වෙළෙඳපොළ ජය ගැනීමට නවීන විලාසිතා | දිනමිණ

වෙළෙඳපොළ ජය ගැනීමට නවීන විලාසිතා

අතීත ලක්දිව වංශකථා අනුව විජය කුමරු ලක්දිවට ගොඩ බසින විට කුවේණිය කපු කටිමින් සිට ඇත. පේෂ කර්මාන්තය පිළීබඳව අපට අති දැනුම අනාදිමත් කළෙක සිට පැවත එන බව ඉන් හඳුනාගත හැකිය.එම දැනුම හා අත්දැකීම වර්තමානය වන විට ඇගළුම් කර්මාන්ත ක්ෂේත්‍රය මෙන්ම නොව ඇදුම් මෝස්තර විලාසිතාවක් දක්වා වැඩි වර්ධනය වී තිබේ.ශ්‍රී ලංකා විලාසිතා වෙළෙදපොළක් ලෙස අන්තර්ජාතික මට්ටමින් තරඟ කිරීමට පවා වර්තමාන ඇගළුම් ක්ෂේත්‍රයේ ව්‍යවසාහකයින් කටයුතු කරති.

ශ්‍රී ලාංකික ඇගළුම් ක්ෂේත්‍රයේ ව්‍යවසාහකයින් පවතින වෙළෙඳපොළට තම ඇදුම් නිර්මාණ සකස් කර ගත යුතු ආකාරයත්, ලෝකයේ අන් රටවල ඇදුම් විලාසිතා සමඟ ශ්‍රී ලාංකික සම්ප්‍රදානූකූල ඇදුම් විලාසිතා නිර්මාණ ගළපන්නේ කෙළෙස ද, යනාදී කාරණා පිළිබඳව මොරටුව විශ්ව විද්‍යාලයේ , ඉංජිනේරු පීඨයේ, විලාසිතා නිර්මාණය සහ නිපැයුම් ප්‍රවර්ධනය පේෂකර්ම සහ ඇගළුම් තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් වන , ආචාර්ය විරාජීනී මැදගෙදර කරුණාරත්න,සහ ආචාර්ය ගයාත්‍රි මධුභානි රණතුංග මහත්මීන් සමඟ සිදු කළ සංවාදයකි මේ.

වර්තමානය වන විට , ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට ප්‍රමුඛතම කර්මාන්තයක් බවට පත්වී තිබේ. ඒ පිළිබඳව කිව හැක්කේ කුමක්ද?

ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය විදේශීය ඇගළුම් සහ විලාසිතා කර්මාන්තය අරමුණු කර ගෙන පවත්වාගෙන යන්නක් . ශ්‍රී ලාංකික ආර්ථිකයට සෘජු වශයෙන් 50% පමණ දායකත්වයක් ලබා දෙමින්, රටේ ආර්ථික තත්ත්වය ඉහළ මට්ටමින් පවත්වා ගැනීමට මෙම කර්මාන්තයට හැකියාව පවතිනවා. මෙරට සමාජ, ආර්ථික, දේශපාලනික ඉතිහාසයේ කඩඉම් සනිටුහන් කළ 70 දශකය මෙම ඇගළුම් කර්මාන්තයේ නව පිබිදීමක් සනිටුවන් කරන ලද කාලවකවානුවක් ලෙස හඳුනාගැනීමට පුළුවන්. 1977 බිහි වූ නිදහස් වෙළෙඳ ආර්ථික ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පිහිටුවීම යන කාරණා ද්විත්වය ඇගළුම් අපනයන ක්‍රියාවලිය වේගවත් කිරීමට සමත් වූ ගාමක බලවේගයි . ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ, ආචාර්ය සමන් කැලේගම මහතාගේ " ශ්‍රී ලංකාවේ නිමි ඇගළුම් කර්මාන්තය ; ලෝක අර්බුදයට මුහුණ දීම " යන කෘතියේ සඳහන් කරන ආකාරයට අපගේ නිමි ඇගළුම් කර්මාන්තයේ ශක්තිමත්භාවය රඳාපැවැතීමට නිපුණතාවයන්ගෙන් පිරිපුන් මානව සම්පත සහ නිෂ්පාදන ක්‍රියාවලියේ දී යුරෝපීය සම්මත විධිමත් ප්‍රමිතීන්ට අනුගතව එම කාර්යය සිදු කිරීම යන කාරණා ද්විත්වය බලපානවා.

කුසලතා පිරිපුන් මානව සම්පත කරුණු තුනක් මත පදනම්ව ප්‍රමිතිගත කළ හැකි බව , එනම් ඔවුන්ව පහසුවෙන් වැඩ ලෝකය සඳහා පුහුණු කළ හැකි වීම, උසස් සාක්ෂරතාවයකින් යුක්ත වීම සහ ඉංශ්‍රීසි භාෂාවේ දක්වන නිපුණතාවය බව ආචාර්ය කැලේගම මහතා ප්‍රකාශ කර කර තිබෙනවා . ඇගළුම් කර්මාන්තශාලා නියමිත පාරිසරික , කම්කරු, සෞඛ්‍ය සහ ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව පවත්වාගෙන යන බැවින් නිෂ්පාදකයන්ගේ ගුණාත්මකබව ජාත්‍යන්තර ප්‍රමිතිකරණයේ දී වැදගත් ලෙස සැලකිය හැකි වනවා .

මූලික වශයෙන්ම අපගේ ඇගළුම් කර්මාන්තශාලා ප්‍රධාන ඇගළුම් කාණ්ඩ ‍02 ක් සඳහා නිමි ඇඳුම් සපයනු ලබනවා. ඒවා කාන්තා සහ පිරිමි කාණ්ඩයයි. ඇමරිකාව සහ යුරෝපා සංගමයේ රටවල් සඳහා ශ්‍රී ලංකාව විලාසිතා ඇගළුම් අපනයනය කරන අතර ලොව පිළිගත් සන්නාම නාමයක් වන වික්ටෝරියා සීක්‍රට් මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර්, ගැප් නයිකි,රෑල්ෆ් ලොරේන්, ලිස්ක්ලේබොන්,පිය‍රේ කාඩින් සහ ඇබකොම්බි ඇන්ඩ් ෆිඩ් වැනි සන්නාම නාම සඳහා ඇගළුම් සපයනවා . ශ්‍රී ලංකාවේ ඇගළුම් කර්මාන්තය නිමි ඇඳුම් සඳහා සංකල්ප බිහිකිරීමේ සිට නිශ්චිත වෙළෙඳපොළ ඉලක්ක කරගෙන තත්ත්වයෙන් අනර්ඝ නිපයුමක් බවට පත්කිරීමට සක්‍රීය දායකත්වය ලබාදෙනවා.දැනට ශ්‍රී ලංකාවේ ඇගළුම් කර්මාන්තශාලා ආසන්න වශයෙන් 500 පමණ මෙම ක්‍රියාවලියට දායකවෙමින් පවතිනවා .

විදේශ රටවල මෙන් ම මෙරටත්, ඇදුම් මෝස්තර විලාසිතාවන්ට වැඩි ඉල්ලුමක් තිබෙනවා. ව්‍යවසාහකයන්ට එමඟින් ලබා ගතහැකි ප්‍රතිලාභ මොනවා ද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය, පෞද්ගලික මෙන් ම විදේශ විශ්ව විද්‍යාල සහ විලාසිතා අධ්‍යයනය පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලැබූ පිරිස සහ විලාසිතා කර්මාන්තයේ වසර ගණනාවක පරිචය සහ පළපුරුද්ද ලැබූ නිර්මාණකරුවන් කිහිපදෙනෙකු ප්‍රමුඛ කොටගත් විලාසිතා වෙළෙඳපොළක පිබිදීමත් මෑත කාලයේ දී අප රටේ නගරාසන්නව, බොහෝ විට කොළඹ ආශ්‍රීතව දැක ගත හැකියි . මෙම විලාසිතා ව්‍යවසාහකයන් ලංකාවේ සම්ප්‍රදායික ඇඳුම්, මෝස්තර රටා වර්ණ, එම්බ්‍රොයිඩරි වැනි අලංකරණ මැහුම් රටා, මෙන් ම ආසියාවට ආවේණික ඇදුම් ඇඟලීමේ ක්‍රමවේදවලින් අනුප්‍රාණයන් ( inspiration ) ලබා ඒවා යුරෝපීය ප්‍රවණතා සමඟ සහසම්බන්ධ කර නිර්මාණ බිහිකරන බව පැහැදිලි වනවා . එසේම මෑත කාලයේ දී බිහි වූ ලාංකික මුද්‍රිත මාධ්‍යන් අතර ප්‍රචලිත සඟරා විශේෂයෙන් ම මෙවැනි ලාංකික විලාසිතා ව්‍යවසාහකයින්ගේ ඇගළුම් කෙරෙහි වැඩි ප්‍රචාරණයක් ලබා දෙන බව ද පැහැදිලියි .

ශ්‍රී ලාංකික විලාසිතා වෙළෙඳපළ පුරෝකථනය කරන ( Trend Prediction ) ආයතනයන්හි වගකීම විය යුත්තේ කුමක් ද?

ලෝකයේ සෑම රටකටම ඇඳුම් විලාසිතා සම්ප්‍රදායක් තිබෙනවා . එම සම්ප්‍රදායට බලපාන සාධක නම් එම රටෙහි භූගෝලීය, දේශපාලනික, ආර්ථික සහ සමාජීය හේතූන් . අතීතයේ පටන් මෙය හේතුපාදක කර ගෙන ක්‍රමිකව විකාශනය වූ ඇඳුම්, විලාසිතා, එම රටෙහි අනන්‍යතාවය සහ තත්කාලීන ජන සමාජයේ රිද්මය පෙන්නුම් කරමින් නිර්මාණය වී භාවිත කළ බව මූලාශ්‍ර අධ්‍යනයේ දී පැහැදිලි වෙනවා . මෙම පොදු මතයට සාපේක්ෂව බහුතර ප්‍රජාව විසින් බටහිර විලාසිතා අනුගමනය කිරීම විලාසිතා කර්මාන්තයක් ලෙසට කරගෙන යාම අපට බැහැර කළ නොහැකි වනවා . මෙහි දී එතෙක් භාවිතා වූ සම්ප්‍රදායක ඇඳුමට විලාසිතා ලොවෙහි වටිනාකමක් ලබා දීමට නම් එය යුරෝපා විලාසිතා ප්‍රවණතා සමඟ සහසම්බන්ධ කළ යුතු යි. මෙහි වගකීම දැරිය යුත්තේ ශ්‍රී ලාංකික විලාසිතා වෙළෙඳපළ පුරෝකථනය කරන ( Trend Prediction ) ආයතනයන්ට යි. එම ආයතනයන්හි වගකීම විය යුත්තේ මෙහි සහසම්බන්ධතාව ඇති කළ හැකි ක්‍රමවේදය හඳුනා ගැනීමයි .

නවීන විලාසිතා සමාජයට හදුන්වා දීමේ දී විලාසිතා සහ මෝස්තර නිර්මාණය පිළිබඳ විශේෂඥයින්ගේ දායකත්වය කෙසේ විය යුතු ද?

මෙම කාර්යයේ දී විලාසිතා සහ මෝස්තර නිර්මාණය පිළිබඳ ප්‍රමාණික උගතුන්ගේ පර්යේෂණ දායකත්වය ඉමහත් රුකුළක් සැපයීමට සමත් වනවා . සම්ප්‍රදාය ( Tradition ) යන සංකල්පයේ ඇති උත්තරීතර ගුණය ( Transcendence qualities ) ඇඳුමකට පරිවර්ථනය කළ හැකි චරිත ලක්ෂණ ( Characteristics ) විලාසිතා ලෝකයට හදුන්වා දීම මෙම උගතුන්ගේ කාර්යභාරය විය යුතුයි . එසේම මෙම උගතුන්ගේ පර්යේෂණ දායකත්වය විලාසිතා පාරිභෝගිකයා හඳුනා ගැනීම දක්වාත් සිදු විය යුතු යි. විලාසිතා පාරිභෝගිකයා යනු විලාසිතා නව වෙළෙදපොළ පිළිබඳ දැනුවත් මෙන් ම බහුවිධ විලාසිතා අවශ්‍යතාවය ඇති , ඒ සඳහා නිශ්චිත පිරිවැයක් නිරන්තරව දැරිය හැකි පුද්ගලයෙක්. මෙවන් පාරිභෝගිකයන් ලාංකික පරිභෝජන ආර්ථික වපසරියෙහි ඉතා සියුම් ව හඳුනා ගත යුතු යි. බහුතර ජන සමාජයේ පිරිස මෙවන් විලාසිතා අනුගමනය නොකරන අතර ඒ සඳහා දරන්නේ අවම පිරිවැයක්.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලාංකේය සංස්කෘතිය සහ අනන්‍යතාවය රැකගනිමින් ඇදුම් නිර්මාණය කිරීම සිදු කළ හැක්කේ කෙසේ ද?

කර්මාන්තයක් ලෙසට විලාසිතාව සමාජගත කළ යුතු නම් ඒ සඳහා ම සැඳී පැහැදී සිටින අතළොස්සක් පමණ වන පාරිභෝගිකයාව හඳුනාගෙන ඔවුන් ඉලක්ක කොට නිෂ්පාදන ක්‍රියාවලිය දියත් කළ යුතු යි. උදාහරණයක් ලෙසට දකුණු ආසියාවේ ප්‍රබල රාජ්‍ය වන ඉන්දියාවේ ඉතා දියුණූ විලාසිතා කර්මාන්තයක් පවතිනවා. ජනවාර්ගික සම්මිශ්‍රණයෙන් ඉතා ගහණ එවැනි විශාල රාජ්‍යක සම්පුදායික ඉන්දියානු සාරියට, කුර්තාවට, චෝලියට, සහ ජෝතියට හිමි වන සුවිශේෂී ස්ථානය කෙලෙසකවත් වියැකී යාමට නොදී එරටින් බිහි වූ ස්‍රප්‍රසිද්ධ විලාසිතා නිර්මාණකරුවන් මෙන් ම ව්‍යවසාහකයන් ද වන රිතු කුමාර්, මනිෂ් අරෝරා, සහ සත්‍යා පෝල් වැනි විලාසිතා නිර්මාණකරුවන් නුතනත්වය කරා සම්ප්‍රදාය රැගෙන ගොස් ඇති ආකාරය ඔවුන්ගේ නිර්මාණ සාක්ෂි දරනවා. සම්ප්‍රදායික ඇදුමේ ඇති හැඩතල , රූප මනාව නූතන නිර්මාණාත්මක අදහස් සමඟ මුසුකර, සාරිය පදනම් කර‍ ගෙන නිර්මාණ රැසක් බිහි කර ඇත. මෙම නිර්මාණ විවිධ මිල පරාසයන්ගෙන් ඇවැසි සමාජ තත්ත්වය සහ දැරිය හැකි අවම මිල ප්‍රමාණයට එය මිල දී ගැනීමට හැකියි. යුරෝපයෙහි දැකිය හැකි විලාසිතා වෙළෙඳපොළ ස්ථරම ඒ ආකාරයෙන් ම අප රටේ පැහැදිලිවම දැක ගත නොහැකි වුවත් ,එවැනි ස්ථර කීපයක් හෝ මෙරට ද ඇති කිරීම අපහසු වන්නේ නැහැ.

සටහන-මදාරා මුදලිගේ
කළු සුදු ඡායාරූප-ආචාර්ය සුලාරි ද සිල්වා


නව අදහස දක්වන්න