මහර නව නුවර පාර සංවර්ධනය කිරීමේදී හා කඩුවෙල බියගම යා කරන පාලම ඉදිකිරීම, බියගම කර්මාන්ත කලාපය ඇතිකිරීම ඇතුළු ගම්පහ දිසාවේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ගණනාවකදී ඒවාට මැදිහත්වෙමින් අනුශාසනා ලබාදෙමින් වතුරවිල හේමාලෝක නාහිමිපාණන් මාවෙත ලබාදුන් සහයෝගය සදානුස්මරණීයයි.

අද උන්වහන්සේ වැඩ සිටින විහාරස්ථානය ඉතා කුඩා විහාරස්ථානයක්. එයින් පැහැදිලි වෙනවා, හේමාලෝක නාහිමියන් සමාජයට සුවිශාල මෙහෙවරක් කළත් උන්වහන්සේගේ සුඛවිහරණය ගැන අවධානය යොමු නොකළ බව.

1980 දශකයේ මෙම ප්‍රදේශ ඉතා නොදියුණු මට්ටමකයි පැවතුනේ. එසේ තිබුණු බියගම ප්‍රදේශයේ කර්මාන්ත පුරයක් ඇතිකර රැකියා බිහිකිරීමට වතුරවිල හේමාලෝක නාහිමියන් වැනි ආගමික සාමාජීය ක්‍රියාකාරීන්ගේ සහයෝගය අපට ලැබුණා.

එදා රඹුටන් විකිණීම ප්‍රධාන ව්‍යාපාරයක් කරගත් බියගම ප්‍රදේශයේ ජනතාව බියගම නිදහස් වෙළඳ කලාපය හරහා අද විවිධ ක්‍රමවලින් ආදායම් මාර්ග සකස්කරගෙන තිබෙනවා. එහි ගෞරවයේ කොටසක් හේමාලෝක නාහිමියන්ටද හිමිවිය යුතුයි.

බියගම සහ අවට ප්‍රදේශවල භෞතික හා සමාජීය ‍දේශපාලන ප්‍රගමනය උදෙසා මා සමඟ ඉතා ළඟින් සිටි චරිතයක් වූ වතුරවිල හේමාලෝක නාහිමිපාණන් අපවත්වීම පුද්ගලිකව මටත් ප්‍රදේශයටත් බලවත් පාඩුවක් යැයි අගමැතිවරයා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නාහිමි දේහයට අවසන් ගෞරව දැක්වූ අයුරු.

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාද මෙහි සිටිති.

සුදත් පුබුදු කීර්ති, දෙල්ගොඩ සමූහ

නව අදහස දක්වන්න