ගෝඨාභය රාජපක්ෂ ත්‍රිපුද්ගල අධිකරණයට - UPDATE | දිනමිණ

ගෝඨාභය රාජපක්ෂ ත්‍රිපුද්ගල අධිකරණයට - UPDATE

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත අද(22)පැමිණියේය.
 
ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් තුන් කෝටි තිස් නව ලක්ෂයකට අධික ප්‍රමාණයක් අවභාවිතා කළැයි සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ නඩුවට පෙනි සිටිම සදහා ඔහු මෙලෙස පැමිණ ඇත.

 

ලක්ෂ 339ක රජයේ මුදල් අවභාවිතය:

ගෝඨාභය ඇතුළු විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර කියවා පහදා දෙයි

වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් රුපියල් ලක්ෂ තුන්සිය තිස් නවයක මුදලක් යොදා එම මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනාට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේදී ඊයේ (22) අධිචෝදනා පත්‍ර කියවා පහදා දෙන ලදී.

නඩුවේ විභාගය ආරම්භ කිරීමට ප්‍රථම විත්තිකරුවන් හට අධිකරණ භාෂා පරිවර්තකවරයා විසින් අධිචෝදනා එසේ කියවා පහදා දුනි.

පැමිණිල්ල විසින් නම් කර සිටි පැමිණිල්ලේ සාක්කිකරුවන් 18 දෙනෙක් ඊයේ (22) ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ අධිකරණය නිකුත් කළ සිතාසි මත ඔවුන් අධිකරණය හමුවේ පෙනී සිටි බවයි.

සාක්කිකරුවන් විදේශගතවන්නේ නම් ඒ සඳහා කලින් අධිකරණය දැනුවත් කර අධිකරණයේ අවසරය ලබාගත යුතු බවට නියෝගයක් නිකුත් කළද ඊයේ (22) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර ඇත්තේ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේරත්න මහතා දන්වා සිටියේය.

අධිකරණය හමුවට පැමිණ සිටි සාක්කිකරුවන්ගෙන් තිදෙනෙක් විදේශගතවීම් සඳහා ඊයේ (22) අධිකරණ අවසර පතා සිටි අතර එම අවසර දිවුරුම් ප්‍රකාශ මගින් ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට විනිසුරු මඬුල්ල දන්වා සිටියේය.

ප්‍රමාද දෝෂයකින් හෝ සාක්කිකරුවන් අධිකරණයට පැමිණීම සම්බන්ධව පැමිණිල්ල සතුටට පත්වන බව අධිකරණයට දන්වා සිටි නීතිපතිවරයා වෙනුවෙන් මේ නඩුවට පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් පවසා සිටියේ සාක්කිකරුවන් විදේශගතවන්නේ නම් ඒ සඳහා වගකීම භාරගත හැකි ඇපකරුවන් අධිකරණයට ඉදිරිපත් කර සුදුසු ඇපකර මත ඒ සඳහා අධිකරණයේ අවසර ලබාගන්නා ලෙසට නියෝග කරන ලෙසයි.

ඒ අනුව වගකිවයුතු ඇපකරුවන්ද සමඟ විදේශගතවීම සඳහා කරන ලද ඉල්ලීම දිවුරුම් ප්‍රකාශ මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට සාක්කිකරුවන්ට නියෝග කළ විනිසුරුවරයා නැවත කෙටි කැඳවීමක් ලද විගස අධිකරණය හමුවේ සාක්කිදීමට පෙනී සිටින ලෙස අවවාද කරමින් ඊයේ (22) අධිකරණය හමුවේ පෙනී සිටි සාක්කිකරුවන් මුදාහරින ලදී.

සම්පත් අබේකොන් (සභාපති), සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ නඩුව විභාගයට ගැනේ.

නඩුවෙන් අධිචෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂන ද සිල්වා, භද්‍රා උදුලාවතී කමලදාස, සුදම්මික කේවින්ද ආටිගල, සමන් කුමාර ආබ්‍රහම් ගලප්පත්ති, මහින්ද සාලිය හා ශ්‍රීමනී මල්ලිකා කුමාර සේනාධීර විත්තිකරුවෝ ඊයේ (22) අධිකරණය හමුවේ පෙනී සිටියහ.

විත්තිකරුවන්ට චෝදනා කියවාදීමෙන් පසු සියලු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ මේ නඩුව විභාගයට ගැනීමට මේ අධිකරණයට අධිකරණමය බලයක් නොමැති බවයි.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඒ බව සනාථ කිරීම සඳහා අධිකරණය හමුවේ ඊයේ (22) දීර්ඝ ලෙස කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ නඩුවේ සියලු ලේඛන අනුව පෙනීයන්නේ විත්තිකරුවන් රුපියල් මිලියන තිස්තුනක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට ලේඛන මගින් චෝදනා නඟා තිබුණ ද එය කිසිසේත් මූල්‍යමය හෝ ආර්ථික වරදක් නොවන බවයි.

ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතාද කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ මේ නඩුව විභාගයට ගැනීමට මේ අධිකරණයට ඇති බලය සම්බන්ධයෙන් නිශ්චිතභාවයක් නොමැති නිසා විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇති සාපරාධී සාවද්‍ය පරිහරණය හා පොදු දේපළ පනත යටතට ගැනෙන වැරැදි වෙනුවෙන් චෝදනා තීරණය කිරීමට අධිකරණයට බලයක් නැති බවයි.

අගවිනිසුරුවරයා විසින් මේ අධිකරණයේ මේ නඩුව පවත්වාගෙන යෑම සම්බන්ධව බලය පවරා ඇති ලිපිය විත්තිය වෙත ලබා දී නොමැති බව ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා මහතා කරුණු දක්වමින් පවසා සිටියේය.

එයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසා සිටියේ එම ලිපිය හුවමාරු වී ඇත්තේ අගවිනිසුරුතුමා හා විනිසුරුවරුන් අතර බවත් එම ලිපි සැමට ලබාදීමට හෝ ප්‍රසිද්ධ කිරීමට බලයක් නැති හෙයින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසයි.

තවද මේ වන විටත් විත්තියට අවශ්‍ය ලේඛන පනස් දහසකට අධික ප්‍රමාණයක් ලබා දී ඇති බවත් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

නඩුවේ 53 වැනි සාක්කිකරු දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර ඔස්ටරිකා රටට යෑම සඳහා අවසර පතා සිටියේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසා සිටියේ දිවුරුම් ප්‍රකාශයක් අධ්‍යයනය කර රහස් පොලිසිය හරහා එම කරුණු සනාථ කර ගැනීමට අවශ්‍ය බවයි.

ඒ අනුව විදේශගතවීමට අවශ්‍ය සාක්කිකරුවන්ට දිවුරුම් ප්‍රකාශ මත එම කරුණු දැක්වීම සඳහා නඩුව මේ මස 25 වැනිදා කැඳවීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නියෝග කළේය.

විත්තිකරුවනට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටීම අනවශ්‍ය බව දැනුම් දුනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (22) දන්වා සිටියේ විත්තිය වෙනුවෙන් අධිකරණ බලය සම්බන්ධව ඉදිරිපත් කළ මූලික විරෝධතාවට එරෙහිව කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙසටයි. නීතිපතිවරයාට කරුණු දැක්වීම සඳහා නඩුව යළි ලබන 31 වැනිදාට කැඳවෙයි.

නීතිපතිවරයා විසින් අධිචෝදනා 07 ක් යටතේ විත්තිකරුවනට එරෙහිව මේ නඩුව පවරා ඇත.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, අනිල් සිල්වා , අලි සබ්රි යන මහත්වරු සමඟ නීතිඥවරු මඬුල්ලක් පෙනී සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරුන් වන වසන්ත පෙරේරා, උදාර කරුණාතිලක මහත්වරු සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.

කුමුදු හෙට්ටිආරච්චි

නව අදහස දක්වන්න