රට රටවලට දරුවන් දුන් මව්වරුණි එන්න DNA පරීක්ෂණයකට | දිනමිණ

රට රටවලට දරුවන් දුන් මව්වරුණි එන්න DNA පරීක්ෂණයකට

කොටදෙනියාව සමූහ එම්.පී. කුමාර

විදේශ ගතව හැදුනු වැඩුනු ශ්‍රී ලාංකික දරුවන්ගේ මව්වරුන් ඇතුලූ ඥාතීන් හදුනා ගැනීම සඳහා ඞී.එන්.ඒ. පරීක්ෂණ සඳහා ඉදිරිපත් වන ලෙස ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණියන් දෙදෙනක් එසේ දරුවන් විදේශයන්ට දුන් මව්වරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

තිස් වසරකට පමණ පෙර ජර්මන් ජාතික මව්පියවරුන් අතට පත්ව හැ දී වැඞී පසු කාලීනව තමන් ජාතක කළ මව්වරුන් දැඩි පරිශ්‍රමයක් දරා සොයා ගත් නිලන්ති ෂෙලීන් හා සිරියලතා එමිලංකා යන තරුණියන් දෙදෙනා මේ ඉල්ලීම කරන්නේ ජර්මනිය ඇතුලූ රටවල වෙසෙන දරුවන්ගේ මව්වරුන් සොයා ගැනීම පහසු කරන අදහසිනි.

විදේශගත දරුවන් විශාල පිරිසකගේ ඞී.එන්.ඒ වාර්තා ඇතුලූ තොරතුරු ෂෙලින් හා ෂෙරීන් සතුව ඇතැයිද අදාළ වාර්තා ලබාදීමට ඉදිරිපත්වන මව්වරුන් ඇතුලූ ඥාතීන්ගේ තොරතුරු රහසිගතව තබා ගන්නා බව ද ඔවුන් පවසයි.

ඔවුනට ලැබී ඇති තොරතුරු අනුව තවත් පිරිසකගේ මව්වරුන් සොයා ගමින් ගමට යන ගමනේ දී පැවැත්වූ මාධ්‍ය හමුවක දී මේ තොරතුරු ඉදිරිපත් කරනු ලැබූයේ ඉතා හැගුම්බරවය. ජර්මන් ජාතික සහෝදර පිරිසක් සමඟ ඔවුන් මෙම ගමන පැමිණ සිටියේය.

දරුවන් විදේශයන්ට ලබාදීමේ දී හුවමාරු වී ඇති ලිපි ලේඛනයන්හි නිවරදි තොරතුරු නොමැතිවීම නිසා ඞී.එන්.ඒ. වාර්තා ලබා ගැනීම වඩාත් සුදසු ක්‍රියාමාර්ගය වන නිසා මෙම ඉල්ලීම කරන්නට සිදුවූ බව ද ෂෙලින් පැවසුවාය.

ශ්‍රී ලංකාවේ දී ඉප දී තමන් පිටරටක හැදුනත් වැඩුනත් ලංකාවේ පරිසරය හා මව්පියවරුන් ගැන දැන ගන්නට මහත් ආසාවෙන් සිටි අතර තමන්ට ලැබුණු මේ අවස්ථාව සෙසු සහෝදර පිරිස් වෙත ලබාදීම එකම අරමුණ වන බව ද ඔවුන් කියයි. දරුවන්ට මවුවරුන් මුණගස්වන බව කියන සංවිධානාත්මක පිරිස් මෙය ව්‍යාපාරයක් ලෙස කරගෙන යාම වලක්වා මාපිය දරු සම්බන්ධතාව ඇති කරලීම සඳහා මේ ආකාරයෙන් ඉදිරිපත්වන ලෙස ඉල්ලා සිටීමට තීරණය කළ බව ද මව්වරුන්ගේ තොරතුරු ඊමේල් ලිපිනයට යොමු කරන ලෙසද නිලන්ති ෂෙලින් ඉල්ලා සිටියාය.

තරුණියන් දෙන්නා මෙම මස 25 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ ගත කරන අතර අනතුරුව ලැබෙන තොරතුරු අනුව් යළි ලංකාවට පැමිණිමට අදහස් කරන බව ද සදහන් කළාය.

 

නව අදහස දක්වන්න