බැසිල්ට එරෙහි ලිත් නඩුව මාර්තු 28 දා | දිනමිණ

බැසිල්ට එරෙහි ලිත් නඩුව මාර්තු 28 දා

කුමුදු හෙට්ටිආරච්චි

ජනාධිපති පනතට පටහැනි වන ආකාරයට පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර රජයට රුපියල් දෙකෝටි අනූහතරලක්ෂයක මුදලක් පාඩු කළ බවට අධිචෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහි නඩුව මාර්තු 28 දින යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (21) නියම කළේය.

නඩුව ඊයේ (21) කැඳවූ අවස්ථාවේ අධිචෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පවසා සිටියේ මෙම නඩුව වෙනත් විනිසුරුවරයකු හමුවේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සම සලකා බැලෙන බව හා ඒ සම්බන්ධව තීන්දුව ප්‍රකාශයට පත් කර නොමැති බවයි.

කරුණු සළකා බැලූ විනිසුරුවරයා අභියාචනාධිකරණ තීන්දුව ලැබෙන තෙක් නඩුව යළි කැඳවීම එසේ කල්තබන ලදී.

2015 නොවැම්බර් මස 23 ‍වැනිදාත් දෙසැම්බර් මස 31 අතර කාලයේදී කොළඹ දී ඒ වන විට ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියම කර තිබියදී එම ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කරමින් ජනාධිපතිවරණ මැතිවරණ පනතේ ප්‍රතිපාදනයන්ට පටහැනිවන අයුරින් දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තු මුදලින් අලුත් අවුරුදු ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදාහැරීම මඟින් රජයට ඉහත මුදල පාඩුකර ඇති බවට නීතිපතිවරයා විසින් විත්තිකරුවනට එරෙහිව අධිචෝදනා නඟා ඇත.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙනී සිටියහ.

නව අදහස දක්වන්න