මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ | දිනමිණ

මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ

මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ - අප පෙම් කතාවේ අවසානයයි - ඔබ නො එන දා හෙට මා මනමාලියයි..... අජන්තා රණසිංහ ලියපු සරත් දසනායක සංගීතවත් කළ චන්ද්‍රලේඛා පෙරේරා ගායනා කරන මේ ගීතයට මම නම් හරිම කැමතියි, චන්ද්‍රලේඛගේ කටහඬට මම කැමති ඒ හඬ එයාටම විතරක් තියෙනව කියල මට හිතෙන නිසා. අනෙක් කාරණාව අජන්ත ලියපු මේ ගීතයෙ වචන මතුපිටින් බොළඳ වගේ පෙනුනට, එක විදියක ශෝකී හැඟීමකුත් දනවනව වගේ දැනෙන නිසා. චන්ද්‍රලේඛගේ ශෝකී ස්වරයට වෙන්න ඇති මගේ ආදරය ඇතිවෙලා තියෙන්නෙ. ඒත් අද මගේ තීරුව චන්ද්‍රලේඛා ගායනා කරන මේ ගීතය ගැන නොවුණත්, මේ ගීතයේ කියනව වගේ දිනපොතකට සම්බන්ධ මගේම පෞද්ගලික අත්දැකීමක් ගැන කියවෙන සිද්ධියකින් මම ලබපු අත්දැකීමක සටහනක්. 2019 ජනවාරි 4 දා මම මගේ මුහුණු පොතට මෙන්න මේ පෝස්ට් එක දානවා.

“රිදී කළේ රන් කොතලේ බීපු මට
මෙහෙමත් කල ගියෙද පලු වීර ගස් යට“

අලුත් අවුරුද්දෙ මේ කවි පද දෙක මතක් වුණේ අහම්බෙන් වගේ. එක විදියකට හේතුවකුත් ඇතිව.

අද 2019 ජනවාරි 04 වැනි දා.

මම අදත් මගේ දින සටහන් ලියන්නෙ 2018 දින පොතේ අග පිටුවල. මොකද මට 2019 දින පොතක් නැති නිසා.

මම සිමෙන්තියෙ ( සංස්ථාවෙ / හොල්සිම්වල) රැකියාව කරන කාලෙ මගෙන් දිනපොත් දින දර්ශන ගන්න විසාල පිරිසක් පුරුදු වෙලා හිටියා. ඒ වගේම මට ලැබෙන දිනපොත් දින දර්ශන සිය ගණනින් හතර වටේටම බෙදන පුරුද්දකුත් මට තිබුණා.

වසන්ත ඔබේසේකර හැම අවුරුද්දකම මාව හොයාගෙන එනව එයාගෙ හොල්සිම් දිනපොත ගෙනියන්න.' ගලා උඹේ හොල්සිම් දිනපොත තමයි මම හැමදාම පාවිච්චි කරන්නෙ ' මට මතක විදියට 90 ගණන්වල කලා සංධාන කාලෙ ඉඳලා වසන්ත මාව හොයාගෙන එනවා අවුරුද්දෙ මුල.

මගේ ගෙදර අවට අසල්වාසීන් හැමෝටම ඉස්සරවෙලාම කැලන්ඩරයක් ලැබෙන්නෙ මගෙන්.

කැම්පස් යන කාලෙ ඉඳල දිනපොත ලියන්න පුරුදුවෙලා දැන් ඒ පුරුද්දෙන් මිදෙන්න බෑ වගේ.

ඒත් දැන් මොනව කරන්නද, පරණ දින පොතම තව ටික දවසක් ලියනවා, අලුත් එකක් ලැබෙන කල්. නොලැබුණොත් පරණ අවුරුද්දක එකක් හරි පාවිච්චි කරනවා දවස් වෙනස් කරලා.

ජීවිත කාලෙටම සල්ලිවලට දිනපොතක් නොගත්ත මට එහෙම කරන්නත් හිත දෙන්නෑ. ජීවිතේ හැටි එහෙම තමයි කියල හිතන්නත් මේ සිද්ධිය මට වැදගත් වුණා.

මගේ මුහුණු පොතේ මිත්‍ර සමාජය හාරදහස් ගණනක් හිටියත්, නිතර මගේ පෝස්ට් එක්ක හවුල් වෙන ප්‍රතිචාර දක්වන කීප දෙනෙක් මගේ දුක් ගැනවිල්ලට ප්‍රතිචාර දක්වන්නෙ මෙහෙම.

මුලින්ම නාලන් මෙන්දිස් අපේ ටෙලි අධ්‍යක්ෂවරයා, මගේ මිත්‍රයා කියනව, ඩයරියක් එවන්නම් කියල. මම නාලන්ට කියනවා, 'අනේ එපා නාලන්, මට නිකමට මේක ලියන්න හිතුණෙ, ජීවිතේ ස්වභාවයත් මේක නේද නාලන් කියලා මම උත්තර දෙන්නෙ. නාලන් කියනව ඒක ඇත්ත කියලා. කුමාර එදිරිසූරිය මිත්‍රයගෙ ප්‍රතිචාරෙන් එයා කියන්නෙ, 'අපටත් තවම නෑ නේ, තනිරූල් එක්සයිස් පොතක් ගන්න ඉන්නෙ' කියල. සමුද්‍ර වෙත්තසිංහ මගේ තවත් ළඟම මිත්‍රයෙක්. එයා අපූරු කතාවක් කියනවා.

‘ඔයාට තරම් සහපිරිවර ඉන්න සාහිත්‍යකරුවෙක්,ලොවෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ, දෙල්කඳ පොළෙත් නැහැ, ඇයි ඩයරියක් නොලැබෙන්න හේතුව ' කියලයි සමුද්‍ර කියන්නෙ. ඒත් සමුද්‍ර දන්නෙ නෑ මට එහෙම කෙනෙක් දෙල්කඳ පොළෙන්වත් හම්බ වුණේ නෑ කියල. විනිෆ්‍රිඩා ෆ්ලොරන්ස් මිතුරිය මට හිනාවෙනවා ස්ටිකර් එකකින්. සුන්දර නිහතමානී ද මෙල් මිත්‍රය කියන්නෙ එයාගෙ අත්දැකීමමත් මට සමානලු. මේ විදියෙම අත්දැකීමක් එයාගෙ තාත්තා ලාල් ප්‍රේමනාත් ද මෙල් මහත්තයත් අත්විඳිනව සුන්දර දැකල තියෙනවලු. මම සුන්දරට මතක් කළා අවුරුදු හය හතකට ඉස්සර මම කොහොමද යාළු මිත්‍රයන්ට මාධ්‍ය සගයන්ට දිනපොත්, දින දර්ශන යැව්වෙ කියල. ‘Anybody who is somebody in newspapers got compliments from you those days. ( for nearly 25 years )‘ සුන්දර ඉංග්‍රීසියෙන් උත්තර දෙනව. හෙන්රි වර්ණකුලසූරිය මිත්‍රය නම් කියන්නෙ, මේ අවුරුද්දෙ දිනපොත් අඩුයි, ඊයෙ දන්නව නම් දෙන්න තිබුණා. ළඟ පාත ඉන්න නිසා ලැබුණොත් inbox කරන්නම් කියල. කුමාර එදිරිසූරිය ඒකට හිනාවෙනව inbox කරන්නෙ කොහොමද කියල අහල? රූපවාහිනියෙ ජයමිණි ඉලේපෙරුම ගම්ලත් මිතුරිය ළඟ නම් දින පොත් දෙකක්ම තියෙනව කියල කියනව දෙන්න පුළුවන් ළඟ පාත ඉන්න නිසා කියල. මිත්‍ර ශ්‍රී කරුණානායක තවත් හිතවතෙක්. එය කිව්වෙ ගේට්ටුව යටින් එකක් දාල යන්නම් , ලැබුණම හිතන්න මගෙන් කියලා. සුසිල් සුරවීර, අසෝක පෙරියප්පෙරුම පත්තර, රූපවාහිනී මිත්‍රයො මතක් කරනවා මගෙන් හොල්සිම් දිනපොත් ලැබුණු හැටි ඒ කාලෙ. මගේ දිනපොත් කැලන්ඩර් දන්සල ගැන මමම කියාගන්න කැමති නෑ. ඒත් සුන්දර කියනව වගේ පහුගිය අවුරුදු 25-30 කාලෙ මගේ හිත මිත්‍ර සමාගමයට අලුත් අවුරුදු සුබ පැතුම් බෙදල දීපු ප්‍රමාණය මතක් වෙනකොට ඇතිවෙච්ච දුක නිසා තමයි අන්දරේ කිව්ව කියල විස්වාස කරන අර කවි පද දෙක මට මතක් වුණේ අවුරුද්දෙ මුලදිම.

මගේ දිනපොත් දුක්ගැනවිල්ලට ප්‍රතිචාර දක්වලා මගේ ඉරණම ගැන කම්පාවෙලා ළඟ පාත ඉන්න නිසා දෙන්නම්, ගේට්ටුව යටින් දාන්නම් කියපු කාගෙන්වත් දිනපොතක් මට ලැබුණෙ නෑ. ඒකට දුක්වෙලා වැඩක් තියෙනවද කියල මම හිත හදා ගත්තා. ඒත් මට හිතුණේ අවුරුදු විසි තිස් ගාණක් කළ දිනපොත්, දින දර්ශන දානමය පිංකම ආනිශංස මේ ජීවිත කාලෙදිම ලැබිලා, පහුගිය දවස් ටිකේ රජමාවත ලියුම් බෙදන මගේ මිත්‍රයා, එඩ්වඩ්ට ඉස්පාසුවක් නැතිවෙයි කියලා ගේට්ටුවට තට්ටු කරල දිනපොත් පාර්සල් තැපෑල බාර දෙන්න. කෝ දිනපොත් තැපෑල තියා සති ගාණකට ඉස්සර මට තැපැල් කළා කියන යමුනා මාලිනීගෙ කවි පොතවත් තාම මට ලැබුණෙ නැති තැපෑලක් රජ මාවත 15/1 ට. මොලොවදීම ආනිශංස ලැබෙන්නෙ කරන පව්වලට මිසක් පින්කම්වලට නෙවි කියල බුද්ධාගමේ කොතැනක හරි ලියවිලා තියෙනවද කියල හොයල බලන්න තරම් වටිනව කියල මට දැන් හිතෙනව. හැබැයි හාරදහස් ගාණක මුහුණු පොත මිත්‍ර සමාජයෙන් බාගයකටත් වැඩිය ඉන්නෙ නමට ඉන්න කට්ටිය කියල තේරුම් ගන්න හොඳම අවස්ථාවක් මේ දිනපොත් කතාව මට කියල දුන්නා. අනවශ්‍ය මිත්‍ර ලැයිස්තුව ඉවත්කිරීමේ මෙහෙයුම පටන් ගන්න හොඳම කාලෙ දැන් උදාවුණා කියල මට හිතෙනව. මෙන්න මෙහෙම කලකිරීමෙන් තවමත් 16 වැනිදා වෙනකල්ම පරණ දිනපොතේ අතිරේක පිටුවල සටහන් තබමින් ඉන්න කොට, ඩී.බී.කොඩිතුවක්කු කියලා මම වැඩිය දන්නෙ නැති මුහුණු පොතෙන් වුණත් අඳුනන්නෙ නැති මිත්‍රයෙක් ජනවාරි 6 උදේ මට කියනවා මගේ ලිපිනය ඉන්බොx කරන්න කියලා. එදාම මම ඒක යැව්වා. අදහහගන්නත් බෑ 16 වැනි බදාදා තැපෑලෙ පාර්සලයක් තියෙනවා, ලන්ඩන්වලින් තැපැල් කළ. තැපැල් කළ පුද්ගලයගෙ නමක් ගමක් නෑ. රෑ වෙනකොට මුහුණු පොත මෙසෙන්ජර් පණිවිඩයකින් ඩී.බී. කොඩිතුවක්කු අහනවා පාර්සලයක් ලැබුණ ද කියලා. දීප්ත කොඩිතුවක්කු කියන දුර ඈත විප්‍රවාසයෙ ජීවත්වෙන කිසි දවසක හමු වී නැති, දැක නැති මිත්‍රයෙක් මට එවපු 2019 අපූරු දිනපොත මම දැඩි මිත්‍ර ස්නේහයෙන් හදවතට ළං කර ගන්නවා. ඔහු කවුද කින්ද මන්ද හොයා බලන කොට මම දැන ගන්නවා, දීප්ත ජනබලයට සම්බන්ධ ලන්ඩන්හි පදිංචි ශ්‍රී ලාංකිකයෙක්. මම ඔහුගෙන් ඇහුවා ඇයි මේ තරම් කරදර වුණේ මට දිනපොතක් ලන්ඩන්වල ඉඳලා එවන්න තරම් කියල. ඔහු මගේ පෝස්ට් එක කියෙව්වට පස්සෙ හිතුවලු එහෙම කරන්න. මුහුණු පොත මිත්‍ර සමාජයෙ අපූරු මිනිස්සු, මිත්‍රයො ඉන්නව කියල දැනෙන්නෙ මේ වගේ චරිතයක් අඳුනගත්තට පස්සෙ.

අද 17 වෙනිදා, බ්‍රහස්පතින්දා ඉඳලා මගේ 2019 දිනපොත ලියන්න පටන් ගත්තා. දිනපොතක් ගැන මගේ පෝස්ට් එක මුහුණු පොතට එකතු වුණේ මට දින පොතක් හොයා ගන්න තිබුණු බැරිකමකටම නෙවි. ඒත් ඒ සිදුවීම මට ජීවිතේ ගැන විසාල පාඩමක් කියල දුන්න වගේ. මිනිසුන්ට බලය, ජනප්‍රියත්වය, කීර්තිය තියෙන කොට වටවෙලා ඉන්න කිසිවෙක් ඒ පුද්ගලයා සාමාන්‍ය සිවිල් චරිතයක් බවට පත් වෙච්ච ගමන් ඔහු එක්ක තිබිච්ච සම්බන්ධකම්, හිතවත්කම් ටික ටික අඩුවෙලා, මැකිලා අමතක වෙලා යනව නේද කියන සත්‍යය වටහා ගන්න මේ දිනපොත් සිදුවීම මට උදවු වුණා. ජීවිතයේ ස්වභාවය ඒකම නේද කියල මම හිතමින් ඉන්න අතරෙදි තමයි දීප්ත කොඩිතුවක්කු මිත්‍රයා ඇවිත් ඒ කලකිරීමෙන් තාවකාලිකව හරි මා මුදාගත්තෙ. ඔහුත් ඒ වගේම මගේ ලංකාවෙ ඉන්න මිත්‍ර සමාගමත් මොහොතකට හරි අසරණබවක් දැනුණු වෙලාවෙ දිනපොතකින් කොහොම වෙතත් වචනයකින් හරි හිත සැනහෙන බහක් දෙඩීමට එකතුවීම ගැන සතුටුයි. හිස් මිනිසුන් දහස් ගණනාවක් අතර හදවතින් බැඳුණු ළෙංගතු මිත්‍රයන් අතළොස්සක් වුණත් ඉන්න එක කොයිතරම් එකක් ද කියල කල්පනා කරමින් මම ඉන්නෙ.

බුද්ධදාස ගලප්පත්ති
[email protected]


නව අදහස දක්වන්න