දරුවෝ ද මනුෂ්‍යයෝ ය | දිනමිණ

දරුවෝ ද මනුෂ්‍යයෝ ය

දරුවන් ලැබීම සහ නොලැබීම ගැන දැන් ඔබට මනාපයක් ඇත. “අපි දරුවන් හදන්නේ නෑ; අපි හදන්නේ එක දරුවෙක් විතරයි; මේ ලෝකේ ඕනෑ තරම් දරුවන් ඉන්නවා; අපි දරුවන් අරන් හදා ගන්නවා; අපි මොනතරම් සල්ලි වියදම් වුණත් ලෝකේ කොහේ ගිහින් හරි විද්‍යාවේ පිහිටෙන් දරුවකු හදා ගන්නවා.“ නූතන ලෝකයේ මිනිසුන්ට මනාපයක් ඇත. විද්‍යාත්මකව දරුවකු ලැබිය යුතුමයි යන බලපෑම එක්තරා දුරකට හෝ මුළුමනින්ම නොසලකා හැරීමට නූතන අද අපට හැකියාවක් ඇත. ජෛවවිද්‍යාත්මකව දරුවන් ලැබීමට කිසිසේත්ම හැකියාවක් නැති අයට සංස්කෘතිය, ආගම, පවුල, සමාජය සහ වෙනත් ආකාරවලින් ඇති වෙන අනවශ්‍ය අකාරුණික හිරිහැරවලට ඔවුන්ගේ වැඩක් බලාගන්නැයි කීමට තරම් ශක්තියක් ඇති වෙන තැනට දැන් සමාජයේ ඇතැම් පිරිස ඊළඟ පරම්පරව බිහි කිරීමේ මාතෘකා ගැන විවෘත මනසකින් කතා කිරීමට ශක්තියක් උපයා ගෙන ඇත.

දරුවන් බිහි කිරීම සහ නොකිරීම ගැන සමාජ ජාලාවල පවා විවෘත සංවාද ඇතිවේ. මේ කතා බහ සිදුවෙන තැන්වල, අධික ජනගහනයකින් හෙම්බත් වී අැති මේ මහ පොළොවට තවත් දරුවන් ජාතක කිරීම දැඩි දඬුවම් ලැබිය යුතු වරදක් සේ ගෙන එය හෙළා දකින අමන පිරිසකුත් රට ජාතිය, ආගම, සහ පවුලේ නම් වෙනුවෙන් දරුවන් බිහි කළ යුතුමැයි සිතන අමන පිරිසකුත්, තමන්ගේ මහලු කාලයේදි රැකවරණය ලබා දීමට, දේපොළ වස්තුව සුරැකීමට භාරකරුවන් ලෙස දරුවන් බිහිකළ යුතුයැයි සිතන අමන පිරිසකුත් ඇත.

මේ සියලු සාකච්ජාවලදි අපට මඟ හැරෙන කාරණය නම් අප මේ කතා කරන්නේ තවත් මනුෂ්‍යයකු ගැන බවයි. දිනෙක ඒ දරුවනට අප කියන දේ, කරන දේ නිසා ඇති වෙන බලපෑම අපට නොදැනීමයි. වැඩිහිටියන් බොහෝ විට ආත්මාර්ථකාමී කුරිරු කොටසකි. දරුවන්ට නොතේරෙන අවදියේදි නොයෙක් හිරිහැර කරන වැඩිහිටියෝ දරුවන් වැඩුණු පසු “අනේ ඉතින් අපි එහෙම කළේ ඔයාලා යහ මඟට ගන්නැයි“ වැනි බොරු කියති. ඇත්ත නම් එම වැඩිහිටියන් තමන්ගේ හැඟුම් පාලනය නොදත්, වැඩිහිටියන්වීම නොදත් නො එසේ නම් මිනිසුන් වීම මොහොතකට ප්‍රත්ක්ෂේප කළ නමක් නැති යම් සත්ත්ව කොටසක් බවට පත් වීමයි. මෙයින් අදහස් වන්නේ දරුවන්ට හොඳ නරක කියා නොදී සිටිය යුතු යැයි නොවේ. දැන් පිපි පොහොට්ටු වාගේ මෘදු, මොලොක්, සුවඳ, ලස්සන ආත්ම කොනිති ගසා විනාස කර දැමීම හොඳ නරක කියාදීම ලෙස ගත නොහැකිය. ඒ දරුවන්ට හෝ තමන්ටවත් හොඳ නරක කියා දීමට නොහැකි මිනිසුන් මාපියන්, වැඩිහිටියන් භාරකරුවන් වීමට ගොස් කරනා විනාශයක් පමණි. පෙර කල මෙන් දරුවන් නොලැබීම අතිශය අවලාදයට අපකීර්තියට භාජනය වීමට දැන් හේතුවක් නොවේ නම් තවමත් දරුවන්ට නියම මාපියන් වීමට නොහැකි මිනිසුන් පවා දරුවන් ලබන්නේ ඇයි? මේ ප්‍රශ්නය අසන්නේ, ලිංගික අධ්‍යාපනය නැති වැඩිවියට පත් ද්විතියික ලිංගික ලක්ෂණ පහලවෙමින් යන්තම් වසර දෙක තුන ගෙවෙද්දි විකල්පයක් නැති සමාජ තලවල දරුවන්, වරින් වර නොයෙක් ආකාරයෙන් ලිංගික අපයෝජනයට බඳුන් වෙන ගැහැනුන් සහ දැරිවියන් අලලා නොවන බව කරුණාකර මතක තබා ගන්න.

ඉතින් තැනක යුද ගිනි ඇවිළී දරුවන් සහ මිනිසුන් කෘමින් සේ වියරුවට මැදි වෙද්දි, තැනක දරුවන් සහ මිනිසුන් මූලික වුවමනාවන්ට පවා අයිතියක් කීමට නොහැකි පීඩනයකට යට වෙද්දි, තැනක දරුවන් සහ මිනිසුන් අසීමිත නොමඟ යාමකින් විකල් වී මිනිසකු වීම යන්න පවා සිහිකර ගනු නොහැකිව විනාස වෙනු දැක දැක අපි දරුවන් හදන්නෙමු. සෙනෙහසින් රකින්නෙමු. ඔවුන් වෙනුවෙන් ලෝකය වඩා යහපත් තැනක් වෙනු ඇතැයි පතන්නෙමු. ලෝකය වඩා යහපත් තැනක් කරන්නට අපේ දරුවන්ව පුරුදු කරන්නට උත්සාහ කරන්නෙමු.

ලෝකයට එපිටින් යටින් උඩින් අපට නොතේරෙන තේරුම් කරනු නොහැකි යම් බලවේගයක් ඇති බවත් ඒ නිසා නික්මයාමට පෙර මානව වර්ගයා වෙත ප්‍රේමය ප්‍රදානය කර යෑම අපට උත්ප්‍රායක් වන්නේ යැයි දාර්ශනිකයන් කියනු ඇත. අපගේ වර්ගයා ගේ පැවැත්ම උදෙසා තමන්ගේ ප්‍රබලම ජාන තව එකෙකුට ලබා දීමේ ජෛවවිද්‍යාත්මක වුවමනාවක් අපට ඇතැයි විද්‍යාඥයන් කියනු ඇත. නොහැකි වූ කල තමන්ගේ ආරක්ෂාව සාක්ෂාත් කර ගැනීමේ ආත්මාර්ථකාමි අරමුණින් අපි දරුවන් කියා ආයෝජනයක් කරන්නේ යැයි තව පිරිසක් කියනු ඇත. තවත් නොයෙකුත් කල්පිත, න්‍යාය ඉදිරිපත් වෙනු ඇත. නමුත් මේ සියල්ල මැද්දේ සියලු සතුට සහ දුක රැගෙන දරුවන් මේ ලෝකයට බිහි වෙනු ඇත. ඔවුන්ටත් අපට හිමි විය යුතු නිදහසට අයිතියක් ඇත. ඉපදුණු දවසේ බිළිඳකුටත් ඒ ගෞරවය ලබා දෙන්න. ඔවුන්ට ප්‍රේම කරන්න. ඔවුන් සුරකින්න. ඔබව ඔවුන් මත නොපටවන්න.

දරුවෝ ද මනුෂ්‍යයෝ ය.

හිමාලි එන්. ලියනගේ
[email protected]


නව අදහස දක්වන්න