ක්‍රිකට් නිලවරණය කල්දැමීමට ජගත් කවුන්සිලයෙන් අනුමැතිය | දිනමිණ

ක්‍රිකට් නිලවරණය කල්දැමීමට ජගත් කවුන්සිලයෙන් අනුමැතිය

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සති දෙකකින් කල්දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගත් පියවරට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමි වෙයි. ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක ඩේවිඩ් රිචර්ඩ්සන් මහතා ඩුබායි මූලස්ථානයේදී පෙරේදා හමුවී පැවැත්වූ සාකච්ඡාවකදී සැලසුම් කළ පරිදි ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට සම්පූර්ණ සහය ලබාදෙන බව පවසා ඇත.

“ක්‍රිකට් නිලවරණයේ ඡන්ද ඉල්ලන හා නොඉල්ලන බොහෝ දෙනකු අපට චෝදනා කළා. නිලවරණය කල් දැමීමෙන් අයි. සී. සිය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන බවට නැගූ චෝදනා සියල්ල වැරදියි. අයි. සී. සිය නිලවරණය පෙබරවාරී 21වැනිදා පවත්වන්න සියලු සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වූවා“ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ලබන මස 7වැනිදා පැවැත්වීමට කලින් තීරණයවී තිබුණද මතුවූ නීතිමය ගැටලුවක් හේතුවෙන් සති දෙකකට නිලවරණ දිනය කල්දැමුණි.

එලෙස නිලවරණය කල් දැමීමට සිදු වූයේ ක්‍රිකට් අභීයාචනා කමිටුව පත් කිරීම සම්බන්ධ ගැසට් නිවේදනයේ සිංහල හා ඉංග්‍රීසි පිටපත්වල පරස්පරයන් තිබූ හෙයින් බව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් හා ක්‍රිකට් නිසි බලධාරී චූලානන්ද පෙරේරා මහතා මෙයට දින කිහිපයකට පෙර පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. ක්‍රිකට් අභියාචනා කමිටුවට සාමාජිකයන් පත් කිරීමේදී විශ්‍රාමික විනිසුරුවෙකු ලෙස ඉංග්‍රිසි ගැසට් පත්‍රයේ සදහන්ව තිබුණද, සිංහල පිටපතේ විශ්‍රාමික යන්න සඳහන්ව නොතිබූ හෙයින් නැවැත නිවැරදි පරිවර්තන සහිත ගැසට් නිවේදන සකස් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයට සිදුවිය.

එම වරද තිබියදී ක්‍රිකට් නිලවරණය පැවැත්වූයේ නම්, යම් අයෙකු අධිකරණයට ගොස් නිලවරණය අභියෝගයට ලක් කිරීමේ හැකියාව තිබූ හෙයින් වරද නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගැනීම අත්‍යාවශ්‍ය කටයුත්තක් බව සඳහන් විය. මේ සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවේ ලිඛිත උපදෙස් වූයේ ගැසට් පත්‍රවල පරස්පරතාව නිවැරදි කොට නිලවරණය පවත්වන ලෙසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා විසින් නිලවරණය කල්දැමීම පිළිබඳ ඊමේල් පණිවිඩ මගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් දැනුම්වත් කිරීමට ද පියවර ගෙන තිබිණි.

නව අදහස දක්වන්න