මාධ්‍ය නියාමනයට මම එකඟ නැහැ | දිනමිණ


 

මාධ්‍ය නියාමනයට මම එකඟ නැහැ

දුමින්ද අලුත්ගෙදර

කලාවේදී විදර්ශන කන්නන්ගර

පසුගිය දිනවල මෙරට ජනමාධ්‍ය භාවිතය පිළිබඳ විශේෂ අවධානයක් සහ සාකච්ඡාවක් ඇති වූයේ, ජනමාධ්‍ය ආයතන කිහිපයක් ඉදිරිපිට දැක්වුණු නිහඬ වි‍රෝධතාව හේතුවෙනි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කරන ලද 'කළු මාධ්‍ය' සම්බන්ධ ප්‍රකාශය, ඉහත විරෝධතාව සමඟ සම්බන්ධ කරන්නට ද උත්සාහ ගත් බව ‍ෙපනුණි. අද එහා ඉවුරට එක්වන විදර්ශන කන්නන්ගර ද, එම විරෝධතාවේ ක්‍රියාකාරිකයෙකි.

පසුගියදා මාධ්‍ය ආයතන ඉදිරිපිට දී කළ විරෝධතාව සම්බන්ධයෙන් විවිධ අදහස්, චෝදනා එල්ල වෙනවා. ඔබ ඇතුළු පිරිස දේශපාලනික න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කළා කියලයි සඳහන් වුණේ. ඒ ගැන මොනවද කියන්නෙ?

විරෝධතාවට එක් වුණේ පුද්ගල එකතුවක්. එතැන විවිධ දේශපාලන අදහස් දරන අය ඉන්නවා. මම ගැන කතා කළොත්, මම වාමාංශික දේශපාලනය කරන කෙනෙක්. අනෙක් පැත්තෙන් මට, ස්වේච්ඡා සංවිධානවලට කිසි ම සම්බන්ධයෙක් නැහැ. සමහර ව්‍යාපෘති මුදල් අරභයා කරන ඒවා. ඒ පැත්තෙන් බැලුවහම, එන්.ජී.ඕ. කියන එක මට අදාළම නෑ. මම වෘත්තීය, සංස්කෘතික, දේශපාලනික අරගලවල ඉන්න කෙනෙක්. අපේ එකතුව තුළ විවිධ අදහස්, දේශපාලන මතවාද තිබුණත්, මාධ්‍යයේ තියෙන සාහසිකත්වයට එරෙහි වෙන්න පුළුවන්, පුළුල් ආරම්භයක් ගත්තා. ඒ නිසා, අපේ කණ්ඩායමේ එක් එක් පුද්ගලයාගේ දේශපාලන ස්ථාවරයට විවේචන එල්ල කළාට ගැටලුවක් නැහැ. අපට විවේචන එල්ල කරලා, අපි කරපු විරෝධතාව දෙස බලන්න කියලත් මම කියනවා.

පසුගිය දවසක අගමැතිවරයා කිව්වා, මේ රටේ 'කළු මාධ්‍ය' භාවිතයක් තියෙනවා කියලා. ඒත් එක්කම ඔබ කණ්ඩායම එළියට බැස්සා. මේ සිද්ධිය දේශපාලනිකයි කියලා කියන්නෙ, ඒ නිසා වෙන්න බැරි ද?

පාර්ලිමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය විතරක් මේ අදහස පළ කළේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණත් මේ මතය දැරුවා. 'කළු' කියන වචනය එජාපය හා ජවිපෙ කියන පක්ෂ දෙක ම නියෝජනය කරලා තියෙනවා. අපේ විරෝධතාවයේ තේමාව වුණේ, 'කළු මාධ්‍ය' කියන එක නෙමෙයි, 'ජඩ මාධ්‍ය' කියන එකයි. ඔබ අහන ප්‍රශ්නය හරි, මාධ්‍ය පිළිබඳ විරෝධයක් හදිසියේ මතු වෙන්න, රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේ කරපු කතාව හේතු වුණා නේද කියලා අහන්න පුළුවන්. ඒත්, දේශපාලන පක්ෂවලින් මාධ්‍යයට එල්ල වුණ විරෝධයත් එක්ක, අපේ විරෝධතාව සම්බන්ධ කළාට ප්‍රශ්නයක් නැහැ. අපේ විරෝධතාවයේ රැඳිලා ඉන්න පිරිස, මේ දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රවල නැහැ. අපේ විරෝධතාවයේ ඇත්ත අරමුණ මොකක්ද කියලා, මාධ්‍ය ආයතන හා හිමිකරුවෝ හිතලා බලන්න ඕනැ.

වත්මන් ආණ්ඩුවේ දූෂණ, වංචා හෙළිදරව් කරන මාධ්‍ය ආයතනවලට එරෙහිව, මේ විරෝධය මතුවුණා කියලයි විරුද්ධ දේශපාලන මතධාරීන් පෙන්නලා දුන්නේ. ඒ කාරණයට කලාකරුවන් භාවිත කරනවා කියලත් සඳහන් වුණා?

මේ විරෝධතාවට සම්බන්ධ වුණ, වාමාංශික දේශපාලනයේ නියැලෙන මම ඇතුළු පිරිසට, රනිල් වික්‍රමසිංහ මහත්තයාට හරි, ආණ්ඩුවට හරි එල්ල වෙන දූෂණ චෝදනා ආපස්සට හරවන්න පුළුවන් ද? උදාහරණයක් ගත්තොත්, ඔක්තෝබර් 26 වැනිදා සිද්ධියේ දී අපි පවත්වපු මාධ්‍ය සාකච්ඡාවේදී, මගේ පූර්ණ විවේචනය තිබුණේ යහපාලන ආණ්ඩුවට. මම හෙටත් ඒ මතයේ සහ අරගලයේ ඉන්නවා. එතකොට කොහොම ද අපට එහෙම කියන්නෙ? අපේ කණ්ඩායමේ සහෝදරවරු විවිධ දේශපාලන මත දරන අය. ඒ හැම කෙනෙක්ම යහපාලන රජයට සහ බැඳුම්කර වංචාව වැනි සිද්ධිවලට එරෙහි වෙනවා. අපි කොතැන අරගල කළත්, වංචා , දූෂණවලට එරෙහිව හඬ නඟනවා.

විරෝධතාවයෙන් පස්සෙ, විද්‍යුත් මාධ්‍ය ආයතනයක සේවයේ නියැලී සිටි කලාකරුවන් සේවයෙන් ඉවත් වෙලා තිබුණා. ඉවත් වුණේ ඇයි?

ඕනෑම මාධ්‍ය ආයතනයකට හිමිකරුවෙක් ඉන්නවා. ඔහුට හෝ ඇයට ප්‍රාග්ධනය තියෙනවා. ඒ එක්කම, මාධ්‍ය ආයතනයක කර්තෘ මණ්ඩලය කියලා එකක් තියෙනවා. අයිතිකරුවාගේ ප්‍රාග්ධනයෙන් පමණක්, කර්තෘ මණ්ඩලය පාලනය වෙන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය මාධ්‍යකරණයේ රෙගුලාසි. හිමිකරුවාගේ දේශපාලනය ඒ මාධ්‍යයෙන් එළියට එන්නේ, ඉතා ම කලාතුරකින්. එහෙත්, කලාතුරකින් එවැනි දෙයක් වුණත්, සාපේක්ෂ ස්වාධීනත්වය කර්තෘ මණ්ඩලයකට තියෙනවා. අපි විරෝධතා දක්වපු ප්‍රධාන ආයතන දෙකක, වහල් බවෙන් මාධ්‍ය භාවිත කරන පිරිසක් ඉන්නවා. එක පැත්තකින්, වහල් හිමියා කියන ඕනෑම කොන්ත්‍රාත්තුවක් කරන වහල්ලු ටිකක් මේ මාධ්‍ය ආයතන ඇතුළේ ඉන්නවා. ඒ වහල්භාවෙයන් මිදෙන එක තමයි අපේ කලාකරුවාගේ වගකීම.

ඔබ කියන්නේ මේ රටේ මාධ්‍ය ආයතන මහජන මතයේ ඉඳලා කටයුතු කළ යුතුයි කියල ද?

සම්පූර්ණයෙන් එහෙම කරන්න බැහැ. ඕනෑම මාධ්‍ය ආයතනයකට, පෞද්ගලිකව ගත්තොත් ප්‍රශ්න තියෙනවා. එහෙම තිබියදී මේවා ජනතා මාධ්‍ය කියලා අපට තර්ක කරන්න බැහැ. ඒත්, මාධ්‍ය හැසිරවීමේ දී අවම වශයෙන් තොරතුරුවල සත්‍යතාවවත් රැක ගන්න, මාධ්‍ය ආයතන කටයුතු කරන්න ඕනැ.

මාධ්‍ය ආයතන නියාමනයට හා ආචාරධර්ම පද්ධතියක් ඕනැ කිව්වේ ඔය කියන කාරණයට නේද?

මේ රටේ මාධ්‍ය ආයතන, රජයෙන් හෝ වෙනත් බල අධිකාරියකින් නියාමනය විය යුතුයි කියලා කොයිම වෙලාවකවත් මම කියන්නෙ නැහැ. ඒ අදහසට මම, සම්පූර්ණයෙන් ම විරුද්ධයි. අපට අවශ්‍ය වෙන්නේ, සමාජයත් එක්ක මාධ්‍ය ආයතන තියෙන සම්මුතිය විතරයි. මාධ්‍යයට නිදහස තිබිය යුතුයි. එහෙම නැතිව, නියාමනයක් අවශ්‍ය නෑ. අපි කියන්නේ, ජනතාවට තොරතුරු සැපයීමේ දී සත්‍ය තොරතුරු දෙන්න කියලයි. මේ රටේ මහජනතාවගේ විඥානය අවදි කරන්න මාධ්‍ය ආයතන කටයුතු කළ යුතුයි. ඒ තැනට මාධ්‍ය එනවා නම්, අපේ විරෝධයක් නැහැ.

දේශපාලන ගැටුම් තිබුණත්, මේ රටේ මාධ්‍යයට මෑත කාලයේ නිදහසක් ලැබී තිබෙන බවක් පේනවා. ඒ ගැන මොනවද කියන්නෙ?

සුදු වෑන් සංස්කෘතිය නැහැයි කියලා, මේ ආණ්ඩුවෙන් මාධ්‍ය නිදහසක් ලැබුණා කියලා මට කියන්න බැහැ. ඒත්, මාධ්‍ය ආයතන පාලනය කරන වෙනත් ක්‍රම ඕනෑ තරම් තියෙනවා. යහපාලන රජය මාධ්‍ය නිදහසක් ඇති කළා කියන තැන මම නැහැ. ඒත්, මාධ්‍ය නිදහස කියන්නේ, ජනතාවත් එක්ක කරන ගනුදෙනුවක්. ජනතා හඬට මාධ්‍යයේ ඉඩක් තියෙනවද කියලා, අපි ජනතාවගෙන් අහන්න ඕනැ. අපේ රටේ රාජ්‍ය මාධ්‍ය පවා, ජනතා අරගලවලදී ජනතා හඬට කන්දීපු අවස්ථා තියෙනවා. අද අපට දකින්න තියෙන දේ සතුටුදායක නැහැ.

ඔබ ඇතුළු පිරිස දක්වන විරෝධයට කලින්, මාධ්‍ය ආයතනවලට බලපත්‍ර ලබාදෙන නියාමන ආයතනවලට, මේ ගැන කටයුතු කරන්න වගකීමක් තියෙන්න ඕනැ නේද ?

පළමු දේ තමයි මූල්‍ය ප්‍රාග්ධනය. ඒ ඒ ආයතන මූල්‍ය ප්‍රාග්ධනයට යටත් වගේම, දේශපාලන බලයට යටත්. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන ගැන එවැනි සාකච්ඡාවක් තිබුණේ නැහැ. මතුකරන ඔය කාරණය ඉතා වැදගත්. පසුගියදා පැවැති විරෝධතාව දිහා විපරම් කරලා තමයි මේ සාකච්ඡාව ගන්න තියෙන්නේ. පුවත්පත් හෝ රූපවාහිනි, ගුවන්විදුලි මාධ්‍යවල සදාචාරයක් හෝ ආචාර ධර්ම පිළිබඳ කථිකාවක් නැහැ.

ඒත්, ඔබ මතුකරන ප්‍රශ්නය ගැන හිතන්න ඕනැ. මාධ්‍ය ආයතනවලට සංඛ්‍යාත දෙන්නෙ කොහොම ද? කාට ද දෙන්නේ? ඒ අයට ඒ බලපත්‍ර ලබා දෙන්න තියෙන අයිතිය මොකක් ද? දේශපාලනික හා ව්‍යාපාරික බලය විතරක් තියෙන අයට විතරක් ඇයි දෙන්නේ? මේවා තමයි ප්‍රශ්න. දේශපාලන බලය හා ව්‍යාපාර බලය තියෙන අයට විතරක් මේ සංඛ්‍යාත ලබා දීම, වැඩවසම් ක්‍රමයේ ලක්ෂණයක්. එක පැත්තකින් අපි සංඛ්‍යාතවල පොදු අයිතිය ගැන තර්ක කරනවා. ජනතාවට අයිති සංඛ්‍යාත, ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න භාවිත කළ යුතුයි.

අනෙක් පැත්තෙන්, වෙළෙඳ පොළ අර්ථයෙන් බැලුවත්, එක් පිරිසක් සංඛ්‍යාත හිමි කරගෙන සිටීම නිදහස් වෙන්න ඕනැ. අපි තවමත් ඉන්නෙ වැඩවසම් යුගයක. මාධ්‍ය ආයතන ගෝත්‍රික, දේශපාලනික බලයට යටත්, ගතානුගතික මාධ්‍ය භාවිතයක් කරනවා. එතැනින් අපි නිදහස් වෙන්න ඕනැ. ඒ අරගලය තමයි අපි මේ ආරම්භ කරලා තියෙන්නේ.

කලාකරුවන්ට අපේ රටේ මහජන ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කරන්න, විරෝධතාවලට එහාට ගිහින්, කලා නිර්මාණවලින් ඒක කරන්න බැරි ද?

මෙතැනදී ශ්‍රී ලංකාවේ ඉන්න කලාකරුවා කවුද කියලත් බලන්න වෙනවා. අපේ විරෝධතාවට සම්බන්ධ වුණ කලාකරුවන් ඇතුළු ඉතා ම අතළොස්සක් ඇරෙන්න, අනෙත් අය සම්පූර්ණයෙන් ජාතිවාදය හා කෑදරකම අරන් යන අය. එහෙම බැලුවොත්, අපේ රටේ කලාකරුවෝ කියලා පිරිසක් නැහැ.

කලාකරුවා කියන්නේ තමන්ගේ සමාජ අයිතිවාසිකම් වගේ ම, සමාජයේ තියෙන බල රටා ගැන අවබෝධයක් තියෙන සමාජය සවිඥානික කරන පිරිසක්. කලාකරුවන් සමාජය ඉදිරිපිට, දේශපාලනඥයන් ඉස්සරහා, මුදල් ඉස්සරහා, දැන්වීම් ඉස්සරහා ඇඹරෙන පිරිසක් නෙමෙයි. ඒත්, ශ්‍රී ලංකාවේ කලාකරුවන්ගෙන්, මේවා බලාපොරොත්තු වෙන්න බෑ. මාධ්‍ය ආයතනවල සංඛ්‍යාත අයිති ජනතාවට, දේශපාලනයේ නිරවුල් බව අපි ගොඩනගන්න ඕනැ.

එහෙම වුවමනාවක් තියෙන ඉතා ම සීමිත කලාකරුවන් පිරිසක් ඉන්නවා. ඒ විරෝධතාව තමයි මේ එන්නේ. ඒ නිසා, අපේ අරමුණ වෙලා තියෙන්නේ, ඇතිවෙමින් යන මේ විරෝධතාවෙන්, දේශපාලන කල්ලි කණ්ඩායම්වලට වාසි සහගත නොවන ආකාරයෙන්, ජනතාවගේ අනාගත සුබ සිද්ධිය හා ජනතා විඥානය පුළුල් කරන ආකාරයේ ජන පවුරක් හදන එකයි . මේ ආරම්භය විතරයි. අපි හැප්පෙන්නෙ කළුගල් එක්ක. දැන් තියෙන මාධ්‍ය ආයතන, දේශපාලන බලය අල්ලා ගනිමින්, මාධ්‍ය අධිරාජ්‍යයක් බිහි කරගෙන තියෙනවා. ඒකත් එක්ක හැප්පෙනවා කියන්නෙ, ලෙහෙසි පහසු නැහැ. අපි ඉතාමත් විධිමත්ව, ශ්‍රී ලංකාවේ බුද්ධිමතුන්, වියතුන් මේ අරගලයට එකතු කරගන්න ඕනැ.

ඔබලාගේ විරෝධය සම්බන්ධයෙන් ජනතාවට මොනවද කියන්නේ?

ජනතාව මහන්සිවෙලා විවේක ගන්න ඉතා ම වටිනා කෙටි කාලය, මාධ්‍ය ඉදිරියේ ගත කරන්න එපා කියලයි මම කියන්නේ. අර්ථයක් නොමැති ටෙලි නාට්‍ය, ජාතිවාදය, මිථ්‍යාව වපුරන වැඩසටහන් නිසා, ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ පිරිමි, ජීවිතය අහිමි කරගෙන තියෙනවා. නියම කලාව, සාහිත්‍ය, දේශපාලන න්‍යාය, මතවාදවලට ජනතාව නැඹුරු විය යුතුයි. දැන් තියෙන මාධ්‍ය, ජනතාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතුයි. ජනතාවගේ මනස විකෘති කරන නරක තැනකට මාධ්‍ය ආයතන ගිහින්. අපි ඒ ගැන අරගල කරනවා. ජනතාවත් මේ ගැන සවිඥානිකව ප්‍රතිචාර දැක්විය යුතුයි. එතකොට ඔය කියන මාධ්‍ය ආයතන නිරායාසයෙන් අහෝසි වෙලා යනවා.

 

නව අදහස දක්වන්න