ජපන් සිනමාවේ ආශ්චර්යය | දිනමිණ

ජපන් සිනමාවේ ආශ්චර්යය

හැත්තෑව දශකයේ මුල් භාගයේදී මහනුවර බ්‍රිතාන්‍ය කවුන්සිල පුස්තකාලයේ තිබූ සඟරාවක තිබී කියැවූ ‘ජපන් සිනමාවේ කබුකි - නෝ නාට්‍යාභාෂය‘ නමැති ලිපියක් මගේ අවධානය ජපන් සිනමා කෘති කෙරෙහි යොමු කළේය. එකල ජපන් චිත්‍රපට සොයාගැනීම හා නැරැඹීම ඉතා දුෂ්කර විය. එහෙත් පුස්තකාලවල තිබී ජපන් සිනමා තිරනාටක කියැවීමට ලැබුණි. (ඉංග්‍රීසි පරිවර්තන)

කබුකි සහ නෝ යනු අදටත් විදේශිකයනට වටහා ගැනීමට අපහසු, ජපන් නාට්‍ය විශේෂ දෙකකි. ඒවා ඔවුන්ගේ සංස්කෘතික සාරධර්ම හා බැඳී පවතී. එබඳු සංකීර්ණ නාට්‍ය සම්ප්‍රදායක් ඇසුරින් විශ්ව සම්භාවනීය සිනමා කෘතීන් නිර්මාණය විශ්මයජනකය.

ජපානය විශාල වශයෙන් චිත්‍රපට නිපදවන රටකි. දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් අඩපණ වූ ජපන් චිත්‍රපට කර්මාන්තය යළි පුනර්ජීවනයක් ලද පසු, එක් වසරකදී නිෂ්පාදනය වන්නට වූ චිත්‍රපට සංඛ්‍යාව, ජපන් ජනතාවට පවා නරඹා අවසන් කළ නොහැකි විය. අකිර කුරොසාවාගේ ‘රෂොමොන්‘ හා තනිසුකේ කිනිගුසාගේ (Teinosuke Kinugusa) ‘අපායේ දොරටු‘ (Gate of Hell) වැනි චිත්‍රපට ලොව බොහෝ රටවල ප්‍රදර්ශනය වූ අතර චිත්‍රපට උළෙලවලදී සම්මානයට ද පාත්‍ර විණි. කොන් ඉචිකාව (Kon Ichikawa), කොජි වකමත්සු (Koji Wakamatsu), කනෙටෝ ෂින්ඩෝ (Kaneto Shindo), කෙන්ජි මිසොගුචි (Kenji Mazoguchi) ආදී ජපන් සිනමාකරුවෝ ලොව මවිත කරවන විශිෂ්ට සිනමා කෘති නිර්මාණය කළහ.

ආසියාතික සිනමාවේදී ජපන් සිනමාකරුවා මිනිස් සිතේ ගූඪත්වය හා සංකීර්ණ ස්වභාවය පිළිබිඹු කිරීමෙහිදී වඩා දක්ෂතාවක් ඇතිය යනු මගේ හැඟීමයි.

ඔවුනතුරින් අකිර කුරොසාවා හා යසුජිරෝ ඕශු (Yasujiro Ozu) දෙදෙනාම ජපන් සිනමාවේ පමණක් නොව ලෝක සිනමාවේද සම්භාවනාවට පාත්‍ර වූ දැවැන්තයෝ ය. කුරොසාවාගේ මෙන් ම ඕශුගේ ද චිත්‍රපට නැවත නැවත නැරඹිය හැකිය. එතුළින් විවිධාර්ථ මතු කෙරෙයි. ප්‍රේක්ෂකයා තුළ ජීවිත පරිඥානය පුළුල් කරමින් ගැඹුරු කලාත්මක රසවින්දනයක් ලබාදෙයි.

කුරොසාවාගේ සිනමා කෘතියක් නරඹා අවසානයේ පිටු දහයකින් යුත් විශාල නවකතාවක් කියැවූවාක් මෙන් දැනෙයි. ජීවිතයෙන් විශාල පරාසයක් සවිස්තරාත්මක ලෙස ද, භාවාත්මක ලෙස ද හෝරා කීපයකට ගොනු කිරීමට ඔහු සමත් වෙයි.

කුරොසාවාගේ The Hidden Fortress (සැඟවුණු බලකොටුව) හා ඕශුගේ A Story of Floating weeds ගැඹුරු ජීවිත විවරණයකින් යුත් චිත්‍රපට දෙකකි.

‘හිඩ්න් ෆෝට්‍රස්‘ චිත්‍රපටයේ කතාව 16 වෙනි සියවසේ වැඩවසම් ජපානය පසුබිම් කරගනී. වනගතව දිවිගෙවෙන රජ කුමරියක් හා ඇගේ විශ්වාසවන්ත සෙන්පතියා ද, තෘෂ්ණාධික ගැමියන් දෙදෙනෙක් ද මෙහි ප්‍රධාන චරිත වෙති. කුමරියගේ උරුමයක් වන රන් කැබලි දෙසියයක් වනාන්තරයේ කොතැනක හෝ සඟවා ඇත. ගැමියන් ‍දෙදෙ‍නා වෙහෙසෙනුයේ එය සොයාගැනීමටය. මේ අතර, රටේ බලය අල්ලාගෙන සිටින සතුරු පිරිස් කුමරිය පිළිබඳ තොරතුරක් දෙන්නෙකුට විශාල ත්‍යාගයක් පිරිනමන බව නිවේදනය කරති. ගැමියන්ගේ සිත ඒ කෙරෙහි ද ඇදෙයි. එහෙත් කුමරියගේ ආරක්ෂාව සළසන සමුරායි සෙන්පතියා අභිබවා යාමේ ශක්තියක් ගැමියන්ට නැත.

මෙම චිත්‍රපටය අවසන් වනුයේ ධන තෘෂ්ණාවේ ඇති නිසරු බව පිළිබඳ හැඟීමක්, ප්‍රේක්ෂකයන් තුළ ඇතිකරවමිනි. බැලූ බැල්මට මෙය කරුණ රසය උපදවමින්, ගැඹුරු ජීවන දැක්මක් හෙළි කරන ජාතක කතාවක් හෝ ජනකතාවක් බඳුය. ජපන් සිනමාවේ මහා නළුවා වන ටොෂිරෝ මිෆුතේ මෙහි සෙන්පතියා ලෙස විශිෂ්ට රංගනයක යෙදෙයි. ඔහු මෙහි නිෂ්පාදකවරයකු වීම ද විශේෂයකි.

ජපන් ලේබලය යටතේ ලෝක සිනමාවට විශිෂ්ට සිනමා කෘතීන් 53ක් තිළිණ කළ ඕශු යසුජිරෝගේ ‘ෆ්ලෝටින් වීඩ්ස්‘ (ජපන් බසින් ‘උකිගුසා මොනොගතරි‘ ලෙස හැඳින්වුණි) කුරොසාවාගේ ‘බලකොටුවට‘ත් වඩා, මගේ සිත් ගත්තේය. 1934 දී ඔහු මෙය නිර්මාණය කළේ නිහඬ චිත්‍රපටයක් ලෙසිනි. පසුව, 1959 දී නැවත වරක් ශබ්ද තාක්ෂණයෙන් යුතුව නව නිෂ්පාදනයක් කළේය. ඕශුගේ චිත්‍රපටය නරඹා නිමවෙත්ම මගේ සිතට නැඟුණේ අපේ සිංහබාහු කතාවයි. ‘පුතු සෙනේ පිතු හද තුළම මිස පුතුන් හද තුළ නැත රඳන්නේ‘ යැයි කියමින් සිංහබාහු නාටකයේ මතු කෙරෙන පිය පුතු ගැටුම ඕශුගේ චිත්‍රපටයේ ද ආත්මය වෙයි.

බෝට්ටුවකින් එන සංචාරක නාට්‍ය කණ්ඩායමක්, දකුණු ජපානයේ මුහුදුබඩ කුඩා නගරයකට ගොඩබසිති. මුල් දිනයේ රංග වස්ත්‍රාභර‍ණයන්ගෙන් සැරසුණු නළු නිළියෝ වීදි සංචාරය කරමින්, ප්‍රචාරක පත්‍රිකා බෙදති. නගරයේ රඟහල සීමිත ඉඩකඩක් ඇති කුඩා තැනකි. එහෙයින් ලැබෙන ආදායම ද නාට්‍ය කණ්ඩායමට ප්‍රමාණවත් නොවෙයි.

කණ්ඩායමේ ප්‍රධානියා වියපත් නළුවකු වන කොමාජුරෝ අරෂි ය. ඔහුගේ පැරණි පෙම්වතිය ඔහුට දාව උපන් පුත්‍රයා ද සමඟ නගරයේ අවන්හලක් පවත්වමින් ජීවත් වෙයි.

එක් සවසක නාට්‍යකරුවා අවන්හල වෙත යයි. අවන්හල් හිමි කත (පෙම්වතිය) තම පුතාට ඔහු හඳුන්වා දෙනුයේ තම වැඩිමල් සොහොයුරා ලෙසය. එහෙයින්, පුතා තම පියා අමතන්නේ ‘මාමා‘ යනුවෙනි. නාට්‍යකරුවා ද තම නීත්‍යානුකූල නොවන පුත්‍රයා දැකීමෙන් බොහෝ සතුටු වෙයි. ඔහුට බොහෝ ඇලුම් කරයි. දිනපතාම වාගේ පෙම්වතියත්, පුතාත් දකින්නට අවන්හලට යයි.

නාට්‍ය කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ නිළියක වන සුමිකෝ හා නාට්‍යකරුවා අතර ද පෙම් සබඳකමක් පවතී. ඇය, ඔහුගේ පැරණි පෙමට ඊර්ෂ්‍යා කරයි. කණ්ඩායමේ සිටින නිළියකට අල්ලස් දෙන සුමිකෝ, ඇයට අවන්හලේ තරුණයා දැලේ දමාගන්නා ලෙසට උපදෙස් දෙයි.

තම පුතා හොඳින් අධ්‍යාපනය ලැබ උසස් තැනකට පත්වනු දැකීම නාට්‍යකරුවාගේ අභිලාෂයයි. තරුණ නිළියගේත්, පුතාගේත් සබඳතාව දැනගන්නා ඔහු කිපෙයි. මෙහිදී ඇතිවන ආරවුලේදී පුතා තම ‘මාමාට‘ පහරදීමට යද්දී ඔහුගේ මව මැදිහත්ව සත්‍යය හෙළි කරයි. එහෙත් මෙතෙක් කල් තමා රැවටූ පියාට සමාව දී ඔහු පියා ලෙස බාර ගැනීමට පුතා කැමති නැත.

අවසානයේ පුතාට ජයගන්නට ඉඩ දී, නාට්‍යකරුවා අවන්හලින් හා තම පෙම්වතියගෙන් සමුගනී. නාට්‍ය කණ්ඩායම ද විසිර යති. නාට්‍යකරුවා පිට පළාතකට යනු පිණිස රාත්‍රී දුම්රිය එන තෙක් බලා සිටි සුමිකෝ ද එහිදී හමුවෙයි. දෙදෙනම වෙනත් නාට්‍ය කණ්ඩායමකට බැඳීමට කතිකා කර ගනිති.

මෙහි ‘සුමිකෝ‘ ලෙස රඟපානුයේ ‘රෂොමන්‘ හි ප්‍රධාන නිළිය ලෙස ලෝක ප්‍රකට වූ මාචිකෝ ක්යෝ ය. නාට්‍යකරුවා ගෙන්ජි‍රෝ නකමුරා ය. ඔහු චිත්‍රපට 48ක රඟපෑ ප්‍රවීණ නළුවෙකි.

නිහඬ සිනමාපටයක් ලෙස මුලින් නිපදවුණද ඕශු තම නිර්මාණයෙන් මිනිසත්බව පිළිබඳ විශාල හඬක් නැංවීමට සමත්වෙයි. ‘ජීවිතය රඟහලකි, අපි එහි නළුවෝ වෙමු‘ යන ෂේක්ස්පියර්ගේ ප්‍රකට කියමන ඕශුගේ සිනමා කෘතිය නැවතත් අපට පසක් කරවයි.

1934 දී ඕශු හැදූ චිත්‍රපටයේ එන ‘කොමාජුරෝ මාස්ටර්ගේ නාට්‍ය කණ්ඩායම කඩා බිඳ වැටෙද්දී ලංකාවේ ද ටවර් රඟහල 1933 දී නාට්‍ය පෙන්වීම නතර කර දැමුවේය. ඒ වෙනුවට විදෙස් චිත්‍රපට ප්‍රදර්ශනය ඇරඹුණි. ප්‍රථම සිංහල චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව‘ තිරගත වන්නේ 1947 දීය.

ශ්‍රී ලංකාවේද, සංචාරක නාට්‍ය කණ්ඩායම් රැසක් ම විය. නාට්‍ය මාස්ටර්ලා ද ගණනාවකි. එහෙත් ඔවුන්ගේ ජීවිත ගැඹුරින් දකින්නට, ඕශු කෙනෙකු පහළ වී නොසිටියේය. දැනට ද ඒ තත්ත්ව‍යේ වැඩි වෙනසක් නැත.

කපිල කුමාර කාලිංග
[email protected]


නව අදහස දක්වන්න