ටෙස්ට් පිටියේ අසමසම වාර්තාවක් බිහිකළ වෙත්තමුණි පවුලේ ‘මිත්‍ර’ සමු ගනී | දිනමිණ

ටෙස්ට් පිටියේ අසමසම වාර්තාවක් බිහිකළ වෙත්තමුණි පවුලේ ‘මිත්‍ර’ සමු ගනී

මෙරට ක්‍රිකට් ක්‍රීඩා වංශ කතාවේ නොමැකෙන නමක් සටහන් කළ වෙත්තමුණි පවුලේ දෙවැන්නා වන මිත්‍ර වෙත්තමුණි මහතා වකුගඩු ආශ්‍රිත රෝගාබාධයක් හේතුවෙන් පෙරේදා අභාවප්‍රාප්ත විය. මිය යනවිට 68 හැවිරිදි වියෙහි පසුවූ මිත්‍ර වෙත්තමුණි මහතා ආනන්ද විදුහලෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවෙකි. හෙතෙම 1983 වසරේ නවසීලන්තයේ පැවැති ටෙස්ට් තරගමාලාවේදී සිය බාල සොයුරු සිදත් වෙත්තමුණි සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් වාර්තාපොතට එක්විය. එවකට එය වාර්තාවූයේ ටෙස්ට් තරගයකදී ඉනිමක් ආරම්භ කළ ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ තුන්වැනි සොයුරු යුගලය ලෙසටය. ඊට පෙර එංගලන්තය වෙනුවෙන් 1880දී සුප්‍රකට ග්‍රේස් පවුලේ ඊ.එම්.ග්‍රේස් සහ ඩබ්.ජී.ග්‍රේස් ද, පාකිස්තානය වෙනුවෙන් 1969දී හනීෆ් මොහොමඩ් සහ සදික් මොහොමඩ් සොයුරන් ද ටෙස්ට් ඉනිමක් ආරම්භ කරමින් වාර්තාපොතට එක්වී සිටියහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 2කට සහ එක්දින තරගයකට ක්‍රීඩා කළ ඒ මහතාට ජාතික කණ්ඩායම වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදීමට නොහැකිවූවත් වසර 1970දී ආනන්ද විදුහලේ පළමුපෙළ ක්‍රිකට් පිලට නායකත්වය ලබාදෙමින් පිත්තෙන් මෙන්ම සිය පිටදඟ පන්දුවෙන් ප්‍රතිවාදින් මෙල්ල කිරිමට සමත්වූ එවකට කැපී පෙනුණු ක්‍රීඩකයකු විය. වසර 1969 -70 කාලයේ පාසල් ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය කරමින් සාර්ථක ඉන්දීය සංචාරයකට එක්වූ අතර පසුව ශ්‍රී ලංකා පිලේ නායකත්වය දැරූ බන්දුල වර්ණපුර හා දුලිප් මෙන්ඩිස් මහත්වරු සමග එම අවුරුදු 19න් පහළ ටෙස්ට් තරගමාලාවෙන් ශ්‍රී ලංකාවට තරග 2-0ක විශිෂ්ඨ ජයක් අත්කරදීමට දායකත්වය ලබාදුන්නේය.

ඔහුගේ වැඩිමල් සොයුරු සුනිල් වෙත්තමුණි ගුවන් නියමුවරයකු ලෙස කටයුතු කරන අතර බාල සොයුරු සිදත් වෙත්තමුණි කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

ඔහුගේ බිරිඳ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලේ අධ්‍යක්ෂිකාවක් වන අතර පුතුන් දෙදෙනා වෙත්තමුණි පවුලේ වැඩිමලා වූ සුනිල් වෙත්තමුණි මහතාගේ අඩිපාරේ යමින් ගුවන් නියමුවෝ බවට පත්වූහ.

මිත්‍ර වෙත්තමුණි මහතාගේ අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේදී ඊයේ සිදුකෙරිණි.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න