පාසල් මිදුලේ මත් විරෝධී සටන | දිනමිණ

පාසල් මිදුලේ මත් විරෝධී සටන

අසේල කුරුළුවංශ

2019 ජනවාරි 21 - 25 ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියයි

පාලිත බණ්ඩාර සුබසිංහ
මහනුවර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරී,නීතීඥ

මතට තිත තබනු වෙනුවට, තිතට මත වෙත ශ්‍රී ලාංකේය ජනතාව යොමු වීමේ ප්‍රවණතාව ක්‍රමයෙන් ඉහළ යෑමත්, එම පිරිසට පාසල් වයසේ පසුවන තරුණ තරුණියන් සැලකිය යුතු සංඛ්‍යාවක් ඇතුළත් වීමත්, අද රටක් ලෙස අප මුහුණදී තිබෙන බරපතළ ගැටලුවකි.හෙරොයින් මත්කුඩු හා තවත් විවිධ නම්වලින් හඳුන්වන මත්ද්‍රව්‍ය, කිලෝ ගණනින් හමුවීම, මෑතක සුලභව දක්නට ලැබිණි.

මෙරටට හොර රහසේ ගෙන එන මත්ද්‍රව්‍ය ප්‍රමාණය මෑත කාලීනව ඉහළ ගියේ ද, නැතහොත් නිසියාකාරව පොලිසිය ඇතුළු සෙසු අංශ නීතිය ක්‍රියාත්මක කරන්නේ මේ කාලවකවනුව තුළ ද යන්න වෙනමම සලකා බැලිය යුතු තත්ත්වයකි. අනෙක් පසින් ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙන බවට ද නොයෙක් කතා අසන්නට ලැබේ.

පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍යය භාවිතය ක්‍රමයෙන් වර්ධනය වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර, දිවයිනේ පොලිසි මඟින් කරන වැටලීම්වලට අදාළ දත්ත මඟින් මෙය මනාව පැහැදිළි කර ගත හැකි ය. මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් විවිධ රෝගවලට ගොදුරු වූ පාසල් සිසුන්, ප්‍රතිකාර සඳහා වෛද්‍යවරුන් කරා යොමුවන අවස්ථා ද පෙරට වඩා ඉහළ ගොස් තිබේ. දුම්පානය හා මද්‍යසාර භාවිතය නිසා වසරට විවිධ රෝගවලට ගොදුරුව මරණයට පත් වන සංඛ්‍යාව, පනස් දහසකට ආසන්න ය. මත්ද්‍රව්‍ය යනු එක් පැත්තකින් තම ජීවිතය ද, තවත් පැත්තකින් පවුලේ සාමය පමණක් නොව, ආර්ථිකය ද විනාශ කරන්නකි. පුද්ගලයා හා පවුල අවුලට පත් වන විට, එය සමස්තයක් ලෙස රටට හා රටේ ආර්ථිකයට බලපායි.

මත සහ රෝග

ලංකා දුම්කොළ සමාගමේ වසර 2017 වාර්ෂික වාර්තාවට අනුව, දිනකට රටක් ලෙස අප දුම්වැටි සඳහා වැය කරන මුදල, රුපියල් මිලියන තුන්සිය අසූවකි. මේ මුදල්වලින් 38% ක් පමණම ඇදී යන්නේ විදේශ රටවලට ය. දිනකට,මත්පැන් පානය සඳහා වැය කරන මුදල, රුපියල් මිලියන දෙසිය හතළිහයකි. බීර සඳහා දිනකට වැය කරන මුදල මිලියන පනස් අටකි. දුම්කොළ හා මද්‍යසාරවලින් වසරක් තුළ රජයට හිමිවන බදු අදායම රුපියල් බිලියන 104 කි.මේවා භාවිතය නිසා, රෝගී වන පිරිසට ප්‍රතිකාර කිරීම පිණිස රජය වසරකට රුපියල් බිලියන 140 ක් වැය කරන බව, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි. මේ දත්ත පෙන්වා දෙන්නේ, ආර්ථිකයට හා මත්ද්‍රව්‍ය භාවිත කරන අයගේ ජීවිතවලට වන බලපෑම ය.

පවුල් සංස්ථාව බිඳ වැටීම, ළමා හිංසනය, අනතුරු, ගැටුම්, අමනාපවීම් ඇතුළු තවත් කරුණු රැසක් මේ හා බැදී පවතී. මේ නිසා, රටක් ලෙස අප මත්ද්‍රව්‍ය භාවිතයෙන් හැකි තරම් ඈත් වීම, දෙවරක් නොසිතා ගත යුතු තීරණයකි. මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව දැන, ඒවා පාවිච්චි කරන පිරිසක් මෙන් ම, ආදීනව නොදැන රැල්ලට යමින්, ඒවා භාවිත කරන පිරිසක් ද සමාජයේ සිටිති. ආදීනව දැන ඒවා භාවිත කරන පිරිස අතරින් බොහෝ දෙනෙක්, ඉන් මිදීමට නොහැකි තරමට ඊට ඇබ්බැහි වී සිටින අතර, නොදැන මතට යොමු වූ පිරිස අතරින් බහුතරය පාසල් වයසේ පසුවන දරුවන් ය. මේ නිසා, මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව පිළිබඳ නිරන්තර දැනුම්වත් කිරීම, කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබේ.

පාසල් වයසේ පසුවන දැරියන්, මතට යොමු වීම පිළිබඳ ප්‍රවෘත්ති, මෑත කාලීනව නිතර අසන්නට ලැබේ. පිරිමින්ට වඩා විශේෂයෙන් මත්පැන්වලින් කාන්තාවන්ට වන අහිතකර බලපෑම ඉහළ ය. කාන්තාවන් නොයෙක් ක්ෂේත්‍රවලින් සමතැන ඉල්ලා සිටින අතර, ඒ වෙනුවෙන් කාන්තා සංවිධාන ද පෙරට පැමිණ ක්‍රියා කරන තත්ත්වයක් පෙනෙන්නට ඇත.කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම සඳහා අයිතියක් තිබිය යුතු බවට මතයක් කරළියට පැමිණියේ ද ඒ ඔස්සේ ය.නීතිය මඟින් පිරිමි හා කාන්තාවන් අතර සමතැන පිළිබඳ ප්‍රශ්නවලට විසැඳුම් සෙවිය හැකි ය.

එසේ වුවත්, ස්වභාව ධර්මය විසින් මේ දෙපිරිස සම තැනක තබමින් නිර්මාණය කර නොමැත. මත්පැන් ශරීරගත වූ පසු , ඒවා තැන්පත් වන්නේ මේද පටකය තුළ ය. පිරිමින්ට වඩා කාන්තාවන්ගේ මේද පටකයේ ඝනකම වැඩි ය. මේ නිසා ශරීරගත වන මත්පැන්, පිරිමියකුගේ ශරීරයේ රැඳී තිබෙන කාලයට වැඩි කාලයක්, කාන්තාවකගේ ශරීරයේ තැන්පත්ව තිබේ. මේ නිසා, මද්‍යසාර පානය කළ පිරිමියකු, මත් ගතියෙන් සිටින කාලයට වැඩි කාලයක්, කාන්තාවක් මත් ගතියෙන් පසුවනු ඇත. පියයුරු වැනි මේද වැඩිපුර ඇති ස්ථානවල මේවා තැන්පත් වීමෙන්, පිළිකා තත්ත්ව ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් ද පවතී.

අප ශරීරයේ ඇති තත්ත්ව පාලන ඉන්ද්‍රිය අක්මාවයි. මද්‍යසාර යනු ශරීරයට අහිතකර ද්‍රව්‍යයකි. මුඛය ඔස්සේ අමාශය කරා ගමන් කරන මත්පැන්වල ඇති අහිතකර ඇල්කොහොල්, අක්මාව හරහා ගමන් ගනිද්දී, ඒවා අක්මාව මඟින් විනාශ කෙරේ. අප පානය කරන මත්පැන්, මුල් අවස්ථාවේ අක්මාව හරහා යාමේදී එහි ඇති ඇල්කොහොල් වලින් 50 % ක් පමණ විනාශ කෙරෙන අතර, ඉතිරි ප්‍රමාණය රුධිරය හා මිශ්‍ර වෙයි. මුල් අවස්ථාවේ මත්පැන් පානය කරන පුද්ගලයකුගේ මේ අගය, මෙයට වඩා අඩු වන්නේ, එවැනි පුද්ගලයකුගේ අක්මාව මධ්‍යසාර විනාශ කිරීම පිණිස අවශ්‍ය එන්සයිම නිපදවීම ආරම්භ කර නොමැති බැවිනි. මොළයට ගමන් ගැනීමෙන් මොළයේ රසායනික ක්‍රියාවලියට වන බලපෑම හේතුවෙන්, මත් ගතියක් ඇති වෙයි.

මේ රුධිරය, අක්මාව හරයා අවස්ථා කිහිපයක් යෑමේදී, ඇල්කොහොල් ප්‍රමාණය ද එම අවස්ථා ගණනට සාපේක්ෂව විනාශ වෙයි. පුද්ගලයකු මත්පැන් පානය කර පැය කිහිපයක් ගිය විට, ක්‍රමයෙන් ඔහු මත් ගතියෙන් මිදෙන්නේ මේ නිසා ය. මුල් වතාවේ මත්පැන් පානය කරන විට, අක්මාව එක්වරම ඇල්කොහොල් විනාශ කරන්නට සුදානමින් නොසිටින නිසා, එවැනි අයකුට මත් ගතිය මුල් අවස්ථාවේ වැඩිපුර දැනීමට පුළුවන.ක්‍රමයෙන් ඒ සඳහා අක්මාව හැඩගැසෙද්දී, මත්වීම පිණිස වැඩි ප්‍රමාණයක් මත්පැන් පානය කිරීමට සිදු වෙයි.

නිතර මත්පැන් පානය කරන විට අක්මාව, තමන්ට අයිති සෙසු කාර්ය සියල්ල අත්හැර, ඇල්කොහොල් විනාශ කිරීමේ ක්‍රියාවලියට ප්‍රමුඛතාව දී කටයුතු කරන්නට යෑමෙන්, එහි ඇති ශෛල විනාශයට පත් වෙයි. මෙය එක් පැත්තකින් අක්මාව කර ගන්නා වූ සියදිවි නසා ගැනීමකි. කාන්තාවන්ගේ මේද පටලයේ ඝනකම වැඩි නිසා, ඔවුන්ගේ ශරීරය තුළ මධ්‍යසාර රැදී තිබෙන කාලය ස්වභාවයෙන් ම වැඩි වීම තුළ, අක්මාවට කිරීමට තිබෙන කාර්ය භාරය ද ඉහළ යයි. මේ නිසා, මත්පැන් පානය කරන කාන්තාවකගේ අක්මාව, මත්පැන් පානය කරන පිරිමියකුගේ අක්මාව විනාශ වීමේ ශීඝ්‍රතාවට වඩා වැඩි ය.

ආගමික පසුබිම

දරුවන් ආගමික පසුබිමෙන් ඈත් වීම ද, ඔවුන් මත්පැන් ඇතුළු විවිධ දුරාචාරවලට යොමු වීමට බලපා තිබේ. දහම් පාසල් නොයන දරුවා, අද යන්නේ එම වේලාවේ පැවැත්වෙන පෞද්ගලික පන්තියකට ය. තරගකාරීත්වය තුළ මවුපියන්ද දහම් පාසල් නොයවා, තමන්ගේ දරුවන් පෞද්ගලික පන්තිවලට යවන්නේ, දැඩි කැමැත්තකිනි. මත්ද්‍රව්‍ය යනු, ප්‍රතික්ෂේප කළ යුතු දෙයක් බව සෑම ආගමක් මඟින් ම පෙන්වා දී තිබේ. බුදුරජාණන් වහන්සේ පන්සිල් පදවලින් ද ඒ බව පැහැදිළි කර තිබේ. පවට ඇති බිය නිසා, අපි බොහෝ විට වැරැදි නොකර සිටින්නෙමු. ආගමික පරිසරයෙන් දරුවා ඈත් වූ විට, ඔහු කෙරෙන් මේ බිය නැතිවී යයි. අද වනවිට පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට යොමු වීමේ ප්‍රවණතාව වැඩි වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ, මේ තත්ත්වයයි. නේවාසික කඳවුරු අධ්‍යාපනය දැන් රැල්ලක් සේ සමාජය පුරා පැතිරෙමින් පවතී.

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග අසමත් වූ දරුවන් වෙනුවෙන් පැවැත්වෙන මේ නේවාසික කඳවුරු ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳ සොයා බැලීමට, වගකිව යුතු කිසිවකුගේ හෝ අවධානය මෙතෙක් යොමුවී නොමැත. මේ කඳවුරු තුළදී මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූ දරුවන්, ප්‍රතිකාර සඳහා රෝහල් ගතවන අවස්ථා බහුල ය. මත්ද්‍රව්‍ය නිසා විනාශ වන මොළයේ ශෛල යළි වර්ධනය නොවේ. ළමා කාලය තුළ, මේ හේතුවෙන් මොළයට වන අහිතකර බලපෑම, ජීවත කාලය පුරාම පවතී. පාසල් වයසේදී මත්ද්‍රව්‍යවලට යොමු වීමෙන්, මතකය ගිලිහීම, ආතතිය, තරහ යෑම, කාන්සිය, අලසකම වැනි ජීවිතය බිඳ වැටීමට හේතු වන රෝග රැසක් ඇති වීම, සාමාන්‍ය තත්ත්වයකි.

කාලීන අවශ්‍යතාවක්

මත්පැන් හා දුම්වැටිවලට වඩා වෙනස් ආකාරයේ මත්ද්‍රව්‍ය, දැන් සමාජයට එකතු වී තිබේ. මේවා පාවිච්චි කිරීමෙන්, විවිධ මානසික රෝග ඇති වන බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර තිබේ. ඇතැම් මත්ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය ආඥා පනත යටතේ අත්අඩංගුවට ගැනීම සඳහා නීති සකස් වී නොතිබීම ද බරපතළ ගැටලුවකි. මේ තත්ත්වය මඟින් ප්‍රයෝජන ගන්නා වෙළෙඳුන්, රිසි සේ ඔවුන්ගේ වෙළෙඳාම් කර ගෙන යන පසුබිමක් නිර්මාණය වී තිබේ. මත්වීමේ අරමුණින්, විවිධ මානසික රෝග තත්ත්ව සඳහා ලබාදෙන ඖෂධ වර්ග පානය කිරීමට ද, ඇතැම් පිරිස් යොමුව සිටිති. මානසික රෝග තත්ත්වයක් ඇති වන්නේ, මොළමේ රසායනික ක්‍රියාවලියේ පවතින සමබරතාව ගිලිහී යාම නිසා ය. ඖෂධ මඟින් සිදු වන්නේ, එය යථා තත්ත්වයට පත් කිරීම ය.

රසායනික ක්‍රියාවලිය නිසියාකාරව සිදු වන පුද්ගලයකු, මේ ඖෂධ ගැනීම නිසා, ඔහුගේ මොළයේ රසායනික ක්‍රියාවලිය වෙනස් වේ. එමඟින් සිදු වන්නේ, ඔහු නිකරුණේ මානසික රෝගියකු බවට පත් වීම ය. දුම්පානය ඍජුවම ලිංගික බෙලහීනතාව ඇති වීමට හේතු වන බව, වෛද්‍ය විද්‍යාත්මකව ද තහවුරු කර තිබේ. නිතර දුම්පානය කිරීමට හුරු වූ පුද්ගලයන්ගේ ලිංගේන්ද්‍රයේ කුඩා නහරවල කොලොස්ට්‍රොල් තැන්පත් වීම මඟින්, ඒවායේ රුධිරය එකතු වීම සීමා කෙරෙයි. රුධිරය හොඳින් පිරීම, ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් වීමට බලපාන අතර, අදාළ බාධාව ලිංගික දුබලතාව සඳහා මඟ පාදයි.

මත්පැන් පානය කර සිටින විට මොළයට සංඥා ගලා යෑම හා මොළයෙන් නිකුත් වන සංඥා අදාළ ඉන්ද්‍රිය වෙත ගමන් කිරීම මන්දගාමී වෙයි. මෙය අනතුරු ඇති වීමේ ප්‍රවණතාව ඉහළ යෑමට ප්‍රධාන හේතුවකි. බීමත්ව රිය පදවන අවස්ථාවක, පුද්ගලයකු පාර හරහා මාරු වුවහොත්, ඇස දකින එම පණිවිඩය මොළය වෙත ගමන් කරන්නේ ඉතා සෙමිනි. එමෙන් ම, ඒ සඳහා තිරිංග තද කළ යුතු බව කියන පණිවිඩය මොළයේ සිට පාදයට එන්නේ ද ඉතා මන්දගාමීව ය. මේ නිසා, බීමත් රියැදුරන් අතින් වන රිය අනතුරු සංඛ්‍යාව ඉතා වැඩි ය.

මෙවැනි අනතුරකින් දරුවකු, ගැබිණියක, දරුවන් සිටින මවක හෝ පියකු, නැතහොත් දරු පවුලකටම ජීවිත අහිමි වීමේ ඉඩක් ඇත. මත්ද්‍රව්‍ය පානය කරන පුද්ගලයන් පමණක් නොව, නොකරන පුද්ගලයන්ගේ ජීවිතවලට බලපෑම් වන බව ද අප තේරුම් ගත යුතු ය. නීති මඟින් පාලනය කිරීම හා සමානවම, අවබෝධය මඟින් මත්ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කරන තැනට සමාජය පත් කිරීම, අද අප හමුවේ පවතින විශාලත ම අභියෝගයයි. ඒ සඳහා, පූජ්‍ය පක්ෂය, දේශපාලන අධිකාරිය පමණක් නොව, සමස්ත සමාජයම ක්‍රියාකාරී මැදිහත් වීමක් කළ යුතුව ඇත.

මෙරට අනාගතය බාර ගැනීමට සිටින ළමා පරපුරට, මත්පැන්, දුම්කොළ සහ මත්ද්‍රව්‍යවල පවත්වා ආදීනව පැහැදිලි කර දීම, කාලෝචිත අවශ්‍යතාවක් වන්නේ එබැවිනි.මේ සඳහා පාසල් මට්ටමින් අදාළ වැඩසටහන් ආරම්භ කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වීම, වැදගත් පියවරකි. රජය මඟින්, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියක් ක්‍රියාත්මක කිරීමෙන්, රජය මේ කටයුත්තට මුලපුරා තිබේ.

පාසල්වල පවත්නා දේශනවලට පමණක් සීමා නොවී, දේශපාලනඥයන්, මාධ්‍යවේදීන්, පොලීසිය, පාසල් ගුරුවරුන්, සිවිල් සංවිධාන ඇතුළු සියලු පිරිස් මේ තුළට අන්තර්ග්‍රහණය කර තිබීම මඟින්, වඩා පලදායි ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව නො අනුමාන ය. සමජය යනු පුළුල් ඒකකයකි. ඒ තුළ සිටින එක් කණ්ඩායමක් පමණක් ඉලක්ක කර දේශන හෝ සම්මන්ත්‍රණ පවත්වා, ඵලදායි ප්‍රතිඵලයක් ලබා ගැනීමට ඇති හැකියාව අඩු ය. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය තුළ සිසුන් ඉල්ක්ක කර අදාළ වැඩපිළිවෙළ දියත් කිරීමේදී, සමජයේ සියලු කණ්ඩායම් එම අරමුණක් වෙත ගොනු කිරීම, යහපත් ප්‍රවණතාවකි.

 

නව අදහස දක්වන්න