ආනමඩුවේ ඩියාරෝ මහත්තයා | දිනමිණ

ආනමඩුවේ ඩියාරෝ මහත්තයා

අපේ සාහිත්‍යලෝලීහු දකුණේ නැත්නම් උඩරට එහෙමත් නැත්නම් කොළඹට ආසන්න පෙදෙස්වල අත්දැකීම් සාහිත්‍ය කෘතීන් තුළින් රසවිඳිමින් සිටියහ. අපේ සාහිත්‍ය ලෝලීන්ගේ වින්දන පරාසයන් පුළුල් කරමින් අපේ රටේ ම නිර්මාණ තුළින් එතෙක් ප්‍රතිනිර්මාණය නොවුණු ප්‍රදේශයක අත්දැකීම් කරා ඔවුන් කැඳවාගෙන ගිය දෙදෙනෙක් මගේ මතකයට එයි. එක් අයෙක් ‘මායා රංජන්’ නම් වෙයි. අනෙකා ‘විමලරත්න කුමාරගම’ ය.

1948 දී පැරණි දිගාමඩුල්ලට වේයන්ගොඩ මගලෙගොඩ සිට ගුරුවරයෙකු සේ පත්වීම් ලැබ ගිය ‘මහානාම රාජපක්ෂ’ ඒ වන විටත් කොළඹ හා තෙත් කලාපය කේන්ද්‍ර කරගත් ලෝකය දකිමින් සිටි සාහිත්‍ය සමාජයට ‘මායා රංජන්’ යන ආරූඪ නමකින් ‘දිගාමඩුල්ලේ ආශ්චර්ය’ නම් අපූරු විත්ති කතාව දායාද කළේ ය.

පාතදුම්බර නාරම්පනාවේ සිට 1944 දී පුත්තලම දෙමළ හත්පත්තුවේ ආනමඩුවේ ප්‍රාදේශීය ආදායම් පාලක නිලධාරි ලෙස සේවයට ගිය ‘විමලරත්න කුමාරගම’ එදවස එහි පැවති දැඩි දුෂ්කර ජනදිවිය සිය නිසඟ ප්‍රකාශනය වූ කවියෙන් කොළඹ කේන්ද්‍ර කරගත් සමාජයට දායාද කරයි. මෙම පූර්වගාමීන් දෙදෙනාගෙන් ඉක්බිතිව ‍පසුකාලීනව බොහෝ කවියන්, ලේඛකයන් විසින් වියළි කලාපීය ජන ජීවිතය ප්‍රතිනිර්මාණය කරනු ලැබූව ද පූර්වගාමීන්ගේ මෙහෙවර අගය කළ යුතු වෙයි.

ඉස්කෝලවල සිංහල විෂය උගන්වන හා ඉගෙනගන්නා විට, හයවැන්නේ සිට ඉහළට උගන්වන ගුරු මහත්ම මහත්මීන්ට මෙන් ම ඉගෙනගන්නා දරු දැරියන්ට ද විමලරත්න කුමාරගම හා ඔහුගේ කවි නිතර ම හමුවෙයි. මේ දිනවල ඔහු ගැන කතා කරන විට අවධාරණය විය යුතු කාරණයක් තිබේ. එනම් විමලරත්න කුමාරගම කවියා ජනිත වී 2019 ජනවාරි 18 වැනිදාට වසර සියයක් සපිරුණු බවයි. ඉතින් ගතවෙමින් පවතින දවස්වල විමලරත්න කුමාරගමයන්ගේ ජන්ම ශත සංවත්සරය සැමරෙනු ඇති. ඔහු ගැන කතා කෙරෙනු ඇති. අප කුමාරගම අරභයා මෙම සටහන තබන්නේ ද එබැවිනි.

කොළඹ යුගයේ මුල් පෙළේ කවීහු වැඩිදෙනෙක් මෙලොව වැඩි වයස්ගත නොකොට ඉක්මනින් පරලොව ගිය අය වෙත්. ඉන් කුමාරගම කවියා ඉතා ම අඩු වයසක් මෙලොව ගත කොට ඉක්මනින් ම සමුගත් තැනැත්තා වෙයි. 1919 ජනවාරි 19 වැනිදා මෙලොව එළිය දුටු ඔහු තරුණ විය ඉක්මවා මැදි විය උදා වූ සැණින් මෙන් ජීවිතයේ 43 වන සැතපුම යන්තම් ඉක්මවා 1962 දෙසැම්බර් 30 වන දා මහනුවර රෝහලේ දී සිය අවසන් සුසුම් පොද මුදා හැරියේ ය.

කුමාරගමගේ ‘කැටවළ’ නම් කව් පෙළේ මුල් කව් පද මෙසේ ය. (පසුගිය සමයෙක උසස් පෙළ විෂය නිර්දේශය සඳහා ‘කැටවළ’ වෙනුවට මෙම කව් පෙළ ‘වළස් දඩයම’ නමින් ශීර්ෂය යොදා ඉදිරිපත් කර තිබිණි.)

“පූලයි මායි පලු ගස් දෙබලක මැස් සේ
සයිමා සමඟ කඩියා කැටවළ අස් සේ”

‘ටෙරන්ස් වනිගසිංහ’ කලකට පෙර පූලා සොයා ගියේ ය. ඒ කුමාරගම කවියාගේ තොරතුරු දැනගැනීමේ අටියෙනි. (බලන්න - සිංහල කවියේ හෘදයංගම ලකුණ විමලරත්න කුමාරගම සංස් : මහින්ද චන්ද්‍රසේකර, රත්න කේ. ප්‍රේමසිරි, ටෙරන්ස් වනිගසිංහ - ‘මම ඔහු සොයා ගියෙමි’ ලිපිය) එහෙත් ඔහුට හමුවුණේ පූලා ආරච්චිගේ දියණිය වන කරුණාරත්න හේරත් මුදියන්සේලාගේ සිට්ටම්මා ය. සිට්ටම්මා වනිගසිංහට මෙසේ කීවා ය.

“අපේ තාත්තාට පූලා කියල තියෙන්නෙ පොඩි කාලෙ හුරතලේට. කරුණාරත්න හේරත් මුදියන්සේලාගේ මැණික්රාල තමයි තාත්තාගේ නම...ඔය ඩියාරෝ මහත්තයගෙ හොඳම සගයා තමයි අපේ තාත්තා. ආස්සරේ කොළෙත්, පයිරු පාසානම් තිබ්බෙත් තාත්තලා එක්කයි.”

සිට්ටම්මා ටෙරන්ස් වනිගසිංහට විමලරත්න කුමාරගම හා සබැඳි අතීත මතකයේ යම් යම් සිද්ධි ගෙනහැර පෑවා ය. ඇය කියූ ආකාරයට දවසක් මහ රැයේ කරඹෑවේ කොරනෙල් අයියා පූලා ආරච්චි හමුවෙන්නට ආවේ ය. කරඹාවේ කොරනෙල්ගේ බිරිය දරුවෙක් ලැබෙන්න ගොස් අසාධ්‍යව සිටියා ය. පූලා ආරච්චි කොරනෙල් සමඟ මහ රැයේ ම ආනමඩුවට ආවේ ය. ඔහුට රැයේ පවා ඩියාරෝ බංගලාවට යෑමේ හැකියාව තිබිණි. ‘මගේ කාරෙක තියෙන්නෙ මිනිස්සුන්ට වැඩ කරන්න තමයි.’ කියූ ඩීආර්ඕ මහත්තයා කාරෙක පඳවාගෙන, ඉස්පිරිතාලයේ දොස්තර මහතාත් නග්ගාගෙන මහ රෑ කරඹෑවට ගියේ ය. සිට්ටම්මා කියන්නී තව ඩිංගක් සුනංගු වූවා නම් කොරනෙල්ගේ බිරිය මියයන්නට ඉඩ තිබූ බව ය. කරඹෑවේ කොරනෙල් ‘මහත්තයට වියදම් ගියා.’ කියමින් මුදල් දෙන්නට හැදුවත් කුමාරගම මුදල් ප්‍රතික්ෂේප කළේ ය. ‘මම මැණික්රාල එක්ක ආවෙ හොඳ වැඩකට. මට සල්ලි එපා.’ ඔහු කීවේ ලු. එදා මව සහ පුතු ජීවත්වීමේ භාග්‍යය ලබා ගත්හ. ජීවත්වූ පුතු කරුණාරත්න වනිගසිංහ විස්තර සොයන දවස්වල ආනමඩුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ව සිටියේ ය.

“රත්තරන් ඩියාරෝ මහත්තයෙක්...” සිට්ටම්මා විමලරත්න කුමාරගම ටෙරන්ස් වනිගසිංහට හඳුන්වා දුන්නේ එසේ ය.

විමලරත්න කුමාරගම ප්‍රාදේශීය ආදායම් පාලක නිලධාරියා වී පැමිණියේ එවකට පාළු, පොල්අතු පැලලි කඩවලින් හෙබි, හරක් නිරන්තරයෙන් ලගින ආනමඩුව කඩමංඩියට ය. කවියේ දී ඔහු ආනමඩුව වෙනුවට යෙදුවේ ‘අලියා වැටුණු වැව’ යන නම ය. අලි අල්ලා ගාල් කළ තැනක් හෙයින් ඒ නම යෙදිණි. විමලරත්න කුමාරගමයන් අතින් මැවුණු සුන්දරහාමි, ආරච්චිල, සෝරත, දොස්තර, හේරත්හාමි, කලු, සෝවිස්, සුවඳි මේ හැම චරිතයක් ම එක්කෝ අලියා වැටුණු වැව ය. නැත්නම් වන්නියේ ය.

දේදුන්න 1948 මාර්තු කලාපයේ පළ වී තිබුණු ‘‍වන්නියේ සෝරත’ කුමාරගමගේ අපූරු නිර්මාණයකි. (රත්න ශ්‍රී විජේසිංහ මෑතක දී පළ කර තිබුණු ‘විමලරත්න කුමාරගම’ කෘතියෙන් මම ඒ කවිය කියවීමි.) වන්නියේ හිමියන්ගේ ලෝකෝත්තර නොවන කටයුතු කවියා දකින්නේ උත්ප්‍රාසයෙනි.

“ඇඳ පුටු මේස වංගෙඩි හදති හදව ති
පොල් මල්වලින් මව් කිරි රසය මුදව ති
සමිඳුගෙ පිහිට මුළු වන්නියට වැදග ති
කොල්ලෝ සීතලට කහ සිවුරු පොරව ති
මේ හිමි නෑද බණපොත් ඇති රාක්ක ය
ගම් නඩුවලට ගොස් දෙති බොරු සාක්කි ය
පන්සල අසල ඇති වැන්දඹු රාක්කි ය
උම්මගෙ දුවගෙ නම පන්සල් කාක්කි ය”

විමලරත්න කුමාරගම උත්ප්‍රාසයෙන් සිය කවි එළිය කළ කවියෙකි. සමාජ සේවක සෝවිස් ගැන ලියන කව්පෙළ ද උත්ප්‍රාස රසයෙන් අනූන ය.

“බණ සාලාවටත් මුල් ගල තබා ඇ ති
හාමුදුරුවොත් මොහුගේ ගුණ වදාර ති
සහචර පිරිස එකතුව හොරකමේ ය ති
මොහුගේ ගෙදර නම් හොර බඩු අනේ නැ ති”

විමලරත්න කුමාරගම ආනමඩුවේ රාජකාරි කළේ දෙවන ලෝක යුද්ධය පැවති සමයේ ය. හාල් පොලු තිබිණි. කුමාරගම කෙතරම් සුන්දර මිනිසකු වුවත් වැරදිකාරයන්ට තදින් හිටියේ ය. පගාව ගෙන හාල් පිට කළ කල්දේරා නම් චණ්ඩියෙක් ඔහුගෙන් හොඳ හැටි ගුටි කෑවේ ය. රෝහලේ දොස්තර ඔහුගෙන් ගුටිකෑවේ කුමාරගම ඇති කළ බල්ලාට පහර දුන් හෙයිනි. මේ තොරතුරු ටෙරන්ස් වනිගසිංහට කීවෝ ‘මල්පානව සිරිසුමන හිමියෝ ය.’

කුමාරගම සතුන්ට බෙහෙවින් ආදරය කළේ ය. වැදි කොලුවකුගේ වෙඩිල්ලෙන් මිය ගිය, බුරුල්ලෙන් කිරි වෑහුණු මුවදෙනගේ පැටියා ඔහු ඇති කළේ ය. කිරා පැදි පෙළ ලීවේ මේ මුවපැටියා ගැන ය. කරුවලගස්වැව පැත්තේ ගමක ගල් වළක ඇතින්නක් හා පැටියෙක් වැටී සිටින බව ආරංචි වී කුමාරගම එහි ගියේ ය. ගොඩඑන්නට නොහැකිව සතියක් දුක්විඳ මියගිය ඇතින්නගේ පැටවා බංගලාවට ගෙන ආ ඔහු ‘ගජබාහු’ නම තබා ඌ ඇති දැඩි කළේ ය. අවටින් මී දෙනුන් ගෙන්වා මී කිරෙන් පෝෂණය කරමින් පැටවා ඇති දැඩි කළ කුමාරගම අවට ඉඩම් හිමියන්ගෙන් දොස් අහන්නේ මී දෙනුන් අවට වතුවලට අලාභ හානි කරන හෙයිනි. ඇත් පැටවා මළ ශෝකයෙන් ඔහු වැලපෙන්නේ ‘ගජබාහු’ කව් පෙළ ලියමිනි.

කුමාරගමගේ කවිය ආනමඩුවෙන් හැඩ වූ බව හා අත්දැකීමෙන් පිරුණු බව ඇත්තය. එහෙත් ඔහු එහි සේවය කළේ අවුරුද්දකුත් මාස අටක් පමණි. අනුරාධපුර, පුත්තලම, නුවරඑළියේ උඩ හේවාහැට, රත්නපුර කුකුළු කෝරලය, බදුල්ල බින්තැන්න පත්තුව, කොළොන්න, කෑගල්ලේ පරණකූරු කෝරලය, දළදාගම, සංගිලි පාලම යන තැන්වලට ඉතිරි සේවා කාලය ගෙවිණි.

විමලරත්න කුමාරගම කවියා මිය යන දවසේ සිහිසුන් වන්නට විනාඩි දහයකට පෙර කවියක් ලීවේ ලු. ඒ ඔහුගේ අවසන් ප්‍රාර්ථනාව විය හැක.

“අලුත් එළියක ලකුණු මතුවෙයි එදෙස
තරු රැස අනුව යන් නම්
මගේ අදහස් මැරෙන්නේ නෑ ඔබට එය
අඩු නැතුව දෙන් නම්
උදෑසන මල් වී පිපෙන්නම්, රෑට හඳ
එළියකින් එන් නම්
ඔබේ සුවඳත් මගේ සුවඳත් එකට කැටි
කළ හුළඟ වෙන් නම්”

මහානාම දුනුමාල
[email protected]


නව අදහස දක්වන්න