චැම්පියන් ලීග් තරග කාල සටහන පිළිබඳ පාපන්දු සමාජවලින් සම්මේලනයට චෝදනා | දිනමිණ

චැම්පියන් ලීග් තරග කාල සටහන පිළිබඳ පාපන්දු සමාජවලින් සම්මේලනයට චෝදනා

ප්‍රින්ස් ගුණසේකර

මේ දිනවල ක්‍රියාත්මක චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ තරග කාල සටහන නිසි ලෙස අවසන් කොට ප්‍රසිද්ධ නොකිරීම පිළිබඳ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තරගාවලි කමිටුවට තරගාවලියට එක්ව සිටින ක්‍රීඩා සමාජවලින් චෝදනා එල්ල වෙයි. මෙතෙක් නිමාවූ සෑම වසරකම චැම්පියන් ලීග් තරගාවලිය ආරම්භවීමට කලින් පොත් පිංචක් මුද්‍රණය කොට සම්පූර්ණ තරග කාල සටහන ප්‍රසිද්ධියට පත්කළද, මෙවර සති දෙකෙන් දෙකට තරග පැවැත්වෙන ආකාරය ක්‍රීඩා සමාජවලට ලබාදීමෙන් කල් ඇතිව සැලසුම් සකස් කර ගැනීමට අපහසු බව එම ක්‍රීඩා සමාජවල මැසිවිල්ලකි.

චැම්පියන් ලීග් පාපන්දු තරගාවලිය ඉක්මණින් නිමා කිරීමේ අදහසින් සතියකට තරග දෙකක් හෝ තුනක් පැවැත්වීමට පාපන්දු සම්මේලනය කටයුතු කිරීමෙන් ක්‍රීඩකයන් වෙහෙසට පත්වී බහුලව ආබාධ සිදුව ඇතැයි ද ප්‍රධානතම ක්‍රීඩා සමාජ කිහිපයක් පෙන්වා දෙයි. තරගයක් පැවැත්වීමෙන් අනතුරුව වෙහෙසට පත් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉහළ නංවා ගැනීමට හා යථා තත්ත්වයට පත්වීමට සාධාරණ කාලයක් ලබාදීම ලොව පිළිගත් සම්මතයක් වුවද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඒවා සියල්ල යටපත් කරමින් කටයුතු කරන බව අනුරාධපුර සොලිඩ් ක්‍රීඩා සමාජයේ සභාපති සාගර පියතිලක මහතා පැවැසීය.

“ තරගාවලිය නිමා වෙන්නේ කොහොමද කියා අප දැනගත යුතුයි. නැත්නම් හිතවත් කම් අනුව කණ්ඩායම් එහෙට මොහෙට කරලා කාල සටහන හදන්න පුලුවන්. ක්‍රීඩාංගණ නැති බවට තරගාවලි කමිටු සභාපති කියනවා. ක්‍රීඩාංගණ සෙවීම පළමු ප්‍රශ්නය නොවෙයි. තරගයට එන කණ්ඩායම් මොනවාද කියා පෙළ ගැස්මක් අප ඉල්ලන්නේ. හෝම් ටීම් එක ග්‍රවුන්ඩ් සොයා ගනියි. මෙහෙම තරග සංවිධානයක් කොහේවත් දැක නෑ“සොලිඩ් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා පැවැසීය.

වෙන්නප්පුව නිව් යංග්ස් ක්‍රීඩා සමාජයේ සභාපති රෝහිත ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙවර චැම්පියන් ලීග් පාපන්දු තරගාවලිය අපහසුතා රැසක් මැද පැවැත්වීම කණගාටුවට කරුණක් බවයි. “ අප තරගයෙන් තරගය අනුව සැලසුම් සකස් කරනවා. මේ ක්‍රමයට ක්‍රීඩා සමාජවලට කිසිදු සැලසුමක් කර ගන්න කාලයක් ලැබෙන්නේ නෑ. විශාල මුදලක් වාර්ෂිකව වැය කොට විදෙස් ක්‍රීඩකයන් අප ගෙන්වා ගෙන තිබෙනවා. ඔවුන්ට නිතර ආබාධ ඇතිවන තත්ත්වයක් මෙවර කාර්ය බහුල කාල සටහනෙන් නිර්මාණයවී තිබෙනවා. ක්‍රීඩා සමාජ ගැන හිතලා කල් ඇතිව තරග කාල සටහන අපට දිය යුතුයි“ ප්‍රනාන්දු මහතා පැවැසීය.

මෙවර පාපන්දු තරග රටාව ලොව කොතැනක හෝ නොමැති අමුතුම එකක් බව චැම්පියන් ලීග් සංගමයේ සභාපති රත්නම් ක්‍රීඩා සමාජයේ උප සභාපති නවීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. “ තරගාවලි නීතිය අනුව සති මැද තරගයක් පවත්වන්නේ කල් ගිය එකක් නැවැත පැවැත්වීමට අවශ්‍ය වූ විටයි. සෙනසුරාදා, බදාදා හා ඉරිදා යන දින තුනේම එක කණ්ඩායමක් තරග කළ යුතුයි. සතියට දින තුනක් මුල් පෙළේ කණ්ඩායම් තරග කරන්නේ කොහොමද? මේක බරපතල ප්‍රශ්නයක් වෙලා“ප්‍රනාන්දු මහතා පැවැසීය.

මේ ආකාරයේම අදහස් සමූහයක් නිගම්බු යූත් ක්‍රීඩා සමාජය, කොළඹ පාපන්දු සමාජය, රිනවුන් ක්‍රීඩා සමාජය හා සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය ඇතුලු මුල්පෙළේ පාපන්දු සමාජවලින් ඉදිරිපත්ව ඇත. එම ක්‍රීඩා සමාජ පවසන්නේ කලින් වසරවල පැවැත්වූ ආකාරයට වෙනස්ව මේ වසරේ හිතුවක්කාරී ලෙස තරගාවලිය සංවිධාන වීම හා තරග තීරණය කිරීම වැරදි සහගත බවයි.

මේ පිළිබඳ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තරගාවලි කමිටු සභාපති සහරාන් සිංහ වංශ මහතාගෙන් අප කළ විමසීමකදී පැවැසූවේ චෝදනා ඉදිරිපත් කිරීම ඉතා පහසු කටයුත්තක් වුවද මෙහි යථාර්තය තේරුම් ගැනීම වැදගත් බවය. “ කොළඹ අවට ක්‍රියාත්මක සෝන්ඩර්ස්, රත්නම්, රිනවුන්, යුද හමුදාව හා කොළඹ පාපන්දු සමාජවලට ක්‍රීඩාංගණ නෑ. ඒ සියලු දෙනාගේම තරග වෙනුවෙන් මට තියෙන්නේ ක්‍රීඩා පිටි දෙකයි. එකක් කැලණිය පිටිය. අනෙක සිටි ලීග් පිටිය. එයින් දින 4ක තරග 4ක් පැවැත්විය හැකියි. අනෙක් තරග සතියේ මැද පවත්වන්නේ ක්‍රීඩාංගණ නොමැති නිසයි. සුගතදාස පිටිය ලබා ගන්න දිනකට රුපියල් ලක්ෂ 3ක් වැය වෙනවා. නමුත් අප ඒ මුදල ගැන නොසිතා සුගතදාස පිටියත් ලබාගෙන තරග පැවැත්වූවා. මේ දිනවල නිවාසාන්තර ක්‍රීඩා තරග නිසා සුගතදාස පිටිය වෙන් කර ගන්නේ අපහසුතා මැද. මා කාටවත් වාසි ලැබෙන ලෙස තරග කාල සටහන හදන්නේ නෑ. මට ඔය සියලු දෙනාම එකම සහෝදරයෝ පිරිසක්. ප්‍රශ්න මැද හොඳම තරගාවලියක් මේ වසරේ සංවිධාන කළා“ තරගාවලි කමිටු සභාපතිවරයා පැවැසීය.

මේ වසරේ අන්තර් ක්‍රීඩා සමාජ එෆ්. ඒ. කුසලාන තරගාවලිය ආරම්භ කළ යුතු හෙයින් පෙබරවාරි 13ට පෙර චැම්පියන් ලීග් පාපන්දු තරගාවලිය නිමාකරන බවද සිංහවංශ මහතා පැවැසීය.

චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ තරග 12ක් නිමා කළ කොළඹ පාපන්දු සමාජය මේ වනවිට ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇති අතර කලුතර බ්ලූස්ටාර් පිල දෙවැනි තැනට පත්ව සිටී. මෙම ක්‍රීඩා සමාජ දෙකම ලකුණු 27බැගින් ලබා ඇතත් වාර්තා කර ඇති ගෝල් ප්‍රමාණය අනුව කොළඹ පාපන්දු සමාජයට මුල් තැන හිමිව ඇත. ලකුණු 26ක් ලබාගත් යුද හමුදාව තෙවැනි ස්ථානයේ හා ලකුණු 23ක් ලබාගත් නාවික හමුදාව සිවුවැනි ස්ථානයට පත්ව සිටිති. රෙඩ් ස්ටාර් (ලකුණු 20), රිනවුන් (ලකුණු 20), අප් කන්ට්‍රි ලයන්ස් (ලකුණු 18), රත්නම් (ලකුණු 18), මාතර සිටි (ලකුණු 16), නිව් යංග්ස් (ලකුණු 15), සුපර් සන් (ලකුණු 15), ගුවන් හමුදාව (ලකුණු 12), සොලිඩ් (ලකුණු 11), පෙළිකන්ස් (ලකුණු 11), ක්‍රිස්ටල් පැලස් (ලකුණු 11), සෝන්ඩර්ස් (ලකුණු 8), ජාවාලේන් (ලකුණු 8), නිගම්බු යූත් (ලකුණු 6) යන ක්‍රීඩා සමාජ ලකුණු සටහනේ අනු පිළීවෙල අනුව සිටිති.

තරගාවලිය අවසන් වෙද්දි අවසන් ස්ථානයේ සිටින කණ්ඩායම් දෙක චැම්පියන් ලිග් තරගාවලියෙන් ඉවතට විසිවන අතර ඒ වෙනුවට පළමු පෙළ ශූරයින් හා අනු ශූරයින් චැම්පියන් ලිග් තරගාවලියට උසස්වීම් ලබනු ඇත.

 


නව අදහස දක්වන්න